"කිතුනුවන් ගේ එකම ධර්මෝන්මාදය: පිළිලබ නොතකා ප්‍රේම කිරීම පමණයි"- කයිරෝ නුවර රැව් දුන් ප්‍රේමයේ පනත

"Love must be the sole fanaticism of Christians" - Pope reminds in Egypt 


(2017 අප්‍රේල් 29)
අප ජීවත්වන මේ යුගය  වූ කලී ලොව පුරා බොහෝ ආගම් අදහන්නන් ධර්මෝන්මාදයෙන් (fanaticism) මුලා වී, තම දහම පමණක් සත්‍යය, උසස් ය යන අදහසින් සෙසු ආගම් අදහන්නන්ට ගරහන, ඔවුනට වදහිංසා කොට, ඇතැම් විට ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කොට ඔවුන් ඝාතනය කරන යුගයකි. සෙසු ආගම් අදහන්නන් ගේ ආගමික ස්ථාන විනාශ කරන යුගයකි. ආගමේ හා දෙවියන් ගේ නාමයෙන්, දෙවිඳුන් ගේ නාමය ආමන්ත්‍රණය කරමින්,  මිනිසුන් ඝාතනය කරන යුගයකි. මේ පසුබිම කෙරෙහි දැඩි අවබෝධයෙන් හා සැලැකිල්ලෙන් සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ කතෝලිකයන් අමතමින් ලොව පුරා කතෝලික විශ්වාසකයනට ප්‍රබල පණිවිඩයක් දුන්නේ ය.

එනම්, කිතුණු විශ්වාසිකයන් තුළ තිබිය යුතු එකම ධර්මෝන්මාදය, එකම අන්තවාදය විය යුත්තේ "කවර විශාල පරිත්‍යාගයක් කරන්නට සිදු වුවද, ප්‍රේම කිරීම පමණක්" බවය. ජේසු සමිඳුන් සිය ජීවිතය පුරා ජීවත්වෙමින් දේශනා කර, පසුව  අවසන් රාත්‍රී  භෝජනය අවස්ථාවේ යලිත් අවධාරණය කළ "ප්‍රේමයේ පනත" ජීවත් කරවීම නූතන ලෝකය දවාලන සියලු මානව අර්බුදවලට විසඳුම බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම සොඳුරු පණිවිඩය දුන්නේ සිය ඊජිප්තු සංචාරයේ දෙවන දිනය වූ අප්‍රේල් 29 වනදා උදාසන කයිරෝ නුවර "ගුවන් ආරක්ෂක ක්‍රීඩාංගනයේ" (Air Defense Stadium) පැවැති  දිව්‍ය පූජාවේ ධර්මදේශනය පවත්වමිනි. 15,000 ක පමණ ජනතාවක් මෙම දිව්‍ය පූජාවට සහභාගී වූ බව වාර්තා වෙයි. ඊජිප්තුවේ ජනගහනය මිලියන 89කි. මුස්ලිම් බහුතරයකින් සමන්විත එරට කතෝලිකයන් සිටින්නේ 272,000කට ආසන්න පිරිසකි. මෙහිදී දුදොතුම් පියතුමා දේශනා කලේ තමාට සුපුරුදු ඉතාලි බසිනි. එය එවෙලේම අරාබි බසට පරිවර්තනය කෙරිණි.

"දෙවියන් වහන්සේට ප්‍රිය  වන්නේ අපගේ ජීවිතය තුළින් ප්‍රකාශ කෙරෙන විශ්වාසය පමණයි. මන්ද, කිතුනුවන් තුළ තිබිය යුතු එකම ධර්මෝන්මාදය, දයාව පමණක් නිසාය.  සෙසු සියලුම  ධර්මෝන්මාද පැමිණෙන්නේ දෙවියන් වහන්සේ ගෙන් නොවේ. ඒවා උන්වහන්සේට ප්‍රසන්න වන්නේ නැත.  (දෙවිඳුන් කෙරෙහි) සැබෑ විශ්වාසයය යනු අප වඩාත් දයාවන්ත කරන, වඩාත් කරුණාබර  කරන, වඩාත් ත්‍යාගශීලි කරන, වඩාත් මානුෂවාදී  හා ප්‍රේමවන්ත කරන සාධකයකි. වාසි අවාසි හෝ ලාබ-පාඩු, වෙනස් කම් හෝ උස් -පහත්කම් හෝ මනාපකම් හෝ නොතකා සෑම කෙනෙකුටම ආදරය කිරීමට එම විශ්වාසය අප පොළඹවයි," යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"සැබෑ විශ්වාසය, මුණගැසීමේ, සංවාදයේ, ගරුත්වයේ සහ සහෝදරත්වයේ සංස්කෘතියක් ජීවත්කරවීමටත්, එවැනි සංස්කෘතියක් ආරකෂා කර පැතිරවීමටත් අප පොළඹවයි. එය අපට වරද කල අයට සමාව දීමටත්, ශාරීරික පුණ්‍ය ක්‍රියා වල යෙදීමටත් අප දිරිමත් කරයි. අප අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව හා උද්යෝගය ම සෙසු අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යෙදවීමට ද එම විශ්වාසය අප යොමුකරයි. අප ඇදහිල්ලෙන් වර්ධනය වන තරමට අපි බැහැපත්කමින් ද වර්ධනය වෙමු" යි එතුමා විස්තර කළේය.

ඉරිදා සුබ අස්න හා කුරුසියේ කිතුනු ජීවිතය 
මෙම දිව්‍ය පූජාව පවත්වන ලද්දේ ඉරිදා දිව්‍ය පූජාව ලෙසය. මෙදින සුබ අස්න ලෙස යොදා ගෙන තිබු, එම්මාවුස් ගම බලා  ගමන් කරමින් සිටි ශ්‍රාවකයන් දෙදෙනාට උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ මුණගැසීමේ සිද්ධිය පාප් වහන්සේ ගේ ධර්ම දේශනයට ද පාදක විය.

එම්මාවුස් බලා යමින් සිටි මෙම ගෝලයන් දෙදෙනා ගේ කතාබහට මාතෘකා වී තිබුනේ ජේසු සමිඳුන් ගේ කුරිරු මරණයයි. තම ගුරුවරයා හා ගැලවුම්කරුවා වූ ජේසු සමිඳුන්ට මෙවැනි දුක්ඛිත ඉරණමකට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ කෙසේද යන්න ඔවුනට තේරුම්ගත නොහැකි වී තිබිණ.

"සර්ව බලැති දෙවිඳාණන් මෙවැනි නින්දිත මරණයකින් ජේසු සමිඳුන් ගලවා නොගත්තේ මන්දැයි ඔවුනට තේරුම් ගත නොහැකිව තිබිණි. ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය දෙවියන් පිලිබඳ ඔවුන් ගේ ම අදහස්වල කුරුසියක් වී තිබිනි. එසේම ක්‍රිස්තුන් වහන්සේ ගේ මරණය, දෙවියන් වහන්සේ  යනු කවුරුන් දැයි ඔවුන් තුළ තිබූ අදහස් වල මරණය ද වී තිබිණි."

"ඇත්තවශයෙන් ම මියගොස් තිබුනේ මෙම ශ්‍රාවකයන් ය. සිය සීමිත තේරුම්ගැනීම නමැති සොහොන් ගැබෙහි ඔවුහු භූමදාන කරනු ලැබ සිටියහ. අප ද කෙතරම් වාරයක් මේ තත්වයට පත් පත්වන්නේ ද? දෙවියන් පිළිබඳව අප තුළ ඇති අදහස් වලටකෙතරම් වාරයක් අපි දෙවියන් ඔසවා නොතබමුද? එනම් මිනිසා ගේ සමානත්වයට හා ස්වරූපයට දෙවියන් වහන්සේ මවන්නමු ද?
දෙවියන් වහන්සේ ගේ සර්වබලධාරී බව යනු  බලයේ සහ අධිකාරීත්වයේ බලයක් නොවේ. එය ප්‍රේමයේ සහ සමාව දීමේ බලයකි. මෙය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අප කොපමණ වාරයක් කලකිරීමට පත්වන්නෙමු ද?" යි මෙම සුබ අස්නේ අභිධර්මය සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

අවසානයේ දී මෙම ශ්‍රාවකයන් උත්ථාන වූ ජේසු සමිඳුන් හඳුනා ගන්නේ පූප කැඩීමේ අවස්ථාවේ දී ය. "මෙහිදී ප්‍රීතියෙන්, උද්යෝගයෙන් හා ආත්ම විශ්වාසයෙන් පුර්ණ වන ඔවුහු ඊට  සාක්ෂි දැරීමට සුදානම් වෙති."

සාක්ෂි දැරීම - ප්‍රේමයේ ජීවිතය
"එම්මාවුස් බලා ගිය ශ්‍රාවකයන් ගේ ගේ ජීවිත අත්දැකීම අපට උගන්වන්නේ, අපගේ හදවත් දේව භයෙන් සහ දෙවියන් වහන්සේ ගේ වැඩසිටීමෙන් හිස් වී  ඇත්නම් අපගේ දේවස්ථාන පිරවීමට උත්සාහ කිරීමෙන් ඵලක් නොමැති බවයි. අපගේ යාච්ඥාව අපගේ සහෝදර සහෝදරියන්  වෙත ගලා යන ආදරය බවට පත් නොවන්නේ නම් යාච්ඥා කිරීමෙන් ඵලක් නැත. අපගේ දැහැමි බව ගැඹුරු විශ්වාසයකින් හා දයා ප්‍රේමයකින් අනුප්‍රාණය නොලබන්නේ නම් එම දැහැමි බවෙන් ප්‍රයෝජනයක් නැත. අප පිළිබඳව අප තුළ ප්‍රතිරුපයෙහි තේරුමක් නැත. මන්ද දෙවියන් වහන්සේ බලා සිටින්නේ අපගේ ආත්මය දෙස නිසාය. උන්වහන්සේ කුහක කම පිළිකුල් කරන සේක. ව්‍යාජ විශ්වාසිකයකු, කුහකයකු වනවාට වඩා විශ්වාස නොකිරීම දෙවියන් වහන්සේ ට හොඳය," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.    






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය