"හොඳම ඔසුව ආදරයයි; වැළඳ ගැනීමයි" සුදොතුම් පියතුමා ළමා රෝහල් කාර්යමණ්ඩලයට කියයි.

"Love is the best medicine": Holy Father tells pediatric hospital officials and families

සුදොතුම් පියතුමා රෝහලෙන් ආ අමුත්තන් හමු වූ අවස්ථාව 

(2017 අප්‍රේල් 12)
"හොඳම ඖෂධය  ආදරයයි. හොඳම ප්‍රතිකාරය ආදරයෙන් උපත ලබන ආලිංගනයයි" යයි රෝගී දරු පැටවුන් රැසක් සහ ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ඔවුන් ගේ දෙමාපියන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

එතුමා මෙම උපදේශය දුන්නේ රෝමයේ "ළමා ජේසු" ළමා රෝහලේ  (Bambino Gesu Pediatric Hospital) රෝගීන්, ඔවුන් ගේ දෙමාපියන් හා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අප්‍රේල් 10 සඳුදා වතිකානයේ දී එතුමන් හමු වූ අවස්ථාවේ දී ය. වයස අවුරුදු 5-18 අතර රෝගීන් පිරිසක් සමග සුදොතුම් පියතුමන් හමුවීමට ඔවුහු පැමිණ සිටියහ. සිරිත් පරිදි ලියාගත් පිටපතකින් තොරව සුදොතුම්  පියතුමා පියකු සේ ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

"පවුලකට ලබා දිය හැකි වැදගත් ම සහ හොඳම ඖෂධය අපට අමතක වීමේ අවදානමක් තිබෙනවා. කුමක් ද මේ බෙහෙත? ආලිංගනය යි ( වැළඳගැනීම යි). එය ඉතා මිළ අධික ම බෙහෙත් වර්ගයක්. මන්ද, එම බෙහෙත ලබා ගැනීමට, එම ප්‍රතිකාරය කිරීමට, ඔබ ඔබ සතු සියල්ලම දිය යුතුයි; ඔබගේ හදවත මුළුමනින් ම දිය යුතුයි; ඔබගේ ආදරය සම්පුර්ණයෙන් ම දිය යුතුයි. ඔබ හැම කෙනෙක්ම, වෛද්‍යවරුන්, හෙද-හෙදියන් සහ අධ්‍යක්ෂ තුමා පවා මෙම ආදර ආලිංගනය මේ දරුවන්ට ලබා දෙන බව මා දන්නවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"ඔබ සෑම කෙනෙකුම සුවිශේෂ වූ කතාවක්. රෝගී දරුවන් පමණක් නොවේ. වෛද්‍යවරුන්, හෙද-හෙදියන්, රෝගීන් බලන්නට පැමිණෙන්නන් සහ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කතන්දරයක්" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. තමන් 2016 දෙසැම්බර 15 වනදා ළමා ජේසු රෝහලට ගිය අවස්ථාව ගැන සුදොතුම් පියතුමා මෙහිදී සිහිපත් කළේය.

"ඒ වෙලාවේ වෛද්‍යවරුන් මට එහි සිටින නිවැසියන් (රෝගීන්) එකිනෙකා මට හඳුන්වා දුන්නා... හැම ක්නෙකුගේ නම.. ගම.. ඔවුන් මෙවැනි රෝග තත්වයක් සමග සටන් කරනවා...මේ ආදී වශයෙන් ....ඔවුන් ගේ ජීවිත තුළ දේවල් පවා මෙම නිලධාරීන් දැනගෙන සිටියා. එවිට මට මෙසේ සිතුනා. මෙය රෝහලකට වඩා පවුලක්. ඇත්තටම එම වචනය ඔබත් පාවිච්චි කළා. ඔබට වැදගත් ම දේ වුනේ, නම; එනම් පුද්ගලයා. ඊට පසුවයි රෝගය ගැන සඳහන් කලේ. එය පවුලක්. එහෙම නේද?"
 කැමරාවට මුහුණ දීමට ඇතැම් ළමා රෝගීන් ලජ්ජා වූ අවස්ථාවේ හෙද නිලධාරිනියක් පැමිණ විහිළුවක් කොට ඔවුන් දිරිමත් කර පණගැන්වූ සැටි ද සුදොතුම් පියතුමා සිහිපත් කලේය. "පවුලේ සුන්දරත්වය මෙයයි" එතුමා අවධාරණය කළේය.

පවුලේ ආදරයෙන් උපත ලබන ආදරයේ වැළඳගැනීමෙන් සිත කය සුවපත් කිරීමට එඩිතර වන්නැයි එතුමා එහි සිටි සියල්ලන් දිරිමත් කළේය.

"මෙය කතෝලික රෝහලක්. කතෝලිකයකු වීමට නම් ඔබ මුලින් ම මනුෂ්‍යයකු විය යුතුයි. ඔබ අද මානුෂවාදී සාක්ෂියක් වන්න. මේ මාර්ගයේ දිගටම ගමන් කරන්න. මේ ඔස්සේ වර්ධනය වන්න" යයි එතුමා වැඩි දුරටත් කියා සිටියේ ය.

"බොම්බිනෝ ජේසු" හෙවත් "ළමා ජේසු" ළමා රෝහල සමස්ත යුරෝපයේම ඇති විශාලතම ළමා රෝහල හා පර්යේෂණ මධ්‍යස්ථානයයි. "පාප් වහන්සේ ගේ රෝහල" යන විරුදය ලබා ඇති මෙය ශුද්ධාසනයට අයත් රෝහලකි. ඉතාලියේ පමණක් නොව ලොව පුරා  ළමා රෝගීනට මෙහි ප්‍රතිකාර කෙරේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය