"ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි" 2016 මහ සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔප්පු කළ ගැඹුරු යැදුම

"O, Cross of Christ," A Meditation before the Cross for Good Friday 


(2017 අප්‍රේල් 13)
අද මහ සිකුරාදායි. 
රෝමය ද අද පස් වරුවේ පැවැත්වෙන ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්ති භාවනාවට සූදානමින් සිටියි. ජනවන්දනා පිළිවෙතට අනුව එහි ප්‍රමුඛත්වය ගන්නේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පැවැත්වෙන සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය අනුස්මරණය කිරීමයි. ඉන් පසු අද සන්ධ්‍යාවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ කොලොසියමේ දී කුරුසියේ පාද නමස්කාර බැති පිළිවෙත සිදුකෙරේ. 
දයා කරුණාවේ වසර ලෙස නම් කරන ලද  2016 මාර්තු 25 මහ සිකුරාදා සන්ධ්‍යාවේ ද  ද සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ රෝමයේ කොලොසියමේ දී කුරුසියේ පාද නමස්කාරය මෙහෙය වූහ. මෙය කලක් තිස්සේ එතුමන් ගේ පූර්වගාමී පාප් වහන්සේලා විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදායකි. ගිය වසරේත්  මෙම මෙහෙයට දස දහස්  සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ. 
ගිය වසරේ  පාදනමස්කාරයේ  දී ජේසු සමිඳුන් ගේ දුක් විඳීම හා සම්බන්ධ කොට භාවනා කරන ලද ලෝක සිද්ධීන් අතර සරණාගතයන් හා සාන්ක්රමනිකයන් ගේ  ඉරණම, කිතුනුවන් ඇතුළු සුළුතර ආගමික හා වාර්ගික ජනතාවට වද හිංසා කිරීම හා විවිධාකාරයෙන් දුක්විඳින්නන් යන කරුණු ද විය. මෙම භාවනා සකස් කරන ලද්දේ ඉතාලියේ පෙරුගියාවේ අගරදගුරු අති උතුම් ගුවල්තියේරෝ බසෙට්ටි කාදිනල් හිමිපාණන් විසිනි. "දෙවියන් වහන්සේ දයා කරුණාව වන සේක" යන්න එවර  පාද නමස්කාර මෙහෙයේ තේමාව විය. 
මෙම මෙහෙය අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුවිශේෂ යාච්ඥාවක් ඔප්පු  කළේය. "ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි" යන එම යැදුම මුදල්, බලය හා ආගමික අන්තවාදය නිසා විනාශවෙමින් පවතින නූතන ලෝකය ගැන කෙරෙන සම්පින්ඩනාත්මක විග්‍රහයක් ලෙස ස්වාධීන නිරීක්ෂකයකුට හැඳින්විය හැකි අතර, එය සහෝදරත්වය වැනසෙමින්  ඇති මානව පවුල ගැන මහා කාරුණික දෙවි සමිඳාණන්ට කරන යාදීන්නක් ලෙස විශ්වාසයේ ඇසින් දකින්නෙකුට පෙන්වා දිය හැකිය. 
මෙම  අභියෝගාත්මක යැදුම කොටස් තුනකින් සමන්විත වෙයි. පළමු කොටසින් ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ නූතන සමාජයේ දුප්පතුන්, සරණාගතයන්, මානව හිමිකම් අහිමි කරන ලද්දන්, සිය ආගම, විශ්වාසය හා ජනවාර්ගික වෙනස්කම්  නිසා නිසා හිංසනයට පාත්‍ර වූවන්, කොන් කරන ලද්දන් වැනි විව්ධාකාරයෙන් දුක් විඳින්නන් ද, ඔවුන් දුකට  ඇද  දමන පාලකයන්, යුද වාදීන්, මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළෙන්දන් වැනි කණ්ඩායම් වල ක්‍රියා කාරකම් ද  තුළ මුණගැසෙන කුරුසියේ වේදනාවයි.
දෙවන කොටස වෙන් කර ඇත්තේ ස්වකීය දුක් වේදනා  හා අභියෝග නොතකා යහපත ම සිදුකරන ලෝක ජනතාව අතර මුණගැසෙන කුරුසියේ වේදනාව ගැන භාවනා කිරීමටයි.
යැදුමේ අවසන් කොටස ලෝක ජනයා වෙනුවෙන් ශ්‍රී කුරුසියට කෙරෙන යාච්ඥාවකි. 
එම අභියෝගාත්මක යැදුම ඕනෑම මහ සිකුරාදාවක භාවනා කිරීමට යෝග්‍ය අරුත් බර පද වැලකි. එම යාච්ඥාව මෙසේය:

 ආ! ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී කුරුසියෙනි


"ආ! ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී කුරුසියෙනි, ඔබ දිව්‍ය ප්‍රේමයේ සහ මානව අයුක්තියේ සංකේතය ය; ප්‍රේමය වෙනුවෙන් සිදුකළ අති ශ්‍රේෂ්ඨම  කැපකිරීමේ මෙන්ම සීමා රහිත ආත්මාර්ථකාමයේ ද පිළිබිඹුව ය; මරණයේ උපකරණය සහ උත්ථානයේ මාර්ගය ය;  කීකරුකමේ සලකුණ සහ පාවාදීමේ ලාංඡනය ය; වදහිංසාවේ පෝරකය සහ ජයග්‍රහණයේ ධජ  පතාකය ය. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, ලෝකයේ නිවට නිශ්ශබ්දතාව මැද ඝාතනය කරනු ලබන, පණපිටින් පුළුස්සනු ලබන, ම්ලේච්ඡ දැලිපිහි වලින් ගෙල සිඳිනු ලබන හෝ ශරීරයේ කොටස් කපා දමනු ලබන අපගේ සහෝදර සහෝදරියන් තුළ, ඔබ අදත් ඉහලට ඔසවනු ලබන ආකාරය අපි දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවී පලා ආවත්, අවසානයේ මරණයත්  පිලාත් මෙන් සිය දෑත් සෝදා ගන්නා පුද්ගලයනුත් පමණක් මුණගැසෙන, කුඩා දරුවන් ගේ, කාන්තාවන් ගේ සහ ජනතාවගේ බියටත් දැඩි වෙහෙසටත් පත් වූ මුහුණු මත අපි අදත් ඔබ දකිමු.  

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, ආධ්‍යාත්මික ගුණයෙන් තොර දැනුමෙන් පිරුණු පුද්ගලයන් තුල ද, ජීවිතයේ නොව මරණයේ විද්‍යාර්ථීන් තුළ ද, දයා කරුණාව සහ ජීවිතය ගැන උගන්වනවා වෙනුවට දඬුවම් කිරීම සහ මරණය පිලිබඳ තර්ජනය කරන්නන් තුළ ද, ධර්මිෂ්ටයන්ට පරිභව කරන්නන් තුළ ද අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, තමන් ගේ නොවටිනා, නිෂ්ඵල උන්නතිකාමයේ වස්ත්‍ර ගලවා දමනු වෙනුවට තමන් සතුව ඇති අහිංසක ගරුත්වයේ සළු පවා ඉවත් කොට නිරුවත් වන අවිශ්වාසවන්ත පූජකවරුන් තුළ  අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, තමන් ගේම  පාප හා වැරදි නොපිළිගන්නා නමුදු අනුන් ඉතා පහසුවෙන් විනිශ්චය කරමින්, ගල්ගසා මරණයට පැමිණවීමට තරම් ඔවුනට දොස් පවරන, දැඩි වූ හදවත් ඇති තැනැත්තන් තුළ, අදත් අපි ඔබ දකිමු. 


ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි,  මුලධර්වාදයේ ප්‍රකාශනයන් තුළ සහ, කිසිදා නොවූ විරූ ආකාරයෙන් මුදා හරින සිය ප්‍රචණ්ඩ ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා  දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය යොදා ගැනීම මගින් උන්වහන්සේ ගේ නාමය කෙලෙසන්නා වූ ඇතැම් ආගමික සාමාජිකයන් ගේ ත්‍රස්තවාදී ක්‍රියා තුළ ද අදත් අපි ඔබ  දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, ඔබවහන්සේ ම අපට උගන්වා වදාළ සමානාත්මතාවයේ නාමයෙන් හා මිත්‍යාදෘෂ්ටික ලෞකිකත්වයේ නාමයෙන්, ප්‍රසිද්ධ ස්ථාන වලින් ඔබ ඉවත්කොට, මහජන ජීවිතයෙන් ඔබ බැහැර කිරීමට වෙහෙසෙන පුද්ගලයන් තුළ ද අපි ඔබ දකින්නෙමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, අපගේ අහිංසක සහෝදර සහෝදරියන් ගේ රුධිරයෙන් යුද්ධයේ කල්දේරම් පුරවන බලවතුන් හා යුද අවි වෙළෙන්දන් තුළ අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, රිදී කෑලි 30කට ඕනෑම කෙනෙකු මරණය සඳහා විකිණීමට සැරැසී සිටින ද්‍රෝහීන් තුළ අදත් අපි ඔබ දකිමු.

 ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, පොදු යහපත සහ සාරධර්ම ආරක්ෂා කරනු වෙනුවට නින්දිත දුරාචාරයේ වෙළෙඳපොල තුළ තමන්වම විකුණන සොරුන් සහ දූෂිත නිලධාරීන් තුළ අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, දුප්පත් ලාසරස් ලාට සිය දොරකඩ වල සාගින්නේ මිය යන්නට ඉඩ හරිමින්, විනාශ වන වස්තුව ගබඩා කිරීම සඳහා සුවිසල් ගුදම් ඉදිකරන මෝඩයන් තුළ අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, ස්වකීය ආත්මාර්ථකාමී ක්‍රියා නිසා ඉදිරි පරම්පරාවල අනාගතය විනාශ කරන, අපගේ "පොදු නිවහන" වනසන්නන් තුළ අපි අදත් ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිය පවුල් විසින් අත්හැර දමනු ලබන  වයස්ගතවූවන් තුල ද, මෙම ස්වයං කේන්ද්‍රීය සහ කුහක ලෝකය විසින් අත්හැර දමනු ලබන හා සාගිනෙන් පෙලෙන ළමයින් හා ආබාධිතයන් තුළ ද අපි අදත් ඔබ  දකිමු. 


ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි


ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, නිමක් නොමැති ප්‍රේමයේ ප්‍රතිමුර්තිය සහ පුනර්ජීවනයේ මාවතෙනි, සෙසු අයගෙන් ප්‍රශංසාව හෝ ගෞරවය බලාපොරොත්තු නොවී යහපත කරන රිජු සහ උත්තම පුද්ගලයන් තුළ අපි අදත් ඔබ දකිමු.  

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, අප අතරින් කුඩාම වුවන් ගේ ජීවිත ආලෝකවත් කරමින්,  නොමිලයේ දැල්වෙන ඉටිපහන් සේ  දැවෙමින්,අඳුරු වූ  අපගේ ජීවිත එලිය කරන්නා වූ විශ්වාසවන්ත සහ බැහැපත් පූජක උතුමන් තුළ අපි ඔබ අදත් දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, තමන් සතු සියල්ල අත්හැර දමා දුප්පත් කමේ කමේ සහ යුක්තියේ තුවාලවලට  දේව දූතික නිශ්ශබ්දතාව තුළ  ප්‍රතිකාර  කිරීමට කැපවී සිටින යහපත් සමරිතානයන් වන පැවිදිවරුන් සහ පැවිදිවරියන් තුළ අපි අදත් ඔබ දකිමු.

 ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, යුක්තියේ සහ විශ්වාසයේ ප්‍රකාශනය දයා කරුණාව තුල සොයාගත් දයාවන්තයන් තුළ අපි අදත් ඔබ දකිමු.

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, ඔබගේ උපදේශ හා අණ  පනත් දාරක ප්‍රේමයෙන් පිළිපදිමින්, ස්වකීය විශ්වාසය දිනෙන් දින ප්‍රීතියෙන් ජීවත් කරවන සරල කාන්තාවන් හා පිරිමින් තුළ අපි අදත් ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිය පාපයේ ගැඹුරු අසරණකම තුළ වේදනාවට පත් වී 'ස්වාමීනි, ඔබගේ රාජ්‍යයේ දී මා සිහිපත්  කල මැනව' කියා වැලපෙන, සිය පාප වලට පසුතැවී සිත්හැරීමට පිපාසයෙන් පෙලෙන්නන් තුළ අපි ඔබ අදත් දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිය ඇදහිල්ල නැති කර නොගෙන අන්ධකාර රාත්‍රිය පසු කරන්නේ කෙසේදැයි දන්නා වූ ද , එවැනි රාත්‍රීන් වලදී ඔබවහන්සේ ගේ අබිරහස්‍යමය නිශ්ශබ්දතාවයේ අරුත ගැන තමන් දන්නා  බවට ප්‍රකාශ නොකරන්නා වූ ද භාග්‍යවන්තයන් හා සාන්තුවරුන් තුළ අදත් අපි ඔබ දකිමු.

 ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිය පවුල් ජීවිතයේ කැඳවීම විශ්වාසවන්තවත් ඵලබරවත් ජීවත් කරන්න වූ පවුල් තුල අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිය දුක් වේදනා මැද  ක්‍රිස්තුන් වහන්සේටත් සුබ අස්නටත් විශ්වසනීය ලෙස සාක්ෂි දරන, සිය (කිතුනු) ඇදහිල්ල නිසා වද හිංසාවට ලක්වන්නන් තුළ අදත් අපි ඔබ දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, සිහින දකින්නන් තුළ, කුඩා දරුවන් බඳු හදවත් ඇති අය තුළ හා මේ ලෝකය වඩාත් මානුෂවාදී, වඩා සාධාරණ හා වඩාත් යහපත් තැනක් කරන්නට උත්සාහ කරන්නන් තුළ අදත් අපි ඔබ දකිමු.



ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි



ශුද්ධවූ කුරුසියෙනි, අපි ඔබන් තුළ අවසානය තෙක් ප්‍රේම කරන දෙවියන් වහන්සේ දකිමු. සෙසු අය අභිභවනය කිරීමට උත්සාහ කරන්නන් ගේ වෛරය ඔබ තුළ දකිමු. ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කරන්නන් ගේ වෛරය ඔබ තුළ අපි දකිමු. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, පාපයේ ජලගැල්මෙන් මානව වර්ගයා ගලවා ගත් නෝවා ගේ නෞකාවෙනි, 
සියලු නපුරෙන් හා නපුරාගෙන් අප ගලවා ගත මැනව. දාවිත් ගේ සිහසුන සහ සදාතනික දිව්‍ය ගිවිසුමෙහි මුද්‍රාවෙනි, අහංකාරයේ මෝහනයෙන් අප අවදි කල මැනව. ප්‍රේමයේ මොර ගැසීමෙනි, දෙවියන් වහන්සේ කෙරෙහිත්, යහපත සහ ආලෝකය කෙරෙහිත් ආසා වීමට අපට අනුප්‍රාණය දුන මැනව. 

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, හිරු උදාව රාත්‍රියේ අන්ධකාරයට වඩා බලවත් බව අපට උගන්වනු මැනව.

ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි, අපට පෙනෙන්නට ඇති නපුරේ ජයග්‍රහණය, හිස් සොහොන් ගැබ ඉදිරියේත්, උත්ථානයේ නිශ්චිත බව ඉදිරියේත්, කිසිවකුට හෝ පරාජය කල නොහැකි, දුර්වල කිරීමට හෝ සැඟවීමට හෝ නොහැකි දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ඉදිරියේත් අතුරුදන් වන බව අපට ඉගැන්වුව මැනව .

ආමෙන්.

Comments

  1. Lassana terumam godak tiyena වදන් පෙළක්. Onama kenek ge hita gana puluwan ....😍😍😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය