"සාමය ඇතිකරන්නෙකු වන්න" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනාධිපති ට්‍රම්ප්ට කියයි

"Be a Peacemaker; That is my great desire for you"- Pope Francis tells President Trump


(2017 මැයි 24)
මාස ගණනක අනුමාන සහ අපේක්ෂා වලින් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (මැයි 24) වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් හමුවිය. වෙනත් අමෙරිකානු ජනාධිපතිවරුන් මෙන් නොව ට්‍රම්ප් දරන ප්‍රතිවිරුද්ධ මත හේතුවෙන් ලෝකය මෙම හමුව දෙස දැඩි අවධානයෙන් බලා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවට පෙර උදාසන 8.30ට මෙම හමුවට වෙලාව යොදා තිබිණ. පෙරවරු 8.15ට පමණ ජනාධිපති ට්‍රම්ප් රැගත් මෝටර රථය සාන්තා මාර්තා තානායම පෙදෙසේ ප්‍රවේශයෙන් අපෝස්තලික මාලිගාවට ඇතුළුවිය. සන් දමාසෝ මිදුලේ දී ස්විස් භටයන් විසින් පවත්වන ලද උත්තමාචාරයකින් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිගන්නා ලද්දේ පාප් වහන්සේගේ ගෘහවාසී කටයුතු ප්‍රධානි ජෝර්ජ් ගැන්ස්වේන් අගරදගුරු හිමිපාණන් විසිනි. එතුමා විසින් එහි සිට සුදොතුම් පියතුමාගේ පෞද්ගලික පුස්තකාලය දක්වා ජනාධිපතිවරයා කැඳවාගෙන යන ලදී.

පුස්තකාලයේ රාජ්‍ය අමුත්තන් පිළිගන්නා මේසය අසලදී ජනාධිපති ට්‍රම්ප් පිළිගනිමින් "ඔබ ආදරයෙන් පිලිගන්නවා" යැයි සුදොතුම් පියතුමා කීවේය. "ඔබට බොහොම ස්තුතියි. මෙය මට විශිෂ්ට ගෞරවයක්" ඊට පිළිතුරු ලෙස ජනාධිපති ට්‍රම්ප් කීවේය.

පෙරවරු 8.32ට පමණ සියලු මාධ්‍යවේදීන් හා සෙසු පිරිස පිටව ගියහ. "ඔබව හමුවන්නට ලැබීම බොහෝ සතුටක්" සුදොතුම් පියතුමා ඒ අතර කීවේය. "මගේ ඉංග්‍රීසි කතාව එතරම් චතුර නැහැ. ඒ නිසා මට මගේ පරිවර්තකයාගේ සහය අවශ්‍යයි" යැයි ද ඊට අවසර ගනිමින් එතුමා කීවේය. ඉන්පසු සාකච්චා සිදුවූයේ පෞද්ගලිකවයි. නායක දෙපලට අමතරව එහි සිටියේ සුදොතුම් පියතුමාගේ භාෂා පරිවර්තක මාක් මයිල්ස් මාහිමිපාණන් පමණි.

සාකච්චා ආරම්භ වීමට පෙර  නායක දෙපල අතර කිසියම් විධිගත සහ දැඩි ස්වභාවයක් පෙනෙන්නට තිබිණ. එහෙත් පෙරවරු 9.02ට පමණ පුස්තකාලයේ දොර යළි විවෘත වන විට දෙදෙනාම සිනහ මුසු මුහුණින් ඉතා පහසුවෙන් පැමිණෙනු දක්නට ලැබිණි. පුස්තකාලයේ දොරකඩ දී ජනාධිපති ට්‍රම්ප් සුදොතුම් පියතුමාට සිය බිරිඳ මෙලනියා ට්‍රම්ප් හඳුන්වා දුන්නේය.

ඉන්පසු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනාධිපති ට්‍රම්ප් කැටුව ගියේ තෑගි හුවමාරු කරගන්නා ස්ථානයටයි. සිය පුස්තකාලය තුළදී එතුමා ජනාධිපතිවරයාට කුමක් කීවේද යන්න ගැන සවිස්තරව දැනගන්නට නොලැබෙනු ඇති නමුත් තෑගි හුවමාරු කරගන්නා අවස්ථාවේ දී එතුමා කල කී දේ එතුමා ගේ ස්ථාවරය ගැන ප්‍රබල ඉඟියක් ලබා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනාධිපති ට්‍රම්ප්ට සිහිවටන තිළිණ කිහිපයක් ම පිරිනැමුවේය.


සිය අපෝස්තලික අනුශාසන වන "සුබ අස්නේ ආලෝකය" (2013), "ප්‍රේමයේ ආනන්දය" (2015) සහ ලොව ගෞරවාදරයට ලක් වූ "වේ ප්‍රශංසා" (2015) පරිසර විශ්ව ලේඛනය යන කෘති එතුමා මුලින්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාට පිළිගැන්වීය. ධනේශ්වර ආර්ථිකය හා වෙළෙඳපොල ආර්ථිකය විසින් ඇති නැති පරතරය විශාල කර දුප්පතුන් වැඩිකර ඇති අන්දම "සුබ අස්නේ ආලෝකය" අනුශාසනයේ සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ප්‍රේමයේ ආනන්දය" නූතන පවුල මුහුණ දෙන අභියෝග හා ඊට කතෝලික සභාවේ දහම් සේවා ප්‍රතිචාරය සඳහන් ලේඛනයයි. මානව අප සතු එකම පොදු නිවස වන මිහිතලය පරිසර විනාශය නිසා  අප විසින් ම විනාශයට රැගෙන යන බව සුදොතුම් පියතුමා "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයේ පවසයි.කාලගුණ විපර්යාස එහි ප්‍රතිඵලයක් බව නූතන විද්‍යාත්මක මතය පිල්ගනිමින් එතුමා පෙන්වා දෙයි.  මේ නිසා පොසිල ඉන්ධන දැවීම, වන විනාශය  ඇතුළු වෙනත් පරිසර  හානි වලින් මිහිතලය මුදා ගැනීමේ අවශ්‍යතාව එතුමා අවධාරණය කරයි. එහෙත් පරිසර හානිය නිසා කාලගුණ විපර්යාස සිදුවන්නේය යන මතය  ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

මේ සාමාන්‍ය තිලිණ ත්‍රිත්වයට අමතරව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් විශේෂ තිළිණ දෙකක් ජනාධිපතිවරයාට දුන්නේ ය. පළමුවැන්න, 2017 ලෝක සාම දිනය සඳහා එතුමා ගේ පණිවිඩයයි. "මම ඔබ වෙනුවෙන් මෙහි පෞද්ගලිකවම අත්සන් කළා" එය ඔහු අත තබන ගමන් පාප්තුමා පැවසුවේය. "මම මේ සියල්ල කියවනවා" එය පිළිගන්නා ගමන් ජනාධිපතිවරයා කීවේය.

දෙවැනි විශේෂ තිළිණය පදක්කමකි. සුදොතුම් පියතුමා  එය හැඳින් වූයේ "සාමයේ පදක්කම" ලෙසයි. එහි සඳහන් සංකේත සුදොතුම් පියතුමා මෙසේ විස්තර කළේය:
"මෙය රෝම කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද පදක්කමක්. මෙය සාමයේ සංකේතය වන ඔලිව් ගසක්. මේ ඔලිව් ගසට අතු දෙකක් තිබෙනවා. මේ, ඒ මැද තිබෙන්නේ යුද්ධය නිසා ඇතිවන භේදයයි. බෙදීමයි. ඔලිව් ගස සෙමින් උත්සාහ කරනවා, සිය දෑතින් මේ දෙකඩ වූ දේ සාමයෙන් එක් කරන්නට. ..."
"අපි සාමය භාවිත කරමු" ඊට ස්තුති කරමින් ජනාධිපති ට්‍රම්ප් මහතා කීවේය. "ඔබ සාමයේ ඔලිව් ගසක් වනු දැකීම  මගේ දැඩි අපේක්ෂාවක්" ඔහුට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

ජනාධිපති ට්‍රම්ප් සුදොතුම් පියතුමාට පිරිනැමුවේ මාටින් ලූතර් කිං ගේ කෘති කිහිපයක එකතුවකි. "ඔබ මේවා රස විඳින බවට මට විශ්වාසයි" ඒවා තිලින කරන ගමන් ඔහු කීවේය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුව නිමා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගෙන් සමුගත්තේ "ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි. ඔබ කී දේවල් මම අමතක කරන්නේ නැහැ" යයි කියමිනි.

ඉන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු දූත කණ්ඩායම වතිකාන රාජ්‍ය ලේකම් (අගමැති) පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණන් ද හමුවුහ. ජනාධිපතිවරයා හා ආර්යාව වතිකානයෙන් පිටවීමට පෙර සිස්ටයින් පල්ලිය ඇතුළු වතිකානයේ වැදගත් ස්ථාන නැරඹුහ.

හමුව පිලිබඳ වතිකානයේ නිවේදනය
සුදොතුම් පියතුමා සහ ජනාධිපති ට්‍රම්ප් අතර හමුව පිළිබඳව වතිකාන මාධ්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නායක දෙපල අතර සාකච්චාව "සුහද" මට්ටමින් පැවැති බව එම නිවේදනය කියයි. "ශුද්ධාසනය හා අමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සම්බන්ධතා ඉතා යහපත් තත්වයක පැවතීම ගැන ඔව්හු සිය ප්‍රසාදය පළකළහ" යයි ද එහි සඳහන් වේ.

"සුව සේවාව, අධ්‍යාපනය හා සාංක්‍රමනිකයන් සඳහා වූ සේවාව යන ක්‍ෂෙත්‍රවල ජනතා සේවයේ දී   ඇමෙරිකාවේ කතෝලික සභාව හා  රජය අතර  ප්‍රසන්න සහයෝගීතාවක් පවතිනු ඇතැයි දෙපාර්ශවයම බලාපොරොත්තු පළකරන" බවද නිවේදනයේ කියැවේ.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රතිචාරය
මෙම හමුව පිළිබඳව ඇමෙරිකානු රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත්කර නොමැත.

එහෙත් නායක හමුවලින් පසුව එම මුණගැසීම් ගැන ඇතැම් විට අසත්‍ය ප්‍රකාශ පලකරන ට්‍රම්ප් ජනාධිපතිවරයා පාප් වහන්සේ ගැන කවර ප්‍රකාශයක් කරනු ඇත්දැයි විශේෂයෙන් ඇමෙරිකාවේ කතෝලික නායකයෝ තරමක සැලකිල්ලෙන් පසුවූහ. විවිධ පාර්ශව  අපහාසයට ලක්  කිරීමහා සිය අදහස් ප්‍රකාස්ග කිරීම සඳහා ට්විටර් පණිවිඩ බහුලව යොදාගන්නා ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ හමුව ගැන කුමක් කියනු ඇත්ද යන්න ගැන ද බොහෝ දෙනෙක් සැලකිල්ලෙන් සිටියහ.

මෙම අනුමාන සනාථ කරමින් ජනාධිපති ට්‍රම්ප් අද දහවල් වන විට ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. එය මෙසේය:
"ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසුණෙමි. එම හමුව ජීවිතයේ ලැබූ ඉහලම ගෞරවයකි."

මීට මතරව ඔහු සිය ට්විටර් ගිණුමේ පසුබිම් පින්තුරය ද වෙනස් කර තිබේ. දැන් එම පසුබිම් පිතුරය සඳහා යොදා ඇත්තේ තමා හා සුදොතුම් පියතුමා අතර හමුවේ සේයාරුවකි.










Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය