සුදොතුම් පියතුමා පාතිමා වන්දනා ගමනට සූදානම් වෙයි

Pope Francis getting ready for Fatima Pilgrimage after the whirlwind tour to Egypt 

අප්‍රේල් 3 වන බදාදා පොදු හමුවට සුදොතුම් පියතුමා පැමිණියේ පාතිමා මෑණියන් ගේ ප්‍රතිමාවක් ද සමගය 


(2017 අප්‍රේල් 5)
ඊජිප්තුවේ තෙදින අපෝස්තලික සංචාරයක් නිමවා පැමිණි සුදොතුම් පියතුමා එහි විඩාව නිවෙන්නටත් පෙර තවත් අතිශය වැදගත් වන්දනා ගමනක් යන්නට සූදානම් වෙමින් සිටියි.

සුදොතුම් පියතුමා මේ මස 12-13 දෙදින පෘතුගාලයේ පාතිමා නුවර වන්දනා ගමනක නිරත වෙයි. එතුමා එහි යන්නේ මරිය මෑණියන් පාතිමා නුවර එඬේර දරුවන් තිදෙනෙකුට දර්ශනය වීමේ සියක් වසරේ ජයන්තිය වෙනුවෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාතිමාවේ මෑණියනට විශේෂ භක්ති ප්‍රේමයක් දක්වයි. එතුමා සිය පාප්ධුරය කැපකලේ පාතිමා මෑණියන්ටයි. මේ නිසා 2017 පැවැත්වෙන පාතිමා දර්ශනයේ සියක් වසර ජයන්තිය සඳහා තමන් එහි වන්දනා ගමනක යෙදෙන බව එතුමා 2014 දී ප්‍රකාශ කළේය.

පාතිමාවේ දී එතුමා තවත් වැදගත් කාර්යයක නිරත වෙයි. එනම් පාතිමා මෑණියන් දර්ශනය වූ දරුවන් තිදෙනා අතරින් ළමා වයසේ දීම සග සුව දිනූ ප්‍රැන්සිස් සහ ජසින්තා යන සොයුරු-සොයුරි දෙදෙනා ශාන්තුවරයට එසවීමයි. ප්‍රැන්සිස් සහ ජසින්තා දෙදෙනා සාන්තුවරයට එසැවීමට අවශ්‍යව තිබූ ප්‍රාතිහාර්යය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉකුත් අප්‍රේල් මස මුලදී අනුමත කෙරින. තමාගේ පාතිමා ගමනේ දී ඔවුන් ශුද්ධවරයට ඔසවනු ලබන බවද එතුමා ප්‍රකාශ කළේය.
අයියයි- නංගියි: භාග්‍යවන්ත ප්‍රැන්සිස් සහ භාග්‍යවන්ත ජසින්තා මාර්තෝ 


දේවමාතා වහන්සේ වසර 1917 මැයි 13 වනදා පාතිමාවේ ජීවත් වූ එඬේර දරුවන් වූ ප්‍රැන්සිස් සහ ජසින්තා මාර්තෝ යන අයියාට සහ නංගීටත්, ඔවුන් ගේ ඥාති සොයුරියක වූ ලුසියා සාන්තෝස්ටත් දර්ශනය වූහ.මරිය මවගේ  මෙම දර්ශන මාලාව එම වසරේම ඔක්තෝබර මාසය දක්වා පැවැතින. මෙම දර්ශන මාලාව සැබෑවක් බවත් එය මුළුමනින්ම ලෝකෝත්තර තත්ත්ව මත සිදුවූවක් බවත් කතෝලික සභාව 1930 දී නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. මේ අතරින් කුඩා කාලයේ දීම රෝගීවූ ප්‍රැන්සිස් 1919 දී ද ජසින්තා 1920 දී ද මිය  ගියහ. පැවිදිවරියක් වූ ලුසියා සාන්තෝස් 2005 පෙබරවාරි මාසයේ දී සග සැපත් වූවාය.

සුදොතුම් පියතුමා ගේ වන්දනා ගමනත් සමග පාතිමාවේ සියක් වසරේ ජයන්තිය සම්පූර්ණ වන බව පාතිමා පදවියේ අන්තෝනියෝ දොස් සාන්තොස් මාර්තෝ රදගුරු හිමි පවසයි. මෙම ජයන්තිය වූ කලී පාතිමා දර්ශනය ඔස්සේ දෙවියන් වහන්සේ පෘතුගාලයටත් ලෝකයටත් දුන් තිළිණ වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමේ අවස්තාවක් බව එතුමා කියා සිටියේ ය.

"පාප් වහන්සේ නොමැතිව පාතිමා ජයන්තිය සම්පූර්ණ වන්නේ නැහැ. පාතිමාවේදී මරිය මෑණියන් දුන් තුන්වැනි 'රහසට' අනුව, 'සුදු වතින් සැරසුණු රදගුරු තුමකු' විසින් මග පෙන්වනු ලබන, හිංසා සහ පීඩා වලට ලක්වූ වන්දනාකාර සභාවක් ගැන කියවෙනවා. පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කරන ලෙසත්  එම දර්ශන වලදී  මෑණියන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඉතින් පාප් වහන්සේ පාතිමා දර්ශනයේ කොටසක්." යයි රදගුරු තුමා කියා සිටියේ ය.

මීට කලින් පාප් වහන්සේලා තුන් නමක් පාතිමාවට පැමිණ තිබේ.ඒ, භා. සවැනි පාවුළු,ශු. දෙවැනි ජුවාම් පාවුළු සහ සොළොස්වන  බෙනඩික් යන සුදොතුම් පියවරු ය.

වතිකාන චතුරශ්‍රයේ දී සාහසිකයකු ගේ  වෙඩිපහරට ලක්වූ ශු. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා කියා සිටියේ මෙම සිද්ධියෙන් සිය ජීවිතය ගැලැවුනේ පාතිමා මෑණියන් ගේ මැදිහත්කම හේතුවෙන්  බවය.එහි සංකේතයක් ලෙස සිය බඩවැලේ තිබී වෛද්‍යවරුන් විසින් ඉවත් කරන ලද වෙඩි උණ්ඩය එතුමා පාතිමා මෑණියන් ගේ කිරුළෙහි ස්ථාපනය කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය