සුදොතුම් පියතුමා චතාරික ධර්ම විවේකයේ - ඔබටත් ඊට සම්බන්ධ විය හැකියි

Holy Father starts his Annual Retreat on Sunday-You too can join 



(2017  මාර්තු 5)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද ඉරිදා (මාර්තු 5)  සිය වාර්ෂික ධර්ම විවේකය ආරම්භ කරයි. මෙම ධර්ම විවේකය (ඥානකාන්තිය) සිකුරාදා දක්වා පැවැත්වේ.

එතුමා  මෙම චතාරික ධර්ම විවේකයට එක් වන්නේ වතිකානයේ පරිපාලන නිලධාරීන් වන රෝම කියුරියාවේ කාදිනල් හිමිවරුන් හා අගරදගුරු හිමිවරුන් ද සමගය.

සුදොතුම් පියතුමන් හා කියුරියා ප්‍රධානීන් ගේ චතාරික ධර්ම විවේකය මෙවරත් පැවැත්වෙන්නේ රෝමයේ සිට සැතැපුම් 16ක් පමණ දුරින් ඇති අරිච්චියා නුවර පිහිටි දිව්‍ය  සමිඳාණන් ගේ නිවස' ( 'Casa Divin Maestro') නම් සුන්දර නිවහනේ දී ය. අල්බානෝ විල අසල පිහිටි මෙම නිවහන නිහඬ භාවනාවට කදිම ස්ථානයකි.

මෙවර සුදොතුම් පියතුමන් හා රෝම කියුරියාවේ චතාරික ධර්ම විවේකයේ තේමාව ශු. මතෙව් තුමන් ගේ සුබ අස්නට අනුව ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තියයි. ජේසු නිකායේ නිර්මාතෘ ශු. ඉග්නේෂෂ් ලොයොලා තුමන් ගේ ආධ්‍යාත්මික අභ්‍යාස පාදක කරගනිමින් කෙරෙන මෙම භාවනා මෙහෙයවනු ලබන්නේ ප්‍රන්සිකාන නිකායික ජිල්ලියෝ මිචෙලීනි පියතුමන් විසිනි.

ලොව පුරා කිතුනුවන් සියලු දෙනාට මෙම භාවනාව හා සම්බන්ධ විය හැකියැයි මිචෙලීනි පියතුමා CNA ප්‍රවෘත්ති සේවයට පැවැසීය.

"මේ කාලය තුළ ලොව සෑම ප්‍රදේශයකම  සිටින කිතුනු ජනතාව සිය වැඩ රාජකාරි වලට යනවා. පාසලට යනවා. මේ අන්දමින් ඔවුන්  විවිධ ක්‍රියාකාරකම්වල නිරත  වෙනවා. එහෙත් මේ සතිය තුළ ලබෙන විවේක වලදී ශු. මතෙව්  තුමාගේ සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තිය කියවීම මගින් සභාව වඩාත් එක්සත් වන ලෙස, එකමුතු වන ලෙස ශුද්ධාත්මයාණන්ට යාච්ඥා කරන්නට ඔබට පුළුවන්" යයි එතුමා ලියා සිටියේය. එතුමා කියා සිටියේ මතෙව් තුමන් දක්වා ඇති පරිදි ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනයේ සිට දුක්ප්‍රාප්තිය ඔස්සේ ශ්‍රී මරණය හා උත්ථානය දක්වා කොටස ගැඹුරු ලෙස භාවනා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. "ශ්‍රාවකයන් දුටු සහ අනුගමනය කළ ජේසු සමිඳුන් කව්දැයි කියා ගැඹුරින් භාවනා කිරීමට මා උත්සාහ කරනවා. ඒ තුළින් ජේසු සමිඳුන් ගේ මනුෂ්‍යත්වය ගැන ගැඹුරු භාවනාවක යෙදෙනවා" යි එතුමා සඳහන් කරයි.

පාප් වහන්සේ සිය රෝම කියුරියාවේ ප්‍රධානින් සමග චතාරික ධර්ම විවේකයක නිරත වීමේ චාරිත්‍රයේ ඉතිහාසය වසර 80 ක් පමණ ඈතට ඇදී යයි. එම සම්ප්‍රදාය ආරම්භ කරන ලදේ  11 වන පියුස් සුදොතුම් පියතුමන් විසිනි. මෙම ධර්ම විවේකය පවත්වන ලද්දේ වතිකානය තුළදීමය. මේ නිසා ධර්ම විවේකයේ දේශනා අතරතුර සිය කාර්යාලයට ගොස් භාවනා කිරීමට හෝ දෛනික රාජකාරිවල නිරත  වීමට කියුරියා ප්‍රධානීන්ට හැකියාව ලැබිණි. මෙම ධර්ම විවේකය රෝමයෙන් පිටත පැවැත්වීම ආරම්භ කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. ඒ, 2014 චතාරික සමයේ සිටය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය