වතිකානයේ මුල්‍ය කටයුතුවල පාරදෘශ්‍යභාවයේ කැපී පෙනෙන ප්‍රගතියක්

A progress in Vatican financial transparency- Report 

වතිකාන බැංකුව (IOR) ඇතුළත දර්ශනයක් 

(2017 මැයි 16)
වතිකානය  මුල්‍ය පාරදෘශ්‍යභාවයේ මාර්ගයේ  නොකඩවා ගමන් කරමින් සිටින බව අලුත්ම මුල්‍ය වාර්තාව තහවුරු කරයි. වතිකාන බැංකුව තුළ සැකකටයුතු ක්‍රියාකාරකම් සිදු වීමෙහි කැපී පෙනෙන අඩුවීමක් දක්නට තිබෙන බව ද එම වාර්තාව කියයි.

AIF යන කෙටි නමින් හැඳින්වෙන වතිකාන මුල්‍ය බුද්ධි තොරතුරු අධිකාරිය  (Financial Intelligence Authority) විසින් වතිකානයේ අලුත්ම මුල්‍ය වාර්තාව මැයි 16 වනදා නිකුත් කෙරිණි. එම වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ. මෙම අධිකාරිය පිහිටුවන ලද්දේ 2010 දී සොළොස්වන වන බෙනඩික්  පාප් වහන්සේ විසිනි. කාලයක් පුරා වතිකාන මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පැණනැගී තිබුණු සැකසංකා නිසා එහි පුළුල් පාරදෘශ්‍යභාවයක් ඇති විය යුතු බවට ලෝක මුල්‍ය අංශ වලින් හඬ නැගෙමින් තිබිණි. ලෝකයේ නීති විරෝධී මුදල් උපයන්නන් මෙම බැංකුව මුදල් විශුද්ධිකරණය සඳහා යොදවා ගෙන ඇති බවට චෝදනා නැගීම මීට හේතුවයි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පත්වීමත් සමග IOR යන කෙටි නමින් හැඳින්වෙන වතිකාන බැංකුව ඇතුළු සමස්ත ආර්ථික කටයුතු වල ප්‍රතිසංස්කරණ ආරම්භ විය. ඒ යටතේ AIF අධිකාරියේ කටයතු ද ශක්තිමත් කෙරුණු අතර ජාත්‍යන්තර නිරීක්ෂකයෝ  රැසක් ඊට හවුල් කර ගන්නා ලදහ. වතිකානයේ මුල්‍ය කටයුතු නිරීක්ෂණය හා මුදල් විශුද්ධිකරණය වැලැක්වීම හා එය මර්දනය කරන මුරපල්ලකු ලෙස AIF ආයතනය ක්‍රියා කරයි.

2016 දී තම අධිකාරියේ දැඩි නිරීක්ෂණයට ලක්වූයේ IOR හෙවත් වතිකාන බැංකුව බව AIF අධිකාරියේ සභාපති ස්විස් ජාතික නීතිඥ රෙනේ බ්රුවෙහාර්ට් මහතා මේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. වතිකානයේ මුදල් කටයුතු පිලිබඳ නිසි බලධාරී ආයතනය නීති විරෝධී මුල්‍ය ගනුදෙනු වලට විරුද්ධව ගෙන යන සටනේ  සිය විදේශ හවුල් කරුවන් සමග පවත්නා සහයෝගිතාව ශක්තිමත් කරගැනීම, වාර්තා කිරීමේ ක්‍රමය තහවුරු කොට ශක්තිමත් කිරීම සහ නියාමන ක්‍රමය ශක්තිමත් කිරීම 2016 වසරේ ලද ජයග්‍රහණ අතර තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

"එම වසර තුළ ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය වූ අතර සැකකටයුතු ක්‍රියාකාරකම් සංඛ්‍යාවේ කැපීපෙනෙන අඩුවීමක්  දක්නට ලැබුණා. මෙම අඩුවීම පුදුමයට කරුණක් නොවේ. වසර කිහිපයක් පුරා අප අනුගමනය කරමින් සිටි ක්‍රියා මාර්ගවල තාර්කික ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් සැකකටයුතු ක්‍රියාකාරකම් තවමත් ඉහල මට්ටමක තිබෙන බව පේනවා. මන්ද නිරීක්ෂක ආයතනවල වාර්තා කිරීමේ ක්‍රමවේද ඉතා දැඩිව ක්‍රියාත්මක වන නිසයි." සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වතිකානයේ ආර්ථික හා මුදල් කටයුතු ප්‍රතිසංස්කරණය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ක්‍රියාත්මක කර ඇති වතිකානයේ පරිපාලන ව්‍යුහය වන රෝම ක්‍යුරියාව ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියා මාර්ගයේ  එක් වැදගත් කොටසක් බවට පත්ව තිබේ. මෙම ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව එතුමා තෝරා පත්කරගැනීමට  පෙර පැවැති පූර්ව-සසුන් පිය වරණ දැහැන් කතිකාවේ දී අවධාරණය කරනු ලැබිණි. එහෙත් මෙම ප්‍රතිසංස්කරණවලට කියුරියාවේ බල ලෝභී ඇතැම් කාදිනල්-රදගුරු හිමිවරුන් වෙතින් විරෝධයක් එල්ල වෙමින් තිබේ. කෙසේ නමුත්  2016 නත්තලට කියුරියා ප්‍රධානීන් සමග පැවැති හමුවේ දී සුදොතුම් පියතුමා අවධාරණය කලේ එම ප්‍රතිසංස්කරණ ක්‍රමවත්ව සිදුකෙරෙන බවයි.

ශු. 23 වැනි ජුවාම් සහ භා. සය වැනි පාවුළු පාප් වහන්සේලා ද මෙවැනිම ප්‍රතිසංස්කරණ සිදු කරද්දී ඒවාටද සභාවේ වරප්‍රසාද සහිත අංශ වෙතින් ප්‍රතිරෝධයක් එල්ල වූ බව සභා ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත්තේ ඒ පිළිබඳවද පූර්ණ අවබෝධයක් සහිතවයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය