"මුස්ලිම් ත්‍රස්තවාදයක් නැත; ....කිසිදු ජනතාවක් මත හංවඩු නොතබන්න" සුදොතුම් පියතුමා අවධාරණය කරයි

"No Such Thing as 'Islamic Terrorism'": Holy Father re-iterates: "Classification will beget more violence"

2016 ග්‍රීසියේ ලෙස්බොස් දුපතට හදසි චාරිකාවක නිරත වූ සුදොතුම් පියතුමා එහි සිටි මුස්ලිම් සරණාගත දරුවන්ට සෙනෙහස පෑ මොහොතක් 


(2017 පෙබරවාරි 19)
"ක්‍රිස්තියානි ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. ජුදෙව් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එමෙන් ම මුස්ලිම් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එවැනි දේ නැත. සියලු ජනතාව අතර සහ සියලු ආගම් තුළ මූලධර්මවාදීන් සහ ප්‍රචණ්ඩ පුද්ගලයෝ සිටිති."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සතියේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවැති ලොව පුරා තෘණ මූල සංවිධාන හා සමාජ ව්‍යාපාර ක්‍රියාධරයන් ගේ සමුළුවකට පණිවිඩයක් යවමිනි.

ජගත් ජනතා ව්‍යාපාරවල එක්සත් ජනපද කලාපීය  හමුව යනුවෙන් හැඳින්වෙන  මෙම සමුළුව කැලිෆෝනියාවේ මොඩෙස්ටෝහිදී පෙබරවාරි 16 වනදා පැවැත්වින. මීට  කලින් මෙම සමුළුව පවත්වන ලද්දේ රෝමයේ සහ බොලීවියාවේ දීය. සුදොතුම් පියතුමා වෙනුවෙන් මෙම සමුළුවේ දී මෙම පණිවිඩය කියවන ලද්දේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ ශුද්ධාසන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි අති උතුම් පීටර් ටර්ක්සන් කාදිනල් හිමිපාණන් විසිනි.

මෙම පණිවිඩයෙන් සුදොතුම් පියතුමා මෙම සමාජ ක්‍රියාධරයන් සටන් කරන කරුණු කිහිපයකට සිය සහය පල කරන අතර මේ යුගයේ ඒවායේ ඇති වැදගත්කම අවධාරණය කර තිබිණි. සෙසු ආගමික හෝ වාර්ගික ජනයා 'දුෂ්ටයන්' ලෙස නිරුපනය කිරීමෙන් වැළකීම, මිහිතලය ආරක්ෂා කිරීම සහ 'සුළු පිරිසකට පමණක් වරප්‍රසාද ලබා දීම සහතික කරණ මුදලේ අදෘශ්‍යමාන අධිපතීත්වයට එරෙහිව සටන් කිරීම යන කරුණු තුනයි.

ලෝකය "ඓතිහාසික හැරැවුම් ලක්ෂ්‍යයකට" අවතීර්ණ වී ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩය ආරම්භයේ පවසයි. ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින මෙම අර්බුදය එක් අතෙකින් අනතුරක් සේ ම අනෙක් අතින් අවස්ථා රැසක් ද ලෝකයට දානය කර ඇති බව එතුමා පෙන්වා දෙයි.

"දැනට ඇති ප්‍රවණතා අප වෙත එල්ල කරන දරුණු අනතුර නම් අපගේ සහෝදරයා ප්‍රතික්ෂේප කිරීමට අපව යොමු කිරීමයි. අප අපගේ සහෝදරයා ප්‍රතික්ෂේප කල විට සිදුවන්නේ අපට නොදැනීම අප ඔවුන් ගේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරන අතර අපගේ ම මනුෂ්‍යත්වයත් ප්‍රතික්ෂේප කර ගැනීමයි. එසේම අපි ජේසු සමිඳුන් ගේ වැදගත්ම පනතත් ප්‍රතික්ෂේප කරමු. එනම් ප්‍රේමයේ පනතයි."

ස්වකීය බලය තහවුරු කරගැනීම වෙනුවෙන්, 'අසල්වැසියන් නොවන' ජනතාවක් පිළිබඳව  බිය, අනාරක්ෂිත බව සහ කෝපය වපුරන නායකයන් සුදොතුම් පියතුමා විවේචනයට ලක් කළේය. සියලු සමාජ  අර්බුදවල වගකීම මෙම 'අසල්වැසියන් නොවන' ජනතාව වෙත පැවරීමට මෙවැනි නායකයන් උත්සාහ දරන බව එතුමා පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී කිසිවකු ගේ නමක් සඳහන් නොකලද එතුමා මෙයින් අදහස් කරන්නේ මුස්ලිම් ජනයා සහ මෙක්සිකාන සාංක්‍රමනිකයන් ගෙන් 'බිල්ලන්' මවා පාන්නට උත්සාහ කරන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ  යුරෝපය පුරා හමා යන ඔහු බඳු වර්ගවාදී අන්ත දක්ෂිණාංශික නායක රැල්ල ගැන බව මෙම පණිවිඩය විශ්ලේෂණය කරන්නෝ පවසති.

"අපේ අසල්වැසියා කවුරුන් ද , අසල්වැසියන් නොවන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාව කණ්ඩායම්  වලට නොබෙදන්න. ඒ වෙනුවට, ඔබට හමුවෙන පුද්ගලයන්ට අසල්වැසියකු වීමට ඔබට හැකිය. ඔබට එසේ කල හැක්කේ ඔබේ හදවතේ දයාව සහ අනුකම්පාව ඇත්නම් පමණකි."

මේ නිසා කිසිදු ජාතියක් හෝ ආගමක් 'ත්‍රස්තවාදීන්' ලෙස හංවඩු නොගසන්නැයි එතුමා මෙම පණිවිඩයෙන් ඉල්ලා සිටියේය.

"කිසිදු ජනතාවක් අපරාධකාරයෝ නොවෙති. කිසිදු ආගමක් ත්‍රස්තවාදී නොවේ. ක්‍රිස්තියානි ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. ජුදෙව් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එමෙන් ම මුස්ලිම් ත්‍රස්තවාදයක් පවතින්නේ නැත. එවැනි දේ නැත. කිසිදු ජනතාවක් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් හෝ ප්‍රචණ්ඩකාරීහු නොවෙති. සියලු ජනතාව අතර සහ සියලු ආගම් තුළ මූලධර්මවාදීන් සහ ප්‍රචණ්ඩ පුද්ගලයෝ සිටිති" යි සුදොතුම් පියතුමා අවධාරණය  කරයි. "මේ නිසා කිසියම් ජාතියක් හෝ ආගමික ජනතාවක් පොදු කර වර්ගීකරණය කිරීමෙන් සිදු වන්නේ මෙවැනි මුලධර්මවාදීන් සහ ප්‍රචණ්ඩකාරීන් වඩාත් ශක්තිමත්  වීමය. මන්ද ඔවුන් පෝෂණය වන්නේ වෛරයෙනි; වාර්ගික බියෙනි."

"එහෙත් ඊට ප්‍රති විරුද්ධව හදවත්වල තුවාල සත්‍යය, සැබෑය. විරැකියාව යථාර්ථයකි. ප්‍රචණ්ඩත්වය සහ දූෂණය යථාර්ථයකි. අනන්‍යතා අර්බුදය සත්‍යයකි. .... ලෝකයේ පවතින දුක සහ වේදනාව ඔද්දල් වුණු තුවාලයක් බවට පත්වී ඇති අතර එයින් හමන දුගඳ දරා ගත නොහැකි තත්වයට පත්වී තිබේ. වෛරය, ගැටුම් සහ 'සාධාරණ කෝපය' වර්ධනය වීමට මෙය හේත් වී තිබේ' යයි සුදොතුම් පියතුමා සමාජ ක්‍රියාකාරීන්ට පෙන්වා දෙයි.

මෙම අර්බුදය තුළ ලෝකයට බලපෑමක් කිරීම සඳහා  කිතුනු ජනතාවට ඓතිහාසික අවස්තාවක් උදා වී තිබෙන බව එතුමා කියයි." අපට අවස්ථාවක් උදාවී තිබේ: ඒ, ක්ෂණික විදුලි දහරක් සේ දැල්වී ඝනාන්ධකාරය බිඳ ලෝකය එකලු කර එම අඳුර පලවා හරින අසල්වැසි ප්‍රේමයේ ආලෝකයක් වීමටයි."

ශු. ප්‍රැන්සිස් අසීසි තුමා ගේ සාමයේ යැදුම ප්‍රාර්ථනය කරගන්නා සේ ඉල්ලමින් සුදොතුම් පියතුමා  සිය පණිවිඩය අවසන් කර තිබේ.

"අපි අපගේ ම වන සෑම දෙයක් ම දෙමු. වෛරය ඇති තැන අපි ප්‍රේමය වපුරමු. සිත් තුවාල ඇති තැන්වල  අපි  සමාව වපුරමු.  විසම්මුතිය හා අසමගිය ඇති තැන අපි සමගිය හා එකමුතුකම වපුරමු. වැරැද්ද ඇති තැන අපි සත්‍යය වපුරමු."





 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය