"පින්තූර තුළ නොව පීඩාවට පත් මිනිසුන් හා ගැහැණුන් තුළ වැඩවසන ජේසු සමිඳුන් හඳුනා ගෙන ආදරය කරන්න": සුදොතුම් පියතුමා ගේ ශුද්ධවූ සතියේ අභියෝගය

"Look for Jesus in those who suffer and love him..." Holy Father's challenge for the Holy week


(2017 අප්‍රේල් 9)
මේ ශුද්ධ වූ සතිය තුළ, දුක් විඳින, තනි වූ, මානව හිමිකම් අහිමි කරන ලද, අසරණ වූ  ජනතාව තුළ ජීවත්වන ජේසු සමිඳුන් සොයන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනුවන් ගෙන් ඉල්ලා සිටියි. කිතුනු ජනවන්දනා වර්ෂයේ අති පරිශුද්ධවත් මෙම සතිය තුළ අප භාවනා කළ යුත්තේ එදා  රජකු සේ මහිමයෙන් යුතුව ජෙරුසලෙමට ඇතුළු වූ ජේසු සමිඳුන් පමණක් නොවේ. මරණයට පෙර උන්වහන්සේ දරා ගත් වචනයෙන් විස්තර කල නොහැකි වූ වේදනාවන් ද අපගේ භාවනාවට යොමු විය  යුතු ය. උන්වහන්සේ එදා විඳි වේදනා අද ද යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා, සහ නූතන වහල්බව තුළ අපට දැකගත හැකි බව සුදොතුම් පියතුමා පෙන්වාදෙයි.

" ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය හා මරණයට පෙර සතියට සභාව ඇතුළු වන විට ජේසු සමිඳුන් අපගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේ  සම්බන්ධයෙන් නිර්මාණය වූ චිත්‍ර, සිතුවම් හා ඡායාරූප තුළ හෝ අන්තර්ජාලය තුළ සංසරණය වන වීඩියෝ තුළ හෝ තමන්වහන්සේ දැක භාවනා කරන ලෙස නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ අපට පවසන්නේ අද දවසේ උන්වහන්සේ සේ ම විවිධාකාරයෙන් දුක් විඳින අපගේ සහෝදර  සහෝදරියන් තුළ වෙසෙන තමන් වහන්සේ මුණගැසෙන ලෙසයි: වහල් ශ්‍රමය, පවුල් ආරවුල්, රෝග පීඩා, යුද්ධ-ප්‍රචණ්ඩ ක්‍රියා, වැනි විවිධ ජනයා තුළ උන්වහන්සේ මෙලෙස දුක්  විඳින සේක....යුද්ධයෙන් පීඩා විඳින්නන්, සන්නද්ධ වුවන් හා ප්‍රහාර එල්ල කිරීමට නිතර සුදානමින් සිටින්නන් නිසා බියට පත් වූවන්, රවටනු ලැබූ සහ සිය ගෞරවය කෙලෙසනු ලැබූ කාන්තාවන් හා මිනිසුන් වැනි මානව කණ්ඩායම් තුළ උන්වහන්සේ එදා සේ ම දුක් විදින " බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"ජේසු සමිඳාණෝ ඒ සියල්ලන් තුළ ම - ඒ එකිනෙක පුද්ගලයා තුළ ම - වැඩවසන සේක. විරූපී වූ සිරුරින් හා කැඩුණු හඬින් ඔවුන් තුළ සිට අප අමතන උන්වහන්සේ, ඔවුන් ගේ දෑස වෙත අපගේ ඇස් යොමු කර, ඔවුන් පිළිගෙන ඔවුන්ට  ආදරය  කරන්නැයි අපගෙන් ඉල්ලා සිටියි" යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී අද (අප්‍රේල් 9) පැවැති ගොබ් ඉරිදා දිව්‍ය පූජාවේ ධර්මදේශනය පවත්වමිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙවර චතාරික කාලයේ පණිවිඩයට පාදක වුයේ ද ජේසු සමිඳුන් වදාළ ධනවතා සහ ලාසරස් පිලිබඳ උපමාවයි. මේ අනුව අප අතර දුක් විඳින  'ලාසරස් ලා' හඳුනාගෙන ඔවුනට සරණ වෙන්නැයි එතුමා එම පණිවිඩයෙන් ලොව පුරා කතෝලික ජනයාට ආරාධනා කළේය. එම ආරාධනාව වඩාත් තීව්ර කරමින් එතුමා ශුද්ධ වූ සතියට ඇතුළු වන්නේ "ලාසරස් ලා මේසයට ගන්නැයි" කතෝලික ජනතාවට අභියෝග කරමිනි.

"දුක් විදින මෙම සහෝදර සහෝදරියන් තුළ වැඩවෙසෙන දෙවියන් වහන්සේ 'වෙනත් කිසි යම් ජේසු කෙනෙකු' නොවේ. ඒ, ජනතාව ගේ ප්‍රීති ඝෝෂාවත් ගොබ් අතු ලෙලවීමත් මැද ජෙරුසලෙමට ඇතුළු වූ ජේසු සමිඳාණෝ ම  ය. ඒ, අපරාධකරුවන් දෙදෙනකු මැද කුරුසියට තබා ඇණ ගසන ලද, එම කුරුසියේ දී මරණයට පත් වූ ජේසු සමිඳාණෝ ම ය" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"ජේසු සමිඳාණන් හැර අපට වෙනත් සමිඳාණන් කෙනෙක් නැත. යුක්තියේ, දයා කරුණාවේ සහ සාමයේ ජේසු සමිඳුන් හැර අපට වෙනත් සමිඳාණන් කෙනෙක් නැත. මේ ශුද්ධ වූ සතිය තුළ එතුමන් ගැන භාවනා කරමින් දුක් විඳින ජනතාවගේ මුහුණු තුළ එතුමන් දැක ආදරය කරන්නයි" එතුමා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.
 ---------------  ------------------------------------ -----------------------
ශුද්ධෝත්තම පියතුමා රෝමයේ දී ගොබ් ඉරිදා දේව මෙහෙය පවත්වන අතරතුර, ඊජිප්තුවේ කොප්ටික් කිතුනුවනට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ 21 දෙනෙක් මිය ගියහ. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ගොබ් ඉරිදා දේව මෙහෙයට සහභාගී වීම සඳහා  ඊජිප්තුවේ උතුරුදිග තන්තා නගරයේ මාර් ගර්ජෙස් දෙව්මදුරට රැස්වී සිටි ජනතාවට ය. සිද්ධියෙන් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව මූලික වාර්තා පෙන්වා දෙයි.

සුදොතුම් පියතුමා මේ මස අවසානයේ ඊජිප්තුවේ අපෝස්තලික සංචාරයක යෙදීමට නියමිතය. එතුමන් එහි යන්නේ, එරට කොප්ටික් කතෝලික නායක තුමන්, ජනාධිපති සේ ම විශේෂයෙන් ම එරට මුස්ලිම් නායකත්වය විසින් කරන ලද ආරාධනයකට අනුවය. කිතුනු-මුස්ලිම් සංවාදය ශක්තිමත් කිරීම මම සංචාරයේ ප්‍රමුඛ අරමුණකි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය