"ස්ථිතික, වෙනස් නොවන පූජකවරුනට මම බයයි"- සුදොතුම් පියතුමා ජෙනෝවා නුවරදී කියයි

“I am afraid of static priests”- Pope Francis tells Priests in Genoa 


(2017 මැයි 29)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා ඉතාලියේ ජෙනෝවා පදවියේ අපෝස්තලික සංචාරයක නිරත විය. මධ්‍යධරණී මුහුදේ වැදගත් නැව් මාර්ගයක පිහිටා ඇති ජෙනෝවා නගරය ඉතාලියේ  ලිගුරියන් පළාතේ අගනුවරයි. එය එරට හයවැනි විශාලතම නගරය වන අතර ජෙනෝවා වරාය යුරෝපයේ 12 වන කාර්යබහුල ම වරායයි. මෙහි ඇති ඓතිහාසික  නටබුන් හා පුරාණ සංස්කෘතික උරුමය නිසා එම නගරය යුරෝපයේ සංස්කෘතික අගනුවර ලෙස ද සැලැකේ.

මෙම පදවියට පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහිදී ප්‍රධාන කණ්ඩායම් තුනක් වෙන වෙනම මුණගැසී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර ඔවුන් සමග ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කළේය.

එතුමන් එහිදී මුණගැසුණු එක ප්‍රධාන කණ්ඩායමක් වූයේ ජෙනෝවා පදවියේ රදගුරු හිමිවරුන්, පූජකවරුන් හා පැවිද්දන් සහ එම පදවියේ දෙව්සත්හල් සිසුන් ය. දැකුම්කළු ජෙනෝවා ආසන දෙව්මැදුරේදී මෙම හමුව පැවැත්විණි. මෙහිදී ලියාගත් දේශනාවක් හෝ කතාවක් කරනවාට වඩා එතුමන් කැමැති වූයේ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමටයි. මෙම හමුවට එක්වූ පූජකවරුන් ඇසූ එක් ප්‍රස්නයක් වූයේ නිරන්තරයෙන් යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් පවත්වාගත හැක්කේ කෙසේද? යන්නයි.

"යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් පවත්වා ගැනීමේදී කරුණු දෙකක් අත්‍යවශ්‍ය වෙනවා," යැයි ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "එනම්, යාච්ඥාව තුළින් නිරන්තරයෙන් දෙවියන් වහන්සේ මුණගැසීම සහ ජනතාවට ලංව ජීවත් වීමයි."

"අප ජීවත්වන වර්තමාන ලෝකය බොහෝ කඩිමුඩියෙන්, වේගයෙන් වැඩ කරන ලෝකයක්. මේ කඩිමුඩිය තුළ, ජනතාව සමග  ගතකරමින්  ඔවුන් ගේ සිත කලබල කරන ප්‍රශ්න සහ ගැටළු වලට සවන්දීමට වෙලාවක් සොයා ගැනීම අසීරු වී තිබෙනවා. එහෙත් මෙයින් අදහස් කෙරෙන්නේ අප අක්‍රීයව සිටිය යුතුය යන්න නොවේ. අක්‍රීය පූජකවරුනට, ස්ථිතික, වෙනස් නොවන පූජකවරුනට මම බයයි" එතුමා කීවේය.

"පරිපාලන ව්‍යුහ සහ සංවිධාන කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමුකරන පූජකවරුන් තුළ ජීවත්වන්නේ හොඳ ව්‍යාපාරිකයන් මිස එඬේරුන් නොවේ. ඔවුන් යාච්ඥා කරාවි; දිව්‍ය පූජාවත් ඔප්පු කරාවි. එහෙත් ඊට එහා යාමට නම් අප ජේසු සමිඳුන්ගෙන් ඉගෙනගත යුතුයි. උන්වහන්සේ සෑමවිටම මාවතේ ගමන් කල මිනිසෙක්. උන්වහන්සේ දෙවියන් වහන්සේ ගේ මවිතකිරීම්වලට විවෘතව නිතරම ජනතාව මධ්‍යයේ සිටි මිනිසෙක්" යයි එතුමා පහදා දුන්නේ ය.

"සෑම විටම දෙවියන් වහන්සේ මුණගැසීමට උත්සාහකරමින් යාච්ඥාව තුළ නම්‍ය වන්න. එසේම ජනතාව සමග ගතකිරීමෙන් ඔබ වෙහෙසට පත්වීමට ඉඩදෙන්න. ඔබගේ නිශ්චල බව රක ගැනීමට  උත්සාහ කිරීමෙන් වලකින්න. ජේසු සමිඳුන්ගෙන් ඉගෙනගන්න. උන්වහන්සේ ජනතාව සමග සම්බන්ධතා ඇතිකරගැනීමට ප්‍රමුඛත්වය. දුන් අතර සිය පියාණන් සමග ගත කිරීමට ද වෙලාවක් වෙන්කර ගත් සේක" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරුවරුන්, පූජකවරුන් හා පැවිද්දන් සහ දෙව්සත්හල් සිසුන් අමතමින් කියා සිටියේය.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය