පාතිමාවේ ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා 'පුංචි ගොපල්ලන්' ශාන්තුවරයට එසැවූ සුව වීමේ ප්‍රාතිහාර්යය

The miracle that made Fatima's "little shepherds" saints 

ප්‍රැන්සිස්කෝ-ජසින්තා ශුද්ධවර දිව්‍ය පූජාවේ දී පඬුරු ගෙන ආ සුවය ලැබූ ලූකස් බැටිස්ටා පුංචි පුතා,ප්‍රන්සිස් පාප්වහන්සේ වැළඳගත් මොහොත

(2017 මැයි 14)
ශා. ප්‍රැන්සිස්කෝ  සහ ශා. ජසින්තා මාර්තෝ අයිය-නගෝ දෙදෙනා මැයි 13 වන දා කතෝලික සභාවේ අලුත්ම - එමෙන්ම සභා ඉතිහාසයේ ලාබාලම - සාන්තුවරයන් බවට පත් වූහ. පාතිමාවේ මරිය මෑණියන් දර්ශනය වීමේ සියක් වසර පිරුණු ඊයේ ඒ වෙනුවෙන් පෘතුගාලයේ පාතිමා පුදබිමේ පැවැති දිව්‍ය පූජාවේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම භාග්‍යවන්තයන් දෙදෙනා ශුද්ධවරයට ඔසවන ලදහ. ඔවුන් දෙදෙනා භාග්‍යවන්තයන් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ වසර 2000 දී ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි.

ශා. ප්‍රන්සිස්කෝ සහ ශා. ජසින්තා පුංචි සාන්තුවරුන් ශාන්තුවරයට එසවීමට මග පෑදූ ප්‍රාතිහාර්යය(දේව සලකුණ)  වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එම ප්‍රාතිහාර්යය නම් මාරාන්තික තුවාල ලබා සිටි ලුකස් නමැති බ්‍රසීල ජාතික දරුවා වෛද්‍යවරුන් ද මවිතයට පත් කරමින් සම්පූර්ණ සුවය ලැබීමයි. එම සුවපත් වීම වෛද්‍ය විද්‍යාත්මක පදනමින් විස්තර කල නොහැකි ලෝකෝත්තර තත්වයක් බවට අදාළ සියලු පාර්ශව තහවුරු කිරීමෙන් පසුව ඔවුන් ශුද්ධවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුමැතිය දුන්නේ ය.

සියවස් ජයන්තියට එතුමා පාතිමාවට පැමිණීමට පෙර එහි පැවැති මාධ්‍ය හමුවක දී ලුකස් ගේ දෙමාපියෝ - එනම් ජොවාඕ බැටිස්ටා සහ ලුසිලා යුරී - එම දේව සලකුණ සහිත සිද්ධිය හෙළිදරව් කළහ.

දිනය 2013 මාර්තු 3 වනදා ය. ඒ වන විට කුඩා ලුකස් ගේ වයස අවුරුදු 5කි.
"ලූකස් පුතා එයාගේ නංගි එඩුවාර්ඩා එක්ක සෙල්ලම් කරමින් සිටියා" පියා ජොවාඕ එම කතාව ආරම්භ කළේය. එය මහල් නිවසකි.

"ඔවුන් සෙල්ලම් කරමින් සිටියේ ජනේලය ළඟයි. හදිසියේම ලූකස් ලිස්සා ජනේලයෙන් පහලට වැටුණා. ඔහු අඩි විස්සක් පමණ පහලට වැටුණා. ඔහුගේ හිස පොළොවේ වැදී තිබුණ අතර මේ නිසා ඔහුට බරපතල තුවාල සිදුවුනා.වෛද්‍යවරුන් කීවේ ඔහුගේ මොළයේ පටක වලට බරපතල හානි සිදු වී තිබෙන බවයි."

ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටි ලූකස්ට මුලින්ම ප්‍රතිකාර කරන ලද්දේ ඔහුගේ නගරය වන ජුරන්දාවේ කුඩා රෝහලකයි. තත්වයේ බරපතලකම නිසා ඔහු පසුව පරානාවේ මහ රෝහලකට මාරු කර යවන ලදී.

" එහි ගෙනයන විට පුතා ගැඹුරු කෝමාවකයි සිටියේ. ඔහුගේ හෘදය වස්තුව දෙවරක් ම නැවතුණා. වෛද්‍යවරුන් ඔහු හදිසි සැත්කමකට භාජනය කළා. අපි ඔහු වෙනුවෙන් යාච්ඥා කරන්නට පටන් ගත්තේ එවිටයි. අපි ජේසු සමිඳුන්ටත්, විශේෂයෙන් පාතිමාවේ මෑණියන්ටත්  යාච්ඥා කරන්නට ගත්තා. අපගේ පවුලේ පාතිමා මෑණියන්ට විශේෂ භක්තියක් තිබෙනවා..." ජෝවාඕ කඳුළු අතරින් කියා සිටියේය.

ඊළඟ දවසේ උදාසන ලූකස් ගේ දෙමාපියෝ එම නගරයේ තිබූ කාමලයිට් කන්‍යාරාමයට කතා කළේ සිය පුතා වෙනුවෙන් යාච්ඥා කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටය. එහෙත් එම කන්‍යා සොයුරියන් ඒ වන විට නිශ්ශබ්ද ධර්ම විවේකයක යෙදී සිටි බැවින් දුරකතනයට කතා කිරීමට එහි කිසිවෙක් සිටියේ නැත.

තවත් දිනයක් ගත විය. ලූකස් ගේ තත්වය තවත් නරක අතට හැරිණි. මෙම රෝහලේ ඔහුගේ වයසේ දරුවකුට  අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොවූයෙන් වෙනත් රෝහලකට ඔහු මාරු කර යැවීමට වෛද්‍යවරු තීරණය කළහ.

"මෙම අනතුරින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඇති ඉඩකඩ ඉතාම අඩු බව ඔවුන් අපට කීවා. එසේ ජීවිතය බේරා ගත්තත්, ඔහු සුවපත් වීම ඉතාම හෙමින් සිදුවන බව ඔවුන් පෙන්වා දුන්න. ඊටත් වඩා ඔහුගේ මොළයට සිදු වී ඇති හානිය නිසා ඔහු බරපතල ඥාණන ආබාධ සහිත පුද්ගලයකු (severe cognitive disabilities) විය හැකි බවටත්, බොහෝ විට මානව සංඥානන නොමැති අයකු (vegetative state) ලෙස ජීවත් විය හැකි බවත් ඔවුන් පහදා දුන්නා. .."

"මාර්තු 7 වනදා අප යළිත් කාමලයිට් කන්‍යාරාමයට කතා කළා. අපගේ සැනසීමට අපේ යාච්ඥා ඉල්ලීම පිළිගන්න සොයුරියන්  ඒ මොහොතේ එහි සිටියා..." ලූකස් ගේ පියා ජොවාඕ සැනසුම් සුසුමක් හෙලමින් කීවේය.

"ඔවුන්ගෙන් කෙනෙක් ආරාමයේ දිව්‍ය සත්ප්‍රසාද මංජුසාව අසල තැන්පත් කර ඇති භාග්‍යවන්ත ප්‍රන්සිස්කෝ සහ භාග්‍යවන්ත ජසින්තා ගේ ශුද්ධ වස්තු වෙතට දිව ගියා. එහිදී මෙසේ  යාච්ඥා කරන්නට තමන්ට සිතක් පහල වූ බව එම සොයුරිය අපට කීවා: 'අනේ! පුංචි ගොපල්ලනේ, ඔබ වාගේ දරුවෙක් වන මේ පුංචි පුතාගේ ජීවිතය රැක දෙන්න.' එසේ යාච්ඥා කල එතුමිය අපේ පුතා වෙනුවෙන් කුඩා ගොපලු දරුවනට යාච්ඥා කරන්නයි සෙසු කන්‍යා සොයුරියන්ගෙනුත් ඉල්ලා සිටියා. ඉතින් ඔවුන් එසේ යාච්ඥා කළා. අපිත්- අපේ පවුල සහ ඥාතීන්- සියලු දෙනාම පාතිමාවේ ගොපලු භාග්‍යවන්තයන් දෙදෙනාට යාච්ඥා කළා."

එම යාච්ඥාවේ බලය අත්දකින්නට ඔවුනට ගත වූයේ දින දෙකක් පමණි.ඒ සිද්ධිය ජොවාඕ විස්තර කලේ මෙහෙමය:

"මාර්තු 9 වනදා පුතා අවදිවුනා. අවදි වී කතා කරන්නට පටන් ගත්තා. ඔහු නංගි ගැනත් ඇහැව්වා. ඒ කිව්වේ අවදි වූ මුල් මොහොතේ සිටම ඔහුගේ ඥාණන ශක්තිය ඔහුට ලැබී තිබුනා." මාර්තු 11 වනදාම ඔහු දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කරන ලද අතර තවත් දින කිහිපයකින් ඔහුට රෝහලෙන් ඉවත් වී ගෙදර යන්නට ඉඩ ලැබිණි.

"ඒ දවස්වල සිටම ලූකස් පූර්ණ සුවයෙන් සිටිනවා. මීට සම්බන්ධ කිසිදු රෝග ලක්ෂණයක් හෝ අතුරු ආබාධක් හෝ දැකගන්නට නැහැ. අනතුරට පෙර තිබූ බුද්ධිය, ඉගෙනගැනීමේ හැකියාව, එකම චරිතය, ඒ සෑම දෙයක් ම නොවෙනස්ව පවතිනවා.ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ගෙන් බොහෝ දෙනෙක් කිතුනුවන් නොවේ. ඔවුන් සියලු දෙනාම කීවේ මෙම සුවපත් වීම (වෛද්‍ය විද්‍යාත්මකව) විස්තර කල නොහැකි බවයි."

පාතිමා බැසිලිකාවේ දෙව් මව් ප්‍රතිමාව දෙපස සරසන ශා. ප්‍රන්සිස්කෝ සහ ජසින්තා මාර්තෝ 

"අප තුළ අද විස්තර කල නොහැකි ප්‍රීතියක් තිබෙනවා. මන්ද මේ ප්‍රාතිහාර්යාත්මක සුවපත් වීම නිසා භා. ප්‍රැන්සිස් සහ ජසින්තා දෙදෙනාගේ ශුද්ධවරභාවය අද සිදුවන නිසයි. තවත් පැත්තකින් මේ ළමා සාන්තුවරුන් දෙදෙනා අපගේ පුතා සමගත්, දැන් අපේ පවුල සමගත් ඇති මිත්‍රත්වය නිසයි..." ජෝවාඕ සඳහන් කළේය.














Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය