බෝම්බ ප්‍රහාර නොතකා සුදොතුම් පියතුමා මේ මස අවසානයේ ඊජිප්තුවට

Pope will visit Egypt as scheduled despite Palm Sunday terrorist attacks

පාප් වහන්සේ සහ එල්-ටයෙබ් ප්‍රධාන ඉමාම් තුමා වතිකානයේ දී මුණ ගැසුණු මොහොත 

(2017 අප්‍රේල් 11)
ඊජිප්තුවේ කතෝලික දෙව්මැදුරු දෙකකට සති අන්තයේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර නොතකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඊජිප්තු අපෝස්තලික ගමන යොදා ගත් අයුරින්ම සිදු කෙරෙන බව වතිකානය නිවේදනය කරයි. ඊයේ (අප්‍රේල් 10 වනදා) වාර්තාකරුවන් අමතමින් ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් මහතා මේ බව කියා සිටියේ ය.

ඊජිප්තු සංචාරය සැලැසුම් කළ  අයුරින් ම සිදු කෙරෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද තහවුරු කර තිබේ. එතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රන්සිස්කාන නිකායේ ප්‍රධානීන් සමග පැවැති හමුවක දීය.

සුදොතුම් පියතුමා මේ මස 28-29 දිනවල ඊජිප්තුවේ කයිරෝ අගනුවර අපෝස්තලික සංචාරයක යෙදීමට නියමිතය. මෙම සංචාරය,  එතුමන් ගේ දිරිගැන්වීම මත සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව  දීර්ඝ කාලයක සිට දරමින් සිටි උත්සාහයක ප්‍රතිඵලයකි. විවිධ අතවර හා හිංසනයන්ට භාජනය වෙමින් සිටින ඊජිප්තු කිතුනුවන්ට සමීප වී ඔවුන් දිරිගැන්වීම මෙම ගමනේ ප්‍රධාන අරමුණකි. ඒ සමගම වැදහත් වූ අරමුණක් වී ඇත්තේ කතෝලික-ඉස්ලාම් සංවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමයි. ඉකුත් ඉරිදා එනම් ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීමට දෙව්මදුරුවලට පැමිණ සිටි කොප්ටික් කතෝලිකයනට ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ මෙම ප්‍රහාර සුදොතුම් පියතුමා ගේ මෙම අරමුණු දුර්වල කරනවාට වඩා, වඩාත් ශක්තිමත් කිරීමට හේතු වී තිබේ.

මේ අතරින් පළමු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූයේ උතුරුදිග ඊජිප්තුවේ තන්තා නගරයේ මාර් ජෙර්ජෙස් කොප්ටික් කිතුනු දෙව්මදුරට රැස්වී සිටි බැතිමතුනටය. මේ සිද්ධියෙන් 27 දෙනෙකු මිය ගිය අතර 71 දෙනෙක් තුවාල ලැබූහ. දෙවැනි බෝම්බ පිපිරීම සිදුවූයේ ඇලෙක්සැන්ඩ්රියාවේ දේවස්ථානයක් අසලය. මෙයින් මිය ගිය සංඛ්‍යාව 17 වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 35කි. මෙම දෙවැනි බෝම්බ ප්‍රහාරය එල්ල වන මොහොතේ  කොප්ටික් කිතුනු සභාවේ නායක දෙවැනි තවාද්‍රොස් පෙත්රියාක් තුමා ඇලෙක්සැන්ඩ්රියා දෙව්මැදුර  තුළ ගොබ් ඉරිදා දේව මෙහෙය පවත්වමින් සිටියේ ය. මෙයින් එතුමා අනතුරක් සිදු නොවී බේරුණේ අනුනවයෙනි.

ඊජිප්තු කිතුනුවෝ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රථම ශ්‍රාවකයන් ගෙන් ධර්මදානය ලබා කිතු දහම සරණ ගියෝ වෙති. ඊජිප්තුවට කිතු සුපුවත ගෙන යන ලද්දේ සුවිශේෂක ශු. මාර්ක් තුමන් විසිනි. ජේසු සමිඳුන් දෙසූ ශුභාරංචිය හා එතුමන් ගේ ක්‍රියා පදනම් වූ ප්‍රථම සුවිශේෂය ලියන ලද්දේ මාර්ක් තුමන් විසිනි. දැන් කොප්ටික් කිතුනුවන් ලෙස හඳුන්වෙන්නේ මෙලෙස මාක් තුමන්ගෙන් දහම ලැබූ ජනතාවයි. එබැවින් ඔවුන් ආරක්ෂා කිරීම, දිරිමත් කිරීම හා ඔවුන් වෙනුවෙන් යැදීම කිතුනුවන් සතු වගකීමකි. කයිරෝ අගනුවර දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොප්ටික් කිතුනු නායක දෙවැනි තවාද්‍රොස් පෙත්රියාක් තුමා සහ එරට රදගුරු මණ්ඩලය මුණ ගැසීමට නියමිතයි.

ගුවන් තොටුපලේදී එතුමන් පිළිගනු ලබන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටාහ් ඒල්- සිසී මහතා සහ එරට මුස්ලිම් කේන්ද්‍රස්ථානය වන අල්-අෂර් පල්ලියේ ප්‍රධානී අහමඩ් එල්-ටයෙබ් ප්‍රධාන ඉමාම් තුමා විසිනි. ඊජිප්තුවට පැමිණෙන ලෙස ඉමාම් තුමන් විසින් පාප් වහන්සේට පෞද්ගලිකවම ඇරැයුම් කර තිබිණි.

කිතුනු දෙව්මදුරුවලට එල්ල වූ මෙම ප්‍රහාරය එල්-ටයෙබ් ප්‍රධාන ඉමාම් තුමා තරයේ හෙලා දැක්කේ ය. එතුමා අවධාරණය කලේ දෙවියන් වහන්සේ ගේ හෝ ඉස්ලාම් දහමේ නාමයෙන් කෙරෙන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා එම දහමේ මූලික ඉගැන්වීම් වලට මුළුමනින් ම පටහැනි බවයි. ඊජිප්තුවට පැමිණෙන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව සලසන බවට ද ඉමාම් තුමා සහතික විය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය