ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගෙදරින් ගෙදරට යමින් රෝමයේ දුප්පතුන් ගේ නිවෙස් ආශීර්වාද කරයි

In a surprise visit, Holy Father blesses homes of Rome's poor


(2017 මැයි 20)
ඇතැම් මාධ්‍ය කරුවන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හඳුන්වන්නේ "ලෝකයේ මීසම් සේවක පියතුමා" යනුවෙනි. මීසම් වල සාමාන්‍ය ජනතාව සමග ගැවසීමටත් ඔවුන්ට අවශ්‍ය දහම් සේවා සැපයීමටත් එතුමන් දක්වන උනන්දුව හා කැපවීම ඊට හේතුවයි. එතුමා ඊයේ (19 සිකුරාදා ) එවැනි 'මීසමේ නිවෙස් බැහැදැකීමේ'  විශේෂ ගමනක නිරත විය.

එම ගමන නම් එතුමා රෝමය කෙලවරේ පිහිටි දුප්පතුන් බොහෝ වෙසෙන මීසමක නිවෙස් බැහැදැක, ඒවා ආශීර්වාද කර පැමිණීමයි. එතුමා මේ ගමන ගියේ කිසිවෙකුත් නොදැනයි. ඒ බව මේ නිවෙස් හිමියන් ද  දැන සිටියේ නැත.

ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයෙන් පසු එළැඹෙන පාස්කු සමයේ ඉතාලි මීසම්වල සිදුවන විශේෂ චාරිත්‍රයක් තිබේ. එනම්  මීසම් සේවක පියතුමා සිය මීසම් වාසීන් ගේ නිවෙස් වලට පැමිණ, එම නිවෙස්වල ජීවත්වන පවුල් හා ඒවායේ කාමර ආශීර්වාද කර, ඔවුනට යාච්ඥා කාඩ් පතක් වැනි කුඩා සිහිවටනයක් දී ඔවුන් හා සුළු මොහොතක් කතා කර පිටත්ව යාමයි.

රෝමයේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි ඔස්තියා ප්‍රදේශයේ මීසම් හතරෙන් එකක් වන මාරිස් ස්ටෙල්ලා මීසමේ මීසම් සේවක ප්ලිනියෝ පොන්චිනා පියතුමා ද සිය මීසමේ නිවෙස් බැහැදැකීම ආරම්භකර තිබිණි. ගිය බදාදා පියස්සා  ප්‍රැන්සෙස්කෝ  එපාට්මන්ට් සංකීර්ණය අසල දැන්වීමක් දමමින් එතුමා දනවා සිටියේ තමන් සිකුරාදා පස්වරුවේ එම නිවෙස් බැහැදැක පාස්කු ආශීර්වාදය ලබා දීමට පැමිණෙන බවයි.

නියමිත වෙලාවේ නිවෙස්වල සීනුව නාද විය. පියතුමා බලාපොරොත්තුවෙන් සිටි නිවැසියෙක් ගොස් දොර ඇරියේය.

එහෙත් මීසමේ පියතුමා වෙනුවට දොරකඩ පෙනී සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය. මේ අනෙපේක්ෂිත අමුත්තා දැකීමෙන් නිවැසියෝ පුදුමයටත් මහත් සතුටටත් පත් වුහ. ඇතැමෙකු ගේ නෙතගට කඳුළු ගලා ආවේය.  ඒ, මේ අනෙපේක්ෂිත අමුත්තා සිය නිවසට පැමිණීම නිසා ගැලූ සතුටු කඳුළු ය.

නිවැසියන්ගේ දුක සැප තොරතුරු විමසු සුදොතුම් පියතුමා එම නිවැසියන් ආශීර්වාද කළේය. පසුව සෑම කාමරයකටම යමින් ආසිරි පැන් ඉසිමින් ඒවා ආශීර්වාද කළේය. අනතුරුව නිවැසියන් ගේ සිත පුංචි විහිළුවකින් සැහැල්ලු කොට, සෑම නිවසියෙකුටම තිළිණයක් ලෙස ජපමාලයක් දී  "ජේසු පිහිටයි" කියා ඊළඟ නිවෙසට පිටත්ව ගියේය.

සිය ගමන අවසානයේ එතුමා එම එපාට්මන්ට් සංකීර්ණයේ ජනයාට විහිළුවක් කළේය."ඔබේ වැඩ කටයුතු වලට බාධා කලාට සමාවෙන්න. ඒත් ඔබ දිවා ආහාරයෙන් පසු විවේක ගන්නා නිශ්ශබ්ද වෙලාවට මම ගෞරව කළා" යැයි එතුමා කීවේය.

ඔස්තියාව යනු රෝමයේ පර්යන්ත ප්‍රදේශයේ පිහිටි දුප්පත් ජනයා වෙසෙන ප්‍රදේශයකි. ලක්ෂයක පමණ ජනගහණයකින් යුත් මෙහි ජනයා ස්වකීය ජීවිත දුෂ්කරතා බෙදා ගන්නා සජීවී සමාජයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම ගමන ගැන නිවේදනයක් නිකුත් කරන වතිකාන මාධ්‍ය කාර්යාලය කියයි. සුදොතුම් පියතුමා මෙම නිවෙස් බැහැදක්කේ සිය ආත්මික හා ශාරීරික පුණ්‍ය ක්‍රියා මාලාවේ කොටසක් ලෙස බවද එම නිවේදනයේ සඳහන් වේ. එසේම මම ජනතාවට තමන් ගේ ඇති සමීප බව ප්‍රකාශ කිරීමද මෙහි අරමුණක් වී තිබුනේය.


"ඔබගේ සුවපහසු කලාපයෙන් ඉවත්ව, මාවතට පිවිස බැටළුවන් සොයා යන්න' යයි එතුමා වරක් පූජකවරුනට දේශනා කරමින් කියා සිටියේය. "එඬේරා නැති වූ බැටළුවන් සොයා යා යුතුයි" එතුමා තවත් වරක් කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තමන් කර නැති දෙයක් හෝ නොකළ හැකි දෙයක් ගැන උපදෙස් දෙන්නේ නැත.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය