පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක (අලුත් තොරතුරු සමග)

Conservatives intensify attack on the Holy Father: Mysterious posters appear in Rome criticizing  Pope 


(2017 පෙබරවාරි 5)
සභාවේ දැඩි ගතානුගතික මත වාදීහු (හෙවත් සංස්ථිතික මතවාදීහු: Conservatives ) ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමනට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් ආරම්භ කරති. ඔවුන් ගේ අළුත්ම ප්‍රහාරය වී ඇත්තේ පාප් වහන්සේ විවේචනය කරන පෝස්ටර රෝමය  පුරා ප්‍රදර්ශනය කිරීමයි. රෝම කම්කරුවන් ගේ බසින් ලියවුනු මෙම කැළෑ පත්තර පෙබරවාරි 5 වන ඉරිදා උදෑසන වන විට වතිකානයේ තාප්පවල අලවා තිබිණි.

ඔරවාගත් මුහුණක් සහිතව 'ෆොටෝ ෂොප්' කරන ලද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ විශාල ප්‍රමාණයේ සේයාරුවක් එම පෝස්ටරයේ මුද්‍රණය කර  තිබේ. " "ආ ප්‍රැන්සිස්, ඔබ නයිට්ස් ඔෆ් මෝල්ටා සේනාංකය අංගවිකල කර කාදිනල්වරුන් නොසලකා හැර තිබෙනවා....කෝ ඔබේ කරුණාව?"  යැයි එම සේයාරුවට පහලින් විශාල අකුරින් මුද්‍රණය කර තිබිණි.

මෙම පෝස්ටර සුදු කඩදාසිවලින් වසා දැමීමට නගර අධිකාරීහු පියවර ගත්හ. ඔවුන් කියා සිටියේ මේවා නීති විරෝධීව හා අවසරයකින් තොරව අලවා ඇති බවයි. නගරයේ පෝස්ටර ප්‍රදර්ශනය කිරීම සඳහා රෝම නගර  අධිකාරීන්ගේ නිසි අවසර ලබා ගත යුතුය.

පෝස්ටරය 


දැනට ටික කලක සිට  ගතානුගතික මත වාදීන්ගෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේට විවේචන එල්ල වන්නට පටන් ගෙන තිබේ. මුලින් ම සීතලෙන් පටන් ගත් මෙම විරෝධතා දැන් ප්‍රසිද්ධියේම එල්ල වන දැඩි ප්‍රහාර බවට පත් වෙමින් ඇත.  මෙම කණ්ඩායමේ අරමුණ හා උත්සාහය වී ඇත්තේ සභාවට නවෝදයක් උදා කළ  දෙවන වතිකාන කතිකාවට පෙර පැවැති සමයට සභාව යළි රැගෙන යාමයි. දෙවන වතිකාන කතිකාවේ නිගමන  යළි ජීවගැන්වීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දරන ප්‍රයත්නවලට ඔවුන් අකුල් හෙලන්නේ මේ අරමුණෙනි.

පසුගිය වසරේ පැවැති පවුල පිලිබඳ සිනොඩ් සමුළුවේදී නීතියට වඩා දයා කරුණාවට බර තබමින්, එහෙත් සභා ඉගැන්වීම්වල රැඳී සිටිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග ගතානුගතික මතවාදීන් ගේ විරෝධතා සුදොතුම් පියතුමන් වෙත එල්ල වන්නට පටන් ගත්තේ ය. මේ ප්‍රශ්නය මතු වූයේ දික්කසාද  වී යලි සිවිල් විවාහ කරගත් කතෝලිකයන්ට දිව්‍ය  සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම සම්බන්ධයෙන්  සිනොඩ් සමුළුව ගත තීරණයක් මත ය. මෙම කාරණයේ දී "පූජකවරුන් සහ රදගුරුතුමන්ලා 'එක් එක් සිද්ධිය අනුව' කටයුතු කිරීම යෝග්‍යය" යන්න සමුළුවේ මතය විය. එහෙත් සභා නීති විශාරද ඇමෙරිකානු ජාතික කාදිනල්  රේමන්ඩ් බර්ක් හිමියන් ඇතුළු "දේව ධර්මය පිලිබඳ විදග්ධයන්" අතලොස්සක් කියා සිටියේ එබඳු අපැහැදිලි වචන වෙනුවට සභා නීතියට එකඟ එක් නිගමනයකට පැමිනිය යුතුය යන්නයි. එහෙත් ඔවුන් ගේ බාධක නොතකා සිනොඩ් සමුළුවේ පියවරු සිය නිගමන අති විශාල වැඩි චන්දයකින් සම්මත කරගත්හ.

එහෙත් සභා පියවරුන් සේ ම ගිහි පවුල් නියෝජිතයන් ද සහභාගීවූ සිනොඩ් කතිකාවේ නිගමන පිළිගැනීමට මැලිවූ ගතානුගතික කාදිනල්වරු සිව් දෙනෙක් ඉකුත්දා මේ පිලිබඳ විවාදය යළි ආරම්භ කළහ. කාදිනල් රේමන්ඩ් බර්ක් හිමියන් ගේ නායකත්වයෙන් යුතු මෙම සිව් නම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත පෞද්ගලික ලිපියක් යවමින් ප්‍රශ්න 4 කට "ඔව් හෝ නැත " කියා පිළිතුරු දෙන ලෙස එතුමනට බල කර සිටියහ. එහෙත් සුදොතුම් පියතුමා ඊට පිළිතුරු සැපයුවේ නැත. ඉන් පසුව මෙම කාදිනල් වරුන් කලේ, පාප් වහන්සේට අභියෝග කිරීමේ අරමුණින් තමන් "පෞද්ගලික ලියුමක්" ලෙස රහස්‍යව පාප් වහන්සේට යැවූ ලියුම ප්‍රසිද්ධියට පත්කිරීමයි. "පාප් වහන්සේ ඊට පිළිතුරු නොදෙන්නේ නම් මේ පිලිබඳ උන්වහන්සේ ගේ නිගමනයේ ඇති සාවද්‍ය බව පෙන්වා තමන් ලිපියක් නිකුත් කරන බවට" ද ඔවුන් තර්ජනය කර තිබුනේය. සුදොතුම් පියතුමා ඊටද පිළිතුරු දීමට ගියේ නැත. කෙසේ නමුත් වතිකානයේ සභා ඉගැන්වීම් හා විශ්වාස ධර්මතා පිලිබඳ අධිකාරීවරයා වන අති උතුම් ගර්හාර්ඩ් මලර් කාදිනල් හිමිපාණන් අවධාරණය කලේ "සුදොතුම් පියතුමන් ඊට පිළිතුරු දීම අනවශ්‍ය" බවයි. එසේම "උන්වහන්සේගේ ස්ථාවරයේ නිවැරදි කිරීමක් ද අවශ්‍ය නැත. මන්ද එම නිගමන සභා ඉගැන්වීම් වලට මුළුමනින්ම අනුගත බැවිනි" යි ද එතුමා සඳහන් කළේය.

ගතානුගතික මතධාරීන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග එදිරියක් ඇති කරගැනීමට තවත් හේතුවක් වී ඇත්තේ එතුමන් විසින් ආරම්භ කරන ලද සභා ව්‍යුහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඔවුන් තුළ ඇති විරෝධයයි. සුදොතුම් පියතුමන් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කළේ 2013 පැවැති පූර්ව-සසුන් පිය වරණ කතිකාවේදී ඊට එක්වූ කාදිනල් හිමිවරුන් දැක්වූ අදහස් සැලකිල්ලට ගනිමිනි. සභා පරිපාලන ව්‍යුහය වඩාත් ක්‍රිස්තු කේන්ද්‍රීය එකක් කිරීම සමස්ත ක්‍රියාවලියේ අරමුණ වී තිබේ. ඉකුත් (2016) දෙසැම්බර 21 වැනිදා තමනට නත්තල් කතා කිරීමට රැස්වූ වතිකාන පරිපාලන ව්‍යුහය වන රෝම ක්‍යුරියාවට අයත් අගරදගුරු-කාදිනල් හිමිවරුන් අමතමින් සුදොතුම් පියතුමන් කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ප්‍රතිරෝධයක් සභාව ඇතුලතින් ම එල්ල වූවත්, සැලසුම් කර ඇති පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බවයි.ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාදක කරගන්නා නිර්ණායක 12ක් ද එතුමා මෙහිදී පැහැදිලි කළේය. "පුදදුරුවාදයෙන්" (Clericalism) හිසත් හදවතත් පුරවාගත්, බලය, තනතුරු සහ මුදල් ලෝභයෙන් පෙලෙන සුළු පිරිසක් මෙම ක්‍රියාවලියට අකුල් හෙලන බව පෙනේ.

ගතානුගතික මතධාරීන් ගේ 'සිත්  රිදීමට' ආසන්නම  හේතුව වී ඇත්තේ "ඕඩර් ඔෆ් මෝල්ටා" (Order of Malta) නමැති පෞරාණික කතෝලික සංවිධානය තුළ ඇති වූ අර්බුදය විසඳීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කටයුතු කල ආකාරය සම්බන්ධයෙනි. මෙම සංවිධානයේ ඉතිහාසය කුරුස යුද්ධ සමය දක්වා ඈතට ඇදෙයි. මේ වන විට දයා සේවා සංවිධානයක් ලෙස කටයුතු කරන මෙම සංවිධානයේ නයිට්වරු ලොව රටවල් රැසක දුප්පතුන් සඳහා සරණ සේවා ඇතුළු මානුෂික සේවා සපයයි. එය "ස්වෛරී" සංවිධානයක් ලෙස සැලකේ. රටවල් 100ක් සමග පමණ තානාපති සම්බන්ධතා පවත්වන ඕඩර්  ඔෆ් මෝල්ටා සංවිධානය  එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ද නිරීක්ෂක සාමාජිකයකු ලෙස කටයුතු කරයි. මෙම සංවිධානයේ අර්බුදය ඇති වුයේ ද එය සංකීර්ණ තත්වයක් දක්වා වර්ධනය වුයේ ද, මෙම අර්බුදයට සුදොතුම් පියතුමන් ගේ නම සම්බන්ධ කරගෙන තිබුනේ ද  සුදොතුම් පියතුමන්ගේ ප්‍රබල විවේචකයකු වන ගතානුගතික මතවාදී රේමන්ඩ් බර්ක් කාදිනල් හිමි එහි ආධ්‍යාත්මික අධ්‍යක්ෂවරයා ලෙස සිටිය දී වීම විශේෂය.

මෙකී තත්වය තුළ මෙම අර්බුදය විසඳීමේ දී ස්වකීය විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කිරීම සඳහා වතිකානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (උප අගමැති) අති උතුම් ජියෝවන්නි බෙචියු අගරදගුරු හිමිපාණන් සුදොතුම් පියතුමන් පියතුමන් විසින් පෙබරවාරි 5 වැනිදා පත් කරනු ලැබීය. එතුමන් මෙම සංවිධානයේ "ශීල ධාර්මික සහ ආධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සුපරීක්ෂණය කරනු" ඇතැයි පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් නිකුත් කල ලිපියේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලතල බෙචියු අගරදගුරු තුමාට පවරා ඇති අතර මෙහි දී පාප් වහන්සේ සහ එම සංවිධානය වෙනුවෙන් නිල ප්‍රකාශ නිකුත් කල හැකි එකම බලධාරියා ලෙස ද එතුමන් පත් කරනු ලැබ  සිටියි.

 පාප් වහන්සේට එරෙහි පෝසටර ප්‍රදර්ශනය වුයේ අගරදගුරු ජියෝවන්නි බෙචියු අගරදගුරු හිමිපාණන් ගේ මෙම  පත්වීම පිලිබඳ ආරංචිය පැතිර යාමත් සමග ය.මෙහිදී ගතානුගතික මතවාදීන් ගේ  කෝපයට හේතුව පැහැදිලිව පෙනෙන්ට තිබේ. මෙම සටන තවත් කෙතරම් තීව්ර වේදැයි කිව නොහැකිය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට සිය සේවාව කරගෙන යාම සඳහා ඔබගේ - අපගේ යැදුම් බොහෝ සෙයින් අවශ්‍ය වී තිබේ. එතුමන් විසින් කරමින් ඇති සේවාව කඩාකප්පල් කිරීමට යක්ෂ සේනාංකය ආරම්භ කර ඇති දැවැන්ත ව්‍යාපාරය විනාශ කල හැක්කේ ඊට වඩා ප්‍රබල යාච්ඥා ව්යාපාරයකිනි. සුදොතුම් පියතුමන් වෙනුවෙන් දිනපතා යාච්ඥා කරන්න.

(සටහන: මෙහි කියවෙන කාදිනල් රේමන්ඩ් බර්ක් හිමි ලංකාවේ කතෝලික නායකයන් ගේ ආරාධනයෙන් මීට වසර දෙකකට ඉහත ශ්‍රී ලංකාවට පැමිණ තේවත්ත රෝගීන් ගේ මංගල්‍යය ඇතුළු උත්සව ගණනාවකට ද රතු පලස් මතින් සහභාගී විය. එතුමා දැඩි ප්‍රැන්සිස් විරෝධී කාදිනල් තුමකු බව ඒ වන විටත් මුළු ලෝකයම දැන  සිටියේ ය. )


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය