ජන සයුරක් මැද සුදොතුම් පියතුමා පාතිමා මෑණියන්ට ලෝකය වෙනුවෙන් යාච්ඥා කරයි

Pope prays for the world at the foot of Our Lady of Fatima 


(2017 මැයි 12)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද (මැයි 12) සිය පාතිමා සංචාරය ආරම්භ කළහ. මරිය මෑණියන් මේ පාතිමා ගම්මානයේ ගොපලු දරුවන් තිදෙනෙකුට දර්ශනය වී ජේසුස් සමිඳුන් ගේ පණිවිඩය (පාතිමා රහස්) ප්‍රකාශ කිරීමේ සියවැනි සංවත්සරය සැමරීම සහ එම ගොපලු දරුවන්ගෙන් දෙදෙනෙකු (භාග්‍යවන්ත ප්‍රන්සිස්කෝ සහ භාග්‍යවන්ත ජසින්තා මාර්තෝ අයිය-නගෝ දෙදෙනා) සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙම වන්දනා ගමනේ අරමුණයි.

පාතිමා දර්ශනයේ සිය වැනි සංවත්සරය යෙදී ඇත්තේ මැයි 13 වනදා සෙනසුරාදාටයි.

අද (මැයි 12) පස්වරු 4.30 ට පමණ සුදොතුම් පියතුමන් රැගත් අලිටාලියා "එඬේර 1" (Shepherd 1) යානය පෘතුගාලයේ මොන්ටේ රියල් ගුවන් හමුදා කඳවුරු ගුවන් තොටුපලට ලඟා විය. සුදොතුම් පියතුමා එහිදී පිළිගන්නා ලද්දේ පෘතුගාල ජනරජයේ ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ද සූසා විසිනි. එහිදී එතුමන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වුනේ නැත. ජනාධිපතිවරයා සමග පෞද්ගලිකව සාකච්ඡා කළ සුදොතුම් පියතුමා ඉන් අනතුරුව එම ගුවන් තොටුපලේ දෙව්මැදුරට ගොස්  එහි පැමිණ සිටි ත්‍රිවිධ හමුදා භටයන් ගේ රෝගී දරුවන් සමග යාච්ඥා කර ඔවුන් ආසිරි ගැන්වීය.

ගුවන් තොටුපලේ සිට එතුමා ගියේ පාතිමා සිද්ධස්ථානයටයි.

ඒ වනවිටත් සිද්ධස්ථාන චතුරශ්‍රය  එකම හිස් ගොඩක් බවට පත්ව තිබුනේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙම සිද්ධස්ථානයට ලඟා වූයේ වන්දනාකරුවකු සේ ය.මෙම ගමන ආරම්භ වීමට පෙර්ව් එතුමා තමන් හැඳින් වූයේ "බලාපොරොත්තුවේ සහ සාමයේ වන්දනාකරුවෙක්" ලෙසය.

මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් සයුරක් පාතිමා සිද්ධස්ථාන චතුරශ්‍රයට එක්ව සිටියහ.

මෙම වන්දනාකරුවනට ආශීර්වාද  කරමින් සහ ඔවුන්ගේ ආචාර පිළිගනිමින් එතුමා පාතිමාවේ අප මෑණියන් ගේ ප්‍රතිමාව තැන්පත් කර ඇති පුංචි පල්ලියට ලඟා වූයේය. එහිදී මඳ වෙලාවක්  නිශ්ශබ්දව නෙත් පියාගෙන ප්‍රතිමාව ඉදිරියේ දැහැන් ගත වූ එතුමා ඉන්පසුව ගැඹුරු යැදුමක් මෑණියන්ට ඔප්පු කළේය.මේ යැදුමේ දී එතුමා දෙවියන් වහන්සේටත් දේවමාතා වන්ටත් ස්තුති ප්‍රශංසා කල අතර  කතෝලික සභාවත්, සියලු කිතුනුවනුත්, විශේෂයෙන් වදහිංසා වලට ලක්වූ කිතුනු ජනතාවත්, ලෝකයත්, යුද පීඩා වලට ලක් වූ ජනතාවත් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කලේය.


සුදොතුම් පියතුමන් අතින් ම රචිත යයි සිතිය හැකි බස් වහරක් ඇති එය, සොඳුරු දීර්ඝ යැදුමකි. එහි රසවත් ආරම්භය  මෙසේය:

මංගල්‍යස්තු රාජේශ්වරියනි,
පාතිමාවේ භාග්‍යවන්ත කන්‍යාවෙනි,
නිර්මල හෘදයේ ස්වාමිදුවෙනි,
අපගේ රක්‍ෂස්ථානය හා දෙවිඳුන් වෙත යන අපගේ මාර්ගයෙනි,

 මානව ඉතිහාසයේ සෑම මොහොතකම හා සෑම ස්ථානයකම ක්‍රියාකාරීව සිටින
දෙවිපියාණන් වහන්සේට
ඔබගේ දෑතින් අප වෙත ගලා එන ආලෝකයේ වන්දනාකරුවෙකු ලෙස
මම ස්තුති ප්‍රශංසා කරමි;
ඔබ සාමය ප්‍රකාශ කරන මෙම ස්ථානයේ සාමයේ වන්දනාකරුවෙකු ලෙස
අපගේ සාමය වන ක්‍රිස්තු සමිඳුනට ප්‍රශංසා කරමින්,
සියලු ජනතාව අතර සුසංගමය උදාකරන ලෙස මම ආයාචනා කරමි;
ආත්මයාණන් වහන්සේ පුබුදුවාලන බලාපොරොත්තුවේ වන්දනාකරුවෙකු ලෙස
අප එක්සත් කරන එකම බොජුන් මේසයේ සිට
සියල්ලන් ගේ පාද දෝවනය කරන දිවැසිවරයකු හා පණිවිඩකරුවකු ලෙස මම පැමිණෙමි.

සැදැහැවතුන් ගේ පිළිතුර:
මංගල්‍යස්තු සාන්ත වූ ද ප්‍රේමනීය වූ ද
පාතිමාවේ ජපමාලයේ රාජෙශ්වරියනි,
මංගල්‍යස්තු සාන්ත වූ ද ප්‍රේමනී ය වූ ද
මධුර වූ නිත්‍ය කන්‍ය මරියනි !

සුදොතුම් පියතුමා:
මංගල්‍යස්තු, දයාවේ මෑණියනි
සුදු වතින් සැරැසුණු ස්වාමිදුවෙනි,
සිය වසරකට පෙර මේ පුද බිමේදී
දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ අරමුණු ඔබ සියල්ලනට ප්‍රකාශ කර වදාලාය.
ආලෝකයෙන් සැදුණු ඔබගේ වස්ත්‍ර දෙස
සුදු වතින් සැරැසුණු රදගුරු තුමන් ලෙස  මම නෙත් නොපියා බලා සිටිමි;
ප්‍රසාද ස්නාපනයේ තේජස් වස්ත්‍රයෙන් සැරැසී
දෙවියන් වහන්සේ තුළ ජීවත් වීමේ මහත් අභිලාෂයෙන් සිටින සියල්ලන්
මම මෙහිදී මතක් කරමි;
ඔවුනට සාමය ලබා දෙන්නැයි අයැදිමින්
මම ක්‍රිස්තුන් වහන්සේ ගේ අබිරහස් පවසමි.

සැදැහැවතුන් ගේ පිළිතුර:
මංගල්‍යස්තු සාන්ත වූ ද ප්‍රේමනීය වූ ද
පාතිමාවේ ජපමාලයේ රාජෙශ්වරියනි,
මංගල්‍යස්තු සාන්ත වූ ද ප්‍රේමනී ය වූ ද
මධුර වූ නිත්‍ය කන්‍ය මරියනි !

සුදොතුම් පියතුමා සිකුරාදා දවස අවසන් කලේ රාත්‍රී යැදුම් මෙහෙයට සහභාගී වෙමිනි.

ඉටිපහන් එළියෙන් ජපමාලය උච්චාරණය කිරීමට වන්දනාකරුවන් හා සුදොතුම් පියතුමා සහභාගී වූ මේ රාත්‍රිය පාතිමාවේ මරිය මෑණියන් වටා ස්වර්ගයත් මිහිතලයත් සම්බන්ධ වූ අති මනහර මධුර රාත්‍රියක් ම වී තිබිණ. ස්පාඥ්ඥ, ජර්මන්, ප්‍රංශ, ඉංග්‍රීසි, රුසියානු, අරාබි වැනි භාෂා රැසකින් ජපමාලයේ සොම්නස් අබිරහස් පහ මෙනෙහි කරමින් ජපමාලය උච්චාරණය කෙරින. මෙය ආත්මයන් සගපුරට ඔසවන ගීතිකාවලින් ද රසගැන්වී  තිබිණ.

ජපමාලය අවසාන වන විට  සුදොතුම් පියතුමා වෙහෙසට පත් වී සිටි බවක් දක්නට ලැබිණ. ඉක්මනින් ම සිය "පෝප් මොබයිල්" රියට ඇතුළු වූ එතුමා රාත්‍රිය ගත කරන කාර්මෙල් මෑණියන් ගේ ආරාමයට කැටුව  යන ලදී.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය