ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සන් ජුසේ සම්බන්ධය

Joseph Connection in Francis Papacy 

 සැතපෙන ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාව (Rome Reports වෙතිනි)

(2017 අප්‍රේල් 30)
මෙම ලිපිය පලවන්නේ අප්‍රේල් 30 වැනිදා වුවත්, ශ්‍රී ලංකාවේ ඔබ මේ අවදිවන්නේ මැයි මස පළමූ වැනි දාටයි.

මේ ලෝක  කම්කරු දිනයයි.

කම්කරු දිනයේ දී ලොව පුරා කතෝලික ජනතාවට නිතැනින් ම සෙනෙහසින් මතක් වන පුද්ගලයකු සිටියි. ඔහු නම් සිය ශිල්පයේ සොඳුරු බවින්,දෑතේ සවියෙන් සහ දහදිය මහන්සියෙන් ජේසු පුතා රැක බලාගෙන ලොකු මහත් කළ නාසරෙතෙයේ ජුසේ තුමයි. එනම් ජේසු සමිඳුන් ගේ සුරැකි පියා වූ ශු. ජුසේ මුනිඳුන් ය. ජුසේ මුනිඳුන්ට කැප කරන ලද ලක් දිව පුරා දෙව්මැදුරු අද (මැයි 1)හෝ ලබන ඉරිදා ජුසේ මුනි මංගල සිරියෙන් ඇලැලී යයි.

මේ සැරසෙන්නේ ජුසේ මුනිඳුන් ගැන කියන්නට නොවේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජුසේ මුනිඳුන් අතර ඇති බොහෝ දෙනෙකු නොදන්නා සම්බන්ධය ගැන කියන්නට ය.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සිව් වසරක  දූත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් රිජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. ඉන් පළමුවැන්න  උන්වහන්සේ ප්‍රථම ජේසු නිකායික පාප් වහන්සේය යන්න යි. දෙවැන්න   එතුමා  දුප්පතුන් හා දුප්පත්කම  කේන්ද්‍ර කොටගත් සාන්ත ප්‍රන්සිස් අසීසි තුමන් ගේ නම හා දුත මෙහෙවර සිය ආදර්ශය  කරගෙන ඇත යන්නයි.

එහෙත් මෙම විශ්ලේෂකයන් ගේ අවධානය යොමු නොවූ ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සේවය හා බැඳුනු තවත් සාධකයක් තිබේ. එනම්  ජේසු ගේ සුරැකි පියා වන ශුද්ධ වූ ජුසේ මුනීන්ද්‍රයා යි.

2013 මාර්තු 13 වන දා රෝමයේ රදගුරුතුමන් (පාප් වහන්සේ ගේ නිල තනතුරු නාමය) ලෙස තේරී පත් වූ හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ  කාදිනල් තුමන් ගේ පාප් ධුරයේ පදවි ප්‍රාප්තිය සිදුවුයේ මාර්තු 19 වන දා  යි. එනම් ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේ යි. එතුමන් මේ දිනය සිය පදවිප්‍රාප්තිය සඳහා තෝරා ගත්තේ සිතා මතාම ය. එය එදින දිව්‍ය පුජාවේ දී එතුමන් කළ ධර්ම දේශනයෙන් මනාව පැහැදිලි වේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ශු. ජුසේ මුනිඳුන්ට විශේෂ ආදර භක්තියක් ඇති බව එතුමන් ගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් තහවූරු වී තිබේ. පාප්ධුරයට පත් අලුතම  ජුසේ මුනිඳුන් ගේ නම දිව්‍ය   පුජාවේ දිව්‍ය සත්ප්‍රසාදීය යැදුමේ (Eucharistic Prayer) දේව මාතා වහන්සේ ගේ නම කියැවෙන ස්ථානයට පසුව යොදන ලෙස එතුමා  උපදෙස් දුන්නේ ය.

ජුසේ තුමන් තම ජීවිතයට ඇති එක් සමීප  සම්බන්ධයක් ගැන  සුදොතුම් පියතුමා පිලිපීනයට ගිය අවස්ථාවේ මෙසේ විස්තර කළේය. "මගේ කාමරයේ ජුසේ මුනිඳුන් නිදා සිටින ප්‍රතිමාවක් තිබෙනවා. මට ප්‍රශ්නයක් ගැටළුවක් ආවම මම ඒවා කොලයක  ලියල කොලේ නමල ජුසේ මුනිඳුන් ගේ ඒ සුරුවම යටින්  තබනවා, උන්වහන්සේට මා වෙනුවෙන් ඒ ගැන සිහින දකින්නට."

මෙය සත්‍යයක් බව සුදොතුම් පියතුමා ගේ කාමරයේ  දී එතුමා සම්මුඛ සාකච්ඡාවට ලක් කල ජේසු නිකායික "ඇමෙරිකා" සඟරාවේ කතුවර පියතුමා පසු කලෙක හෙළි කළේය. "බලන්න. ජුසේ මුනිඳුන් දැන් ලියුම් මෙට්ටයක් මත නිදා සිටිනවා..." යි සුදොතුම් පියතුමා සිනහසෙමින් කීවේය.

"මගේ කාමරයේ ජුසේ මුනිඳුන් නිදා සිටින ප්‍රතිමාවක් තිබෙනවා"


එහෙත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ජුසේ මුනිඳුන්ගෙන් ලබන අධ්‍යාපනය සහ ආලෝකය ඊට වඩා ගැඹුරු බව දක්නට ලැබේ. සිය පදවි ප්‍රාප්ති දිව්‍ය පුජාවේ  දේශනයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය තේමාව කරගත්තේ ජේසුගේ සුරැකි පියා ද ශුද්ධ වූ පවුලේ ප්‍රධානියා ද වූ ජුසේ තුමන් ගේ ජීවිතයේ බැලු බැල්මට  නොපෙනෙන, කවුරුත් කතා නොකරන, "එඬේරික ජීවිතයයි". පාප්වහන්සේ සිය එඬේරික දහම් සේවාවේ මාර්ග සැලැස්ම ලෙස යොදාගෙන ඇත්තේ ද සිය දැක්ම කොට ගෙන ඇත්තේ ද ජුසේ මුනි 'එඬේරික' භූමිකාව බව පැහැදිලි වේ. ජුසේ මුනිඳුන් ගේ ජීවිතය ආදර්ශ කොට ගනිමින් සිය දහම් සේවා දැක්ම (vision of his ministry) සුදොතුම් පියතුමා  එම දේශනයේ දී  විස්තර කළේය.

පාප්තුමන් ලෙස තමන් ගේ ද සභාවේ සියලු එඬේරුන් ගේ ද භූමිකාව විය  යුත්තේ කුමක්දැයි ජුසේ මුනි ජීවිතය ගෙන හැර දක්වමින් සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය. " සැබෑ බලය යනු සේවය බව අප අමතක නොකළ යුතුයැ " යි එතුමා කීවේය. එය තම ධුරයට ද ආදර්ශයක් බව එතුමා කීවේය: "පාප් වහන්සේ ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ ජීවිත ලක්ෂණය වූ නිහතමානී, ප්‍රායෝගික සහ විශ්වාසවන්ත සේවාවෙන් ආලෝකය ලැබිය යුතුයි. ජුසේ මුනිඳුන් මෙන් පාප්වහන්සේ සිය දෑත් දිගහැර දෙවිඳුන් ගේ සියලු ජනතාව ආරක්ෂා කල යුතුයි; සමස්ත මානව වර්ගයත් - විශේෂයෙන් දුප්පත් ම, දුර්වලම වැදගත්කමින් අඩුම අයත්   - මෘදු වූ සෙනෙහසින් වැළඳ ගත යුතුයි. "
"ජනතාව ආරක්ෂා කල හැක්කේ ප්‍රේමයෙන් සේවය කරන්නන්ට පමණකැයි " එතුමා අවධාරණය කළේය.

සිය පදවි ප්‍රාප්තිය අවස්ථාවේ සිත්තම් කල මෙම "ජෝසේපු සිත්තම" නොහොත් ශු. ජුසේ මුනි දැක්ම හුදෙක් සිත්තමක් නොව සැබෑවක්ම බව ගත වූ සිව් වසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තහවුරු කර තිබේ. සිය ප්‍රථම විශ්ව  ලේඛනය එතුමන් වෙන් කළේ ලෝක ප්‍රසාදයට පත් නුතන විවෘත වෙළෙඳ පොල ආර්ථිකය විසින් ඇතිකර තිබෙන සමාජ ආර්ථික අසාධාරනය ගැන පෙන්වා දෙන්නටය. දුපතුන් සහ මේ ආර්ථික ක්‍රමයෙන් හැලී යන්නන් ආරක්ෂා කර ගැනීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරන්නටය. එපමණක් නොවේ. එතුමා  දයාබර තාත්තා කෙනකු මෙන් දෑත් දිගුකර සියල්ලන් - විශේෂයෙන් දුප්පතුන්, කොන්වුවන්, අබාධිත නොහොත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්  වැළඳ ගනියි .ඔවුන්ට සවන් දෙයි. උපදෙස් දෙයි. ඔවුන් සනසයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  "දේව ජනතාව" යන පදයට  ඇතුළත් වන්නේ කතෝලික ජනතාව පමණක් නොවේ. කතෝලික නොවන කිතුනුවන්  රෝමානු කතෝලිකයන් නොවන සියලු කතෝලිකයන් ද ඊට ඇතුලත්ය. "කිතුනුවන් අතර ඇති භේද දරුණු අපචාරයක්! දරුණු අපචාරයක්!" එතුමා  කිහිප වතාවක් කීවේය. ගත වූ  සිව් වසර තුළ සභා අතර සංවාදය නැවුම් මුහුණුවරක් හා වඩා උණුසුම් තත්වයකට පත්ව තිබේ.  කතෝලික සභාව සහ පුනරුද සමයේ කතෝලික සභාවෙන් දැවැන්ත බෙදීමක් සනිටුහන් කල ලුතෙරාන සභාව අතර මේ වන විට බෙහෙවින් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබේ. ඉකුත් දා ඊජිප්තුවට ගිය සුදොතුම් පියතුමා හා කොප්ටික් සභාවේ තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා අතර නව සම්මුතිටක් ද අත්සන් කෙරින.  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දේව ජනතාව ඊටත්  වඩා ඔබ්බට යයි. ජේසු සමිඳුන් ගේ ගැලවීම සියල්ලන්ට විවෘත යැයි උන්වහන්සේ කිහිප වතාවක් පැවසුහ. වෙනෙකක් තබා අදේවවාදීනටත් ගැලවීමේ දොරටුව විවෘත බව උන්වහන්සේ අවධාරණය කළහ. පුද්ගලයකු තම හර්ද සාක්ෂියට අනුව කටයුතු කරන්නේ නම් ඔහු දෙවිඳුන්ට අවනත වන පුද්ලයකු බව අදේවවාදී පත්‍ර කලාවේදියකු සමග පැවති  සාකච්ඡාවකදී එතුමා  පෙන්වා දුන්නේය. පසුගිය වසරේ ඇතැම් ආන්දෝලනාත්මක කරුණු පවා ඉස්මතු වූ පවුල පිලිබඳ ලෝක රදගුරු අතිවිශේෂ කතිකාව වූ කලී අර්බුදයට ලක්ව ඇති නුතන පවුල් සංස්ථාවේ "නැති වූ,අතරමං  වූ,පලා ගිය,රෝගී වූ   බැටළුවන්" යලි රළට හෙවත්  සභාවේ සෙවනට ගෙන ඒමට පාප්වහන්සේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් සේ හඳුන්වා දිය හැකිය. මේ සියල්ල පියකු ලෙස දෑත් දිගහැර සියල්ලන් වැළඳ ගන්නට එතුමන්  සුදානම් ව සිටින ආකාරය පිළිබිඹු කරයි.

ඒ, ශු. ජුසේ මුනිඳුන් ගේ  සේවා භූමිකාව   ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙතෙක් ඉටුකර  ඇති ආකාරයයි. ඉදිරියේ දී , දේව කැමැත්ත අනුව, කුමක් බලාපොරොත්තු විය හැකි ද?

ආරක්ෂකයා හෝ සංරක්‍ෂකයා ලෙස ශු. ජුසේ මුනිඳුන්ගේ භූමිකාව හුදෙක් කිතුනු භූමිකාවක් නොවන බව සිය පදවි ප්‍රාප්ති ධර්ම දේශනාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. " ක්‍රිස්තු ආගමනයට පෙර සිට පැවැති මානව පදනමක් ඊට තබේ.මෙය මැවිල්ල,  මැවිල්ලේ සුන්දරත්වය, සංරක්ෂණය කිරීමයි. උත්පත්ති පොත අපට කියා දෙන ආකාරයට සහ අසීසියේ ප්‍රැන්සිස් තුමන් ජීවත් වූ ආකාරයට අප ජීවත් වන පරිසරය ඇතුළු සෑම දේව මැවිල්ලකටම අප ගෞරව කල යුතුයි."අවසානයේ දී සියල්ල භාර වන්නේ මානව වර්ගයා ගේ ආරක්ෂාව  යටතටයි. එය මානවයන් ලෙස අපගේ වගකීමයි. අපි දෙවියන් වහන්සේ ගේ ත්‍යාග වල ආරක්ෂකයන් වෙමු" යි අදා සාන්ත පීතර චතුරශ්‍රයට  රැස්ව සිටි 200,000 ක් පමණ වූ බැතිමතුන් සහ 131ක් වූ රාජ්‍ය නියෝජිතයන් අමතමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ එදා කියා සිටියහ.

එදා තමන් කල මෙම ඉඟිය වසර තුනක් ගත වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉටු කළේය. ඒ, "වේ ප්‍රශංසා" නමැති පරිසර  විශ්ව ලේඛනය එලි දැක්වීමෙනි. එය අතිශයින් අභියෝගාත්මක ලේඛනයක් බවට පත්විය. දෙවි සමිඳාණන් සියල්ල මවා එය ආරක්ෂා කිරීම භාර කලේ මානව සංහතියට  බැවින් මේ වන විට "කසල ගොඩක්" බවට පත්වෙමින් ඇති මිහිතලය විනාශයෙන් ගලවාගෙන ආරක්ෂා කිරීම මෙම පරපුර මත ඇති වගකීමක් බව එම විශ්ව ලේඛනයෙන්  සුදොතුම් පියතුමා මනාව පැහැදිලි කරයි. 

 ශු. ජුසේ මුනිඳුන් ගේ හඳුනා නොගත් එඬේරික භූමිකාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දකින්නේ එසේය. සභා නායකත්වයද ජුසේ මුනිඳුන් සේ පිය සෙනෙහසින් හා එඬේරික මෙහෙවරින් සිය ජනතාවට මග පෙන්විය යුතුය යන්න එතුමා පෙන්වා දෙයි. 

ගැටලුව නම් සිව් වසරක්  ගතවීත් ප්‍රැන්සිස් පාප්වහන්සේ කතාකරන සහ ජීවත් වන මෙම" ජුසේ-ප්‍රැන්සිස්"  ශෛලිය උන්වහන්සේ ගේ හද බැඳගත්  පර්යන්ත සභා වෙත ගලා යන්නේ ද යන්නයි. උන්වහන්සේ සරල, නිහතමානී , ප්‍රායෝගික සේවක-නායක ජීවිතයක් ගත කරද්දී පර්යන්ත සභාවල නායකයන්  තවමත් පැරණි 'මහේශාක්‍ය" නායකත්වයෙන් ඉවත්වන්නට සුදානම් නොමැති ද යන්නයි. ජුසේ මුනිදුන් මෙන් ජේසු ගේ රැල පෝෂණය කරනු වෙනුවට ඔවුන්ගෙන් ගරු බුහුමන් වැඳුම් පිදුම් පමණක් බලාපොරොත්තු වන්නේ ද යන්නයි.

පාප්වහන්සේ වෙනස් වුව ද එම ප්‍රබල වෙනස සභාවේ පහල නායකත්වය විසින් වැළඳගෙන ජීවත් නොකරන්නේ නම්,  ප්‍රැන්සිස් සසුන් පියාණන් පත් කිරීමෙන් ජේසු සමිඳාණන් යමක් බලාපොරොත්තු වී ද එය ඉටු කර ගැනීම පිලිබඳ උන්වහන්සේගේ බලාපොරොත්තුව කඩ කිරීමක් වන්නේ ය. සිය ස්වාමියා ගේ කැමැත්ත (දෙවියන් වහන්සේ ගේ කැමැත්ත) ඉටුකිරීමට සියලු රදගුරු හිමිවරු බැඳී  නොසිටිත් ද?




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය