"විද්‍යාව විසින් ඔප්පු කල හැකි දෙවි කෙනෙකුට මම බයයි..." වතිකාන තාරකා විද්‍යාඥයා කියයි

"I am afraid of a God who can be proven by science" - Vatican's chief astronomer 


(2017 මැයි 11)
බුද්ධිය සහ (කිතුනු) විශ්වාසය අතර තරගයක් හෝ ගැටුමක් නැතැයි වතිකාන අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසයි. විද්‍යාවට බිය වන්නේ(ක්‍රිස්තු ධාර්මික)  විශ්වාසය හීන පුද්ගලයන් බව ඔහු අවධාරණය කරයි. නූතන විද්‍යාව පිළිගන්නා ප්‍රබල විද්‍යාත්මක න්‍යායන් ඉදිරිපත් කරන ලද්දේ කිතුනු විද්‍යාඥයන් - විශේෂයෙන් ම කතෝලික පූජක වරුන් - විසින් බව හෙතෙම පෙන්වා දෙයි. මේ නිසා කතෝලික මීසම් මට්ටමින් පවා යෞවන සිසුන් සම්බන්ධ කර ගනිමින් විද්‍යා කව පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දෙයි.

"ඔබ විද්‍යාවට බිය වන්නේ ඔබගේ (ආගමික ) ඇදහිල්ල  තුළ විශ්වාසයක් නොමැති නම් පමණයි. ඉතින්, ඔබ  විද්‍යාවට බිය නම් ඔබ තුළ, ඇත්ත වශයෙන් ම විශ්වාසයක් නැහැ..." ඔහු කියා සිටියේ ය.

වතිකාන අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තාරකා විද්‍යාඥ ගයි කොන්සොල්මඥ්ඥෝ ජේසු නිකායික සහෝදර තුමා මේ බව කියා සිටියේ මැයි මස 9 වැනිදා වතිකානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ය. එදින වතිකානයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ විශ්වය සම්බන්ධ නූතන විද්‍යාත්මක මත හා සොයාගැනීම් පිලිබඳ සම්මන්ත්‍රණයට මාධ්‍ය වේදීන් දැනුම්වත් කිරීම සඳහා මෙම හමුව පැවැත්විනි.

"වතිකාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ 1891 දී 13 වන ලියෝ පාප් වහන්සේ විසින්. එතුමා මෙය පිහිටුවීමේ අරමුණ වූයේ කතෝලික සභාව යහපත් විද්‍යාවට සහය දක්වන බව පෙන්වා දීමයි. ඉතින්, එසේ කිරීම සඳහා අපට යහපත් විද්‍යාවක්  අවශ්‍යයි" යි කී සහෝදරතුමා මෙම සමුළුවේ අරමුණ එය දිරිගැන්වීම බව  පෙන්වා දුන්නේ ය.

විශ්වයේ ආරම්භය ගැන දැනට පිළිගෙන තිබෙන විද්‍යාත්මක මතය වන "මහා පිපුරුම් න්‍යාය" ( the “Big Bang” theory) හඳුන්වා දුන් බෙල්ජියාන ජාතික විද්‍යාඥ ජෝර්ජස් ලෙමයිත්‍ර පියතුමා අනුස්මරණය කිරීම  මෙම සමුළුවේ අරමුණකි. මේ නිසා 'මහා පිපිරුම් න්‍යාය' සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති සාවද්‍ය මතවාද ගැන ද  කොන්සොල්මඥ්ඥෝ ජේසු නිකායික සහෝදර තුමා කතා කළේය.

"සමහරු සිතනවා මෙම න්‍යාය නිසා විශ්වයට  'මැවුම්කරුවකු' අවශ්‍යය යන මතය බිඳ වැටෙනවා කියා. එය වැරැදියි. තවත් පිරිසක් මෙම මතය යොදා ගන්නේ සියල්ලටම පෙර (මහා පිපිරුමටත් පෙර) දෙවියන් වහන්සේ සිටුවා එය නිවැරදි යයි කීමටයි. එයත් නිවැරදි නොවේ. "

"දෙවියන් වහන්සේ ගේ මැවිල්ලේ ක්‍රියාව අවරුදු බිලියන 13.8 කට ඉහත සිදුවූ දෙයක් නොවේ. දෙවියන් වහන්සේ අවකාශය සහ කාලය පවතින්නටත් පෙර සිටිනවා. ඇත්ත වශයෙන් ම මෙහිදී 'පෙර' යන වචනය පවා යොදා ගැනීම වැරදියි. මන්ද දෙවියන් වහන්සේ සිටින්නේ කාලය හා අවකාශයට පිටතින්" එතුමා පෙන්වා දුන්නේය.

"දෙවියන් වහන්සේ ගේ මැවිල්ලේ ක්‍රියාව අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. ඔබ දෙවියන් වහන්සේව දකින්නේ මහා පිපුරුම සිදුකළ තැනැත්තා ලෙස නම් ඔබට හමුවන්නේ සොබා දහම් දෙවියෙක් - හරියට විදුලි අකුණු වීසිකරමින් සිටි ජුපිටර් දෙවියා වගේ. එහෙත් කිතුනුවන් වන අප විශ්වාස කරන්නේ එවැනි දෙවි කෙනෙකු ගැන නොවේ. අප අදහන්නේ ලොව්තුරු දෙවිඳාණන්  කෙනෙක් ගැනයි. දෙවියන් වහන්සේ යනු විශ්වයේ පැවැත්මට වග කියන තැනැත්තා බව  අන්න එවිට අපට තේරුම් ගත හැකි වෙනවා. උන්වහන්සේ එය කලේ  කෙසේදැයි විද්‍යාව පෙන්වා දෙනවා."

'විශ්වයේ ආරම්භය' සහ ' විශ්වයේ  සම්භවය' යන සංකල්ප දෙකේ වෙනස ද අප අවබෝධ කරගත යුතු බව කොන්සොල්මඥ්ඥෝ සහෝදරතුමා පෙන්වා දුන්නේ ය. මෙම වෙනස භෞතික විද්‍යාඥ ජෝර්ජස් ලෙමයිත්‍ර පියතුමා ද අවධාරණය කල කරුණක් බව එතුමා පැවසුවේ ය.

"විශ්වයේ ආරම්භය යනු විද්‍යාවට අයත් විෂයයක්. මෙහිදී අධ්‍යයනය කෙරෙන්නේ භෞතික විද්‍යාත්මක ගණනයන් අනුව නිරවද්‍යව විශ්වය ආරම්භ වූ දින වකවානුවයි. එහෙත් විශ්වයේ සම්භවය යනු දේවධර්ම ශාස්ත්‍රයට අයත් විෂයයක්.  එය විද්‍යාත්මක ඥානවිභාගයට අයත් ප්‍රස්තුතයක් නොවේ." එතුමා අවධාරණය කළේය.

"දෙවියන් වහන්සේ යනු විද්‍යාව අවසානයේ අප එළඹෙන යම් දෙයක් නොවේ. දෙවියන් වහන්සේ යනු ආරම්භයේ ම අප උපකල්පනය කරන තැනැත්තෙක්. විද්‍යාව විසින් ඔප්පු කල හැකි දෙවි කෙනෙකුට මම බොහෝ ම  බයයි. මන්ද, අප දන්නා විද්‍යාව විශ්වාස කල නොහැකි බව මා හොඳින් ම දන්නා නිසයි..." එතුමා සඳහන් කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය