"සමාජ-ආර්ථික ක්‍රීඩාවේ නීතිවල වෙනසක් අවශ්‍යයි": සල්ලි දෙවියන් කරගත් ධනවාදී ආර්ථික ක්‍රමය ගැන සුදොතුම් පියතුමා ප්‍රබල විවේචනයක

Work to change the rules of the socio-economic system: Pope tells the EoC Movement  



(2017 පෙබරවාරි 4)

"සමාජ ආර්ථික ක්‍රීඩාවේ නීතිවල වෙනසක් අවශ්‍ය" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. දුප්පත් කමට තව දුරටත් පැවතීමට ඉඩ හරින දානපතිභාවයෙන් හෝ මානව හිතවාදීත්වයෙන් ඵලක් නොමැති බව ද උන්වහන්සේ කියා සිටිති. ලාබ බෙදා ගන්නාවූ, දුප්තුන් ඇතුළත් කර ගනිමින් සහභාගී කම ගොඩ නගන්නාවූ නව සමාජ ආර්ථික රටාවක් බිහි කල යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

ධනේශ්වර ආර්ථික ක්‍රමයට  ප්‍රබල විවේචනයක් මෙන් ම අභියෝගයක් ද එළිපිට ම එල්ල කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 4 වන සෙනසුරාදා වතිකානයේ පැවැති ඉහල පෙලේ රැස්වීමක දීය. මෙම උත්සවය පැවැත්වුනේ "සහභාගිත්වයේ ආර්ථිකය" ("Economy of Communion") ව්‍යාපාරය ආරම්භ කොට වසර 25ක් ගත වීම නිමිත්තෙනි. "සහභාගිත්වයේ ආර්ථික" ව්‍යාපාරය ආරම්භ  කරන ලද්දේ 1930 ගණන් වල ට්‍රෙන්ට් නුවර දී "ෆොකලෙයාර්  ව්‍යාපාරයට" ("Focolare Movement") උපත දුන් චියාරා ලුබිච් නමැති දෙවිඳුනට කැප වූ කාන්තාව විසිනි. ඕ 1991 දී සාඕ පාවුලෝ නුවර දී මෙම නව ව්‍යාපාරයට මුල පිරුවා ය. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ, එයින් ඇති වන සමාජ ආර්ථික විෂමතා අවම කර  ගනිමින්. ලාබය බෙදා ගනිමින්, සියල්ලන් ඇතුලත් කර ගන්නා  විකල්ප ජීවන රටාවක් සෙවීමට වෙහෙස වන ව්‍යවසායකයින්, කම්කරුවන්, ආර්ථික විශේෂඥයන්  හා සාමාන්‍ය ජනතාව ඇය හා අත්වැල් බැඳ ගත්හ. ඉකුත් සෙනසුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ දී පැවැත්වුනේ එම ව්‍යාපාරයේ 25 වැනි සාංවත්සරික රැස්වීමයි.

මෙම රැස්වීමේ දී කල දේශනයේ දී සුදොතුම් පියතුමා ධනවාදී ආර්ථිකය සේ ම "යහපත් සමරිතානවරයන්" බඳු දානපතිභාවය විවේචනය කලේ ය. එය සිදු කරන ලද්දේ ලුබිච් ගේ ව්‍යාපාරයේ නාමය වන " ආර්ථිකය සහ සහභාගිත්වය" යන වදන් පාදක කර ගනිම්නි.
"සමකාලීන සංස්කෘතිය සිතන්නේ  'ආර්ථිකය සහ සහභාගිත්වය' යන වදන් එකිනෙකට පරස්පර වදන් ලෙසය. එබැවින් එම වදන් එකිනෙකින් වෙන්කොට  තබා ගැනීමට මේ සංස්කෘතිය හා සමාජ උත්සාහ දරයි" යයි සිය දේශනය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කීවේය. එහෙත් සිය යෞවනයේ දී එකල බ්‍රසීලයේ සාඕ පාවුලෝ වීදි වල පැවැති විෂමතා වලින් ඉගෙනගත් චියාරා ලුබිච් මෙම දෙවදන් සමබන්ධ කල ආකාරයත් ඇයගෙන් ලැබූ අනුප්‍රාණය මත මෙම ව්‍යාපාරයේ නූතන සාමාජිකයන් එම සංකල්පය අද පණගන්වන  ආකාරයත් එතුමා පැහැදිලි කළේය.

"සහභාගිත්වයේ යහපත් බිජුවට ආර්ථිකයට හඳුන්වා දීම මගින් ව්‍යාපාර දෙස බැලීමේ සහ ව්‍යාපාර ජීවත් කරවීමේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඔබ විසින් ඇතිකර තිබේ.
ආර්ථිකය සහ සහභාගීත්වය වඩා සුන්දර වන්නේ ඒවා එකිනෙකට යාබදව පවතින විට බව ඔබගේ ජීවිතය මගින් ඔබ ප්‍රදර්ශනය කර  තිබේ. ඇත්ත වශයෙන් ම එය භාණ්ඩවල, කුසලතාවල සහ ලාබවල සහභාගීත්වයක් වූ විට ආර්ථිකය වඩාත් සුන්දර වේ; එසේම සහභාගීත්වයත් වඩාත් සුන්දර වේ; මන්ද, හදවත්වල ආධ්‍යාත්මික සහභාගීත්වය වඩාත් සම්පූර්ණ වන නිසාය."

මුදල්, ලාබ ඉපැයීම් සහ සහභාගීත්වය අතර ඇති සම්බන්ධතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී විස්තර කළේය. "ආර්ථික සහභාගීත්වයේ කේන්ද්‍රයෙහි ඇත්තේ ලාබවල සහභාගීත්වය  (communion of profits)ය. එය ජීවන සහභාගිකමේ ප්‍රකාශනයකි" යි එතුමා පැහැදිලි කළේය. මේ නිසා මුදල "දෙවියන්" කර නොගන්නැයි එතුමා අනතුරු ඇඟවීය.
"සල්ලි බොරු දෙවියකුබව මා බොහෝ විට ප්‍රකාශ කර තිබේ. ශුද්ධ බයිබලය මෙය  විවිධාකාරයෙන් අපට උගන්වයි. ජුවාම් තුමා ගේ සුබ අස්නට අනුව ජේසු සමිඳුන් ගේ ප්‍රථම ප්‍රසිද්ධ ක්‍රියාව දේව මාලිගාවේ සිටි වෙළෙඳුන් පලවා හැරීමයි. (ජුවාම් 2:13-21)  මෙය අහම්බයෙන් සිදු වුවක් නොවේ. අප බොරු දෙවිවරුන්ගෙන් අප නිදහස් කර නොගන්නේ නම් ජේසු සමිඳුන් ගේ නව රාජ්‍යය අපට  අවබෝධ කරගත නොහැකිය. මුදල්, ඒ අතරින් අති බලවත් බොරු දෙවියෙකි. "

"මේ නිසා, අපට ජේසු සමිඳුන් විසින් පලවා හරිනු නොලබන වෙළෙන්දෙකු විය හැක්කේ කෙසේද? අපට කිසිවක් නොමැති විට, විශේෂයෙන්, කෑමබීම, දරුවන්ට පාසල් , ඔවුන් ගේ අනාගතය වැනි දේ මුදල් මත පදනම් වූ විට, මුදල් වැදගත් වේ. එහෙත් මුදල් පමණක් අරමුණ වූ විට එය බොරු දෙවියකු ගේ තැනට පත් වේ. කෑදරකම යනු බොරු දේව වන්දනාවයි. මෙය මරණීය පාපයක් වීම අහඹුවක් නොවේ" යයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

මේ පදනම මත ධනවාදී ආර්ථික ක්‍රමයේ ඇති අහිතර බව එතුමා පෙන්වා දුන්නේ ය:
"ධනවාදය විසින් ලාබ ඉපයීම පමණක් සිය එකම අරමුණ බවට පත් කැරගත් විට එය බොරු දේව වන්දනාවක් බවට පත් වෙයි. ......මේ නිසා ලාබ පොදු ස්ථානයකට ඒකරාශී කිරීමට  ඔබ (ආර්ථිකය සහ සහභාගිකම ව්‍යාපාරය) ගෙන ඇති තීරණයේ  ශීල ධාර්මික සහ ආධ්‍යාත්මික වටිනාකම  අපට තේරුම් ගත හැකිය. සල්ලි  බොරු දෙවියකු කරගැනීමෙන් වැළකීමේ හොඳම මාර්ගය එය අන් අය  සමග බෙදා ගැනීමයි:සියල්ලන්ටම වඩා, දුප්පතුන් සමග, දරුවනට හා යෞවනයන්ට ඉගෙනගැනීමට උදව්වීමට එය ඔවුන් සමග බෙදා ගත හැකිය. මෙය වූ කලී සල්ලි පොදී  ගසා ගෙන එය බොරු දෙවියකු කර ගැනීමට ඇති දුර්පරික්ශාව, සහභාගීත්වය මගින් ජය ගැනීමකි. ලාබ බෙදා ගන්නා විට ඔබ කරන්නේ "උඹ දෙවියෙක් නොවේ" යයි සල්ලිවලට කියමින් ආධ්‍යාත්මික උදාර ක්‍රියාවක යෙදීමකි" යි එතුමා කියා සිටියේ ය.


මුදල්, ලාබ ඉපැයීම් සහ සහභාගීත්වය අතර ඇති සම්බන්ධතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී විස්තර කළේය. "ආර්ථික සහභාගීත්වයේ කේන්ද්‍රයෙහි ඇත්තේ ලාබවල සහභාගීත්වය ය. එය ජීවන සහභාගිකමේ ප්‍රකාශනයකි" යි එතුමා පැහැදිලි කළේය. මේ නිසා මුදල "දෙවියන්" කර නොගන්නැයි එතුමා අනතුරු ඇඟවීය.
"සල්ලි බොරු දෙවියකුබව මා බොහෝ විට ප්‍රකාශ කර තිබේ. ශුද්ධ බයිබලය මෙය  විවිධාකාරයෙන් අපට උගන්වයි. ජුවාම් තුමා ගේ සුබ අස්නට අනුව ජේසු සමිඳුන් ගේ ප්‍රථම ප්‍රසිද්ධ ක්‍රියාව දේව මාලිගාවේ සිටි වෙළෙඳුන් පලවා හැරීමයි. (ජුවාම් 2:13-21)  මෙය අහම්බයෙන් සිදු වුවක් නොවේ. අප බොරු දෙවිවරුන්ගෙන් අප නිදහස් කර නොගන්නේ නම් ජේසු සමිඳුන් ගේ නව රාජ්‍යය අපට  අවබෝධ කරගත නොහැකිය. මුදල්, ඒ අතරින් අති බලවත් බොරු දෙවියෙකි. "

"මේ නිසා, අපට ජේසු සමිඳුන් විසින් පලවා හරිනු නොලබන වෙළෙන්දෙකු විය හැක්කේ කෙසේද? අපට කිසිවක් නොමැති විට, විශේෂයෙන්, කෑමබීම, දරුවන්ට පාසල් , ඔවුන් ගේ අනාගතය වැනි දේ මුදල් මත පදනම් වූ විට, මුදල් වැදගත් වේ. එහෙත් මුදල් පමණක් අරමුණ වූ විට එය බොරු දෙවියකු ගේ තැනට පත් වේ. කෑදරකම යනු බොරු දේව වන්දනාවයි. මෙය මරණීය පාපයක් වීම අහඹුවක් නොවේ" යයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

දුප්පත්කම හා දානපතිභාවය අතර ඇති සම්බන්ධතාවය සුදොතුම් පියතුමා ඊළඟට විස්තර කළේය.
දුප්පතුනට සරණ වීමේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන රැසක් බිහිවී ඇති බව පෙන්වා දුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ මෙය මාන වර්ගයා ගේ ද මානව හිතවාදයේ ද වර්ධනයක් බවයි. දුප්පතුන් හා අසරණයන් රැකබලා ගැනීමට ඔවුනට ඉගැන්වීමට හැකි මාර්ග හා ආයතන රැසක් අද අප විසින් බිහිකරගෙන තිබේ.

"එහෙත්  ඉවත්කරන ලද නොහොත් අහක දමන ලද පුද්ගලයන්  රැසක්   ධනේශ්වර ආර්ථිකය විසින් බිහිකරමින් සිටියි. ඉන් පසුව එලෙස අහක දමන ලද පුද්ගලයන්  රැකබලා ගැනීමේ මාර්ග ද මෙම ආර්ථිකය විසින් ම ඇතිකරනු ලැබේ. ..ධනේශ්වර ආර්ථිකයේ ප්‍රධානතම ශීල ධාර්මික ප්‍රශ්නය වන්නේ අහක දමන ලද පුද්ගලයන් බිහි කර ඔවුන් සඟවා තැබීමයි; නැතහොත් ඔවුන් ලෝකයට නොපෙනෙන්නට තැබීමයි." මෙමතත්වය සුදොතුම් පියතුමා හැඳින්වූයේ 'ශිෂ්ටාචාරයේ දුප්පත්කම' හැටියට ය.

"මේ නිසා "සහභාගිත්වයේ ආර්ථික" ව්‍යාපාරය සිය කැඳවීමට පක්ෂපාති වීමට අවශ්‍ය නම් ඔවුන් මෙම අර්ථ ක්‍රමයේ ගොදුරු බවට පත්වන්නන්ට සහාය  දීම හෝ ඔවුන් රැකබලා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එහෙත් මෙවැනි ආර්ථිකයේ ගොදුරු  බවට පත්වන්න්නන් අවම කර ගැනීම හෝ, හැකි සෑම අවස්ථාවකම පුද්ගලයන් එහි ගොදුරු බවට පත් වීම සම්පුර්ණයෙන් නැවැත්වීම අත්‍යවශ්‍ය වන්නේය."

"මේ නිසා සමාජ-ආර්ථික ක්‍රම ක්‍රීඩාවේ නීති රීති වෙනස් වීමක් වෙනුවෙන් අපි ක්‍රියා කල යුතු වෙමු" යි සුදොතුම් පියතුමා කීවේය. මෙම ප්‍රයත්නයේ දී ජේසු සමිඳුන් වදාළ උපමාවේ යහපත් සමරිතාන වරයා අනුගමනය කිරීම ප්‍රමාණවත්  නොවන බව එතුමා සවිස්තරව අවධාරණය කළේය. මෙම ආර්ථිකයේ ගොදුරු බවට පත්වන්නන් දුටු විට අප නිරායාසයෙන් ම කරන්නේ යහපත්  සමරිතානවරයා ලෙස එම තැනැත්තාට උදව් වීමයි. ඇතැම් විට එතනින් නොනැවතී, සමරිතානයා කල සේ ,එසේ ගොදුරු බවට පත් වන්නා "වෙළෙඳපොලේ සහෝදරත්ව රැකබලා ගැනීමට භාර කිරීමයි." එනම් තානායම් භාර කරුගේ සාත්තුවට භාර දීමයි. එහෙත් නූතන අභියෝග අනුව අප විසින් ඊට වඩා වැඩි දෙයක් කල යුතු බව සුදොතුම් පියතුමා කීවේය:
"එහෙත් සියල්ලටම වඩා අප කටයුතු කල යුත්තේ සොරුන්, මංකොල්ලකරුවන් හා ඔවුන් ගේ ගොදුරු බවට පත්වන මිනිසුන් ඇති කරන, පාපකාරී  සමාජ-ආර්ථික රටාවලට  එරෙහිව සටන් කිරීමයි. යහපත්  සමරිතානයකු සේ ක්‍රියා කරන ව්‍යවසායකයා ඉටු කරන්නේ සිය යුතුකමෙන් අඩක් පමණි. ඔහු සමාජ-ආර්ථිකයෙන් අද තුවාල ලබන්නන්ට උපකාර කරන නමුදු හෙට එම තත්වයට පත්වන්නා පිළිබඳව ක්‍රියාමාර්ගයක් නොගනියි." ඊට වෙනස්ව, සහභාගීත්වය අපේක්ෂා කරන ව්‍යවසායකයා ජේසු සමිඳුන් වදාළ "කරුණාවන්ත පියාණෝ" උපමාවේ එන දයාබර, සිත උණුවන තාත්තා ගේ ජීවිතය ජීවත් කල යුතු යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. දරුවකුට මතු නොව, විප්ලවකාරයකු බඳු කිසිදු මිනිසකුට හෝ ගැහැනියකට "සුකරයනට කන්නට දෙන කෑම" ආහාරය පිණිස ලබා නොදීමට වග බලා ගැනීම අපගේ වගකීම බව එතුමා අවධාරණය කළේය.

"මෙනයින් ගත්  කළ, ධනවාදය දන්නේ  දානපතිභාවය ගැන පමණකි; එය සහභාගිකම හඳුනන්නේ නැත. 'පාන් කැබලි' ලබා ගන්නා ජනතාව වැළඳ නොගෙන, ඔවුන් ගේ හදවත් ස්පර්ශ නොකර, හුදෙක් ලාබ වලින් ස්වල්පයක් ඔවුන්ට ලබා දීම ඉතා සරල, පහසු ක්‍රියාවකි. එහෙත් ඊට වෙනස්ව, ඔබ සතුව ඇති සියල්ල 'පාන් ගෙඩි පහක් සහ මසුන් තුන් දෙනකු'  පමණක් නම් නම්, එම 'සියල්ල' දීමට ඔබ ඉදිරිපත්  වන්නේ නම්, අති විශාල  ජනකායකගේ කුසගිනි නිවීමට ඔබට ඒ මගින් හැකි වන්නේය. සුබ අස්නේ තර්කයට අනුව කිසිවකු  සම්පූර්ණයෙන් තමන්ව  දානය නොකරන්නේ නම්, එම තැනැත්තා ප්‍රමාණවත් තරම් දානශීලි  නැත."

"සහභාගීත්වයේ ආර්ථිකය" ව්‍යාපාරය දැනමත් මේ ක්‍රියාකාරකම් වල නිරතවන බව සුදොතුම් පියතුමා ඔවුනට ප්‍රශංසා කරමින් කියා සිටියේ ය. එහෙත් තවදුරත් ඊට කැප වෙමින් 'සල්ලි බොරු දේව වන්දනාව' මර්දනය කිරීම සඳහා වඩ වඩාත් ලැබ බෙදා ගන්නැයි එතුමා ඔවුනට ආරාධානා කළේය. එසේම "මෙම ආර්ථික ක්‍රමයේ  තුවාල කරුවන් හා අහක දමන තැනැත්තන් බිහිකරනු ලැබීම නැවත්වීම සඳහා මෙම ක්‍රමය වෙනස් කිරීමට ක්‍රියාකාරී වන්න. බොහෝ දෙනෙකු ගේ 'පාන්වලට මුහුන්' වීම සඳහා ඔබගේ මුහුන් ඔබේ ගෙදරින් පිට අය සමග බෙදා ගන්න. මරා දමන ආර්ථිකයක් 'එපා' යැයි ඔබ කරන ප්‍රකාශය ජීවත් කරන ක්‍රමයක් 'ඕනෑ' යයි ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නක් වේවා! මන්ද එය බෙදාගනියි; දුප්පතුන් ඊට ඇතුළත් කර ගනියි; සහභාගිකම ගොඩනැගීම සඳහා ලාබ බෙදා ගනියි" යයි එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය