වතිකාන ක්‍රිකට් කණ්ඩායම පෘතුගාලයේ ක්‍රිකට් සංචාරයක

Vatican Cricketers head to Fatima for an Interfaith Tournament 



(2017 අප්‍රේල් 19)
වතිකාන ක්‍රිකට් කණ්ඩායම පෘතුගාලයේ ක්‍රිකට් සංචාරයක් සඳහා අද (අප්‍රේල් 19)  රෝමයෙන් පිටත්ව යයි. ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ලොව පුරා කතෝලිකයන් ගේ මහත් භක්ති ප්‍රේමයට පාත්‍ර වී ඇති පාතිමා නුවරයි. දේවමාතා වහන්සේ 1917 දී දිළිඳු ගොපලු දරුවන් තිදෙනෙකුට දර්ශනය වීම නිසා ශුද්ධත්වයට පත් වූ  ලෝක ප්‍රකට දේව මාතා සිද්ධස්ථානය බැහැදැකීම හා සමයාන්තර සම්බන්ධතා ශක්තිමත් කෙරෙන ක්‍රිකට් තරග මාලාවකට සහභාගී වීම ඔවුන් ගේ මෙම සංචාරයේ අරමුණ බව වතිකාන ගුවන් විදුලිය කියයි.

වතිකාන ක්‍රිකට් කණ්ඩායම පාතිමාවට යන්නේ තවත් විශේෂ අවස්ථාවකට පූර්වගාමීවයි. එනම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ පාතිමා ගමනයි. පාතිමාවේ දේවමාතාවහන්සේ  දර්ශනය වී  වසර 100ක් සපිරීමේ ජයන්තියට එක්වීම සඳහා සුදොතුම් පියතුමා මැයි මස 12-13 දිනවල එම සිද්ධස්ථානයේ අපෝස්තලික ගමනක නිරත වෙයි. ( මරිය මෑණියන් පාතිමාවේ ප්‍රැන්සිස් සහ ජසින්තා යන සොයුරු-සොයුරි දෙදෙනාටත්, ලුසියා නම් වූ  ඔවුන් ගේ ඥාති සොයුරියටත් ප්‍රථම වරට දර්ශනය වූයේ 1917 මැයි 13 වනදායි.)

වතිකාන රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමේ නිල නාමය "සාන්ත පීතර ක්‍රිකට් ක්‍රීඩා සමාජය" (St Peter’s Cricket Club) යන්නයි. අනාගත පූජකවරුන් වීමට රෝමයේ ඉගෙනගනිමින් සිටින දෙව්සත්හල් සිසුන් හා රෝමයේ උසස්  අධ්‍යාපනය ලබන පූජකවරුන් ගෙන් මෙම කණ්ඩායම සමන්විත වෙයි.

සාන්ත පීතර කණ්ඩායමේ ක්‍රිකට් සංචාර හැඳින්වෙන්නේ "ඇදහිල්ලේ ආලෝකය" සංචාර වශයෙනි. මෙය ඔවුන් ගේ තෙවන එතෙර සංචාරයයි. පෘතුගාලයේ දී ඔවුනට අනුග්‍රහය දක්වනු ලබන්නේ ඓතිහාසික කොයිම්බ්‍රා විශ්ව විද්‍යාල නගරය අසල පිහිටි මිරැන්ඩා දෝ කොර්වෝ පුර මහනගර සභාව සහ එහි ජනතාව විසිනි.

2013 දී වතිකාන ක්‍රිකට් කණ්ඩායම පිහිටුවන ලද්දේ එවකට වතිකානයේ සිටි ඕස්ට්‍රේලියානු තානාපතිවරයා විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කරන ලද යෝජනාවක් අනුවයි. සංස්කෘතිය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව යටතේ ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරයි. කණ්ඩායමේ එක් ඉලක්කයක් වන්නේ වෙනත් කිතුනු සභා සහ වෙනත් ආගම්වල ජනතාව සමග සම්බන්ධතා ඇතිකර ගැනීමයි.

පෘතුගාලයේ ලිස්බන් අගනුවරට ලඟා වූ සැනින් බදාදා උදෑසනම ක්‍රිකට්  කණ්ඩායම පාතිමාවට යන බව කණ්ඩායමේ කළමණාකරු ගරු එමෝන් ඕ'හිගින්ස් පියතුමා පවසයි. එම සිද්ධස්ථානයේ දී දිව්‍ය පූජාව ඔප්පුකරන මෙම පූජක-දෙව්සත්හල් සිසු ක්‍රීඩක පිරිස සිය කණ්ඩායම දේවමාතා වහන්සේට කැපකිරීමට නියමිතයි. "සියල්ල ඇරඹෙන්නේ යැදුමෙන්" කළමණාකාර පියතුමා අවධාරණය කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය