කොලෝසියමේ පාදනමස්කාරයට නව ස්ථාන කිහිපයක්: භාවනා රචනා කලේ ගිහි බයිබල් විශාරදවරියක්

New topics for meditation introduced at Pope's Via Crucis at Colosseum 


(2017 අප්‍රේල් 14)
පාප්  වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ ඓතිහාසික කොලෝසියමේදී සාම්ප්‍රදායිකව මහ සිකුරාදා සන්ධ්‍යාවේ පැවැත්වෙන කුරුසියේ පාද නමස්කාර භාවනාව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 14) සිදුකෙරිණ.

සුපුරු පරිදි දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් ද කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන් හා පූජක-පැවිදි විශාල පිරිසක් ද ඊට සහභාගී වීම සඳහා පැමිණ සිටියහ. කිතුනුවනට කිසිදා අමතක නොවන සිහිවටනයක් වන කොලෝසියම ජේසු සමිඳුන් ගේ කුරුසියේ ගමන භාවනා කෙරෙන පාද නමස්කාරය සඳහා අතිශයින් උචිත ස්ථානයකි. මන්ද ක්‍රි. ව. 50 වැනි සියවසේදී පමණ එවකට සිටි නීරෝ සහ දියෝක්ලෙෂියානෝ වැනි රෝම අධිරාජයන්  විසින් මුල් සමයේ කිතුනුවන් විව්ධාකාරයෙන්  කුරිරු ලෙස මරණයට පත් කරන ලද්දේ මෙම ස්ථානයේ දී වීම නිසාය.

මෙවර පාද නමස්කාර භාවනාව රචනා කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් භාර දෙනු ලබා තිබුනේ ප්‍රංශ ජාතික, හැත්තෑ හැවිරිදි, ඈන්-මරී පෙල්ටියර් මහත්මියටයි. ඕ දේවධර්මවේදය හා බයිබල්වේදය පිලිබඳ ආචාර්යවරියකි. දේවධර්මවේදයට ඇය මෙතෙක් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ඕ 2014 දී රැට්සිඟර් සම්මානයෙන් පුදනු ලැබුවාය. ඈන්-මරී පෙල්ටියර් සිය අධ්‍යාපන වෘත්තික ජීවිතය  ආරම්භ කලේ වාග් විද්‍යාව හා සාහිත්‍ය අංශයෙනි. එහෙත් දිනක් බයිබල් අධ්‍යයන කවයක හමුවකට සහභාගී වීමෙන් පසුව ඇගේ ජීවිතය මුළුමනින් ම වෙනස් විය.

ඇය මහ සිකුරාදා  පාප් වහන්සේ ගේ පාදනමස්කාර  භාවනාව රචනා කිරීමේ අවස්තාව ලද තුන්වැනි කාන්තාව වන නමුදු, එම අවස්ථාව ලද පළමුවන ගිහි කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වෙයි. මීට කලින් ශු. . දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් දෙවතාවක් මෙම කාර්යය පැවිදි සොයුරියන් දෙදෙනෙකුට භාර දෙන ලද අතර, සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ සමයේ ද පැවිදිවරියක් මෙම යැදුම රචනා කළා ය.

මෙවර පාදනම්ස්කාර භාවනා වල දකින්නට ඇති සුවිශේෂ ලක්ෂණයක් වන්නේ මෙම භාවනා සඳහා ගැනෙන කුරුස ගමනේ ස්ථාන 14න් 4ක් හැර ඉතිරි 10 ම නිර්මාණාත්මක ලෙස අලුතින් හඳුන්වා දෙනු ලැබ තිබීමයි. හුදෙක් සුවිශේෂය හා නව ගිවිසුමේ උපුටා ගැනීම් පමණක් නොව ජේසු සමිඳුන් ගේ කුරුස ගමනට පාදක වන පැරැණි ගිවිසුමේ උපුටා ගැනීම් ද මිශ්‍ර කරගනිම්න් මෙම භාවනාව රසවත් හා වඩාත් අරුත්බර කර  තිබේ. ජේසු සමිඳුන් ගේ දුක්ගාවිනා වලට හේතු වන නූතන ලෝකයේ පාප ද මෙම භාවනාවට විෂය වී ඇත.

 මෙම පාද නමස්කාරයේ ස්ථාන 14 මෙසේය:

පළමුවැනි ස්ථානය:
ජේසු සමිඳුන් මරණයට තීන්දු කරනු ලැබීම.

දෙවැනි ස්ථානය:
ජේසු සමිඳුන් පේදුරු තුමන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම

තුන්වැනි ස්ථානය:
ජේසු සහ පිලාත් ආණ්ඩුකාරයා

හතරවැනි  ස්ථානය:
ජේසු: මහිමයේ රජාණෝ

පස්වැනි  ස්ථානය:
ජේසු සමිඳාණෝ කුරුසිය උසුලාගෙන යති.

සයවැනි ස්ථානය:
ජේසු සහ සිරේනියේ සයිමන්

සත්වැනි ස්ථානය:
ජේසු සහ ජෙරුසලෙමේ දියණියෝ

අටවැනි ස්ථානය:
ජේසු සමිඳුන් ගේ වස්ත්‍ර ඉවත්කරනු ලබයි.

නවවැනි ස්ථානය
ජේසු සමිඳාණෝ කුරුසියේ ඇණ ගසනු ලබති.

දස වැනිස්ථානය:
කුරුසියේ සිටින ජේසු සමිඳුනට ජනතාව අවමන් කරති.

එකොලොස් වැනි  ස්ථානය:
ජේසු සහ උන්වහන්සේ ගේ මෑණියෝ

දොළොස් වැනි  ස්ථානය:
ජේසු සමිඳාණෝ කුරුසිය මත උකුත් වෙති.

දහතුන්වැනි  ස්ථානය:
ජේසු සමිඳාණන් කුරුසියෙන් බානු ලබති.

දහහතර වැනි  ස්ථානය:
ජේසු සමිඳාණන් මිහිදන් කරනු ලැබීම සහ කන්තාවෝ

ස්ථාන 14 වෙත යන ගමනේ දී එක් එක් ස්තාන් වෙත කුරුසිය ඔසවාගෙන යන ලද්දේ එක් එක් කණ්ඩායම් හෝ පුද්ගලයන් විසිනි. පූජක- පැවිදි-ගිහි සෑම කෙනෙකුම මෙලෙස කුරුසිය රැගෙන ගිය අතර, ඔවුන් පෝලන්තය, ඉතාලිය, ඉන්දියාව, අප්‍රිකාව, ඊජිප්තුව, පෘතුගාලය, කොලම්බියාව, ප්‍රංශය, චීනය, සහ ඊශ්‍රායෙලය වැනි රටවලට අයත් අය වුහ. ස්ථාන හතක දී කුරුසිය රැගෙන යන ලද්දේ කුඩා දරුවන් ද සිටින පවුල් විසීනි.























Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය