කතෝලික පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර වලට සුදොතුම් පියතුමා "බැහැපත්ව" සමාව ඉල්ලයි.

"I humbly ask pardon for the horrendous sin of clerical abuse": Holy Father



කතෝලික පූජකවරුන් විසින් ලිංගික අපචාරයට ලක් කරන ලද අයගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් "මම බැහැපත්ව සමාව ඉල්ලා සිටිමි"යි සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කරති. ක්‍රිස්තුන් වහන්සේගේ සහ උන්වහන්සේ ගේ සභාවේ සේවයට කැපවූ පුදැදුරු වරයකු මෙබඳු කුරිරු නපුරක් කරන්නේ කෙසේද? කුඩා දරුවන්ට  දෙවියන් වහන්සේ වෙතට යාමට මඟ පෙන්වීම වෙනුවෙන්  සිය ජීවිතය කැපකළ  තැනැත්තෙකු, ඒ වෙනුවට, මේවාට ගොදුරු වන්නන් ද ඒ සමගම සභාවේ ජීවිතය ද විනාශ කරන මෙවැනි  'පාපිෂ්ට යාගයක්' තුළින් එම දරුවන් ගිල දමන්නේ කෙසේ ද?" යයි එතුමා ප්‍රශ්න කරයි.

කතෝලික සභාවට මහත් අපකීර්තියක් ගෙනා පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙලෙස ඉතා දැඩි වචන වලින් කතා කර ඇත්තේ මෙවැනි  අපචාර සම්බන්ධයෙන් ලියවුනු පොතක් සඳහා පූර්විකාව ලියමිනි.  "පියතුමෙනි, මම ඔබට සමාව දෙමි" ( I Forgive You, Father)   නම් එම පොතේ ලේඛකයා බාල කාලයේ දී පූජකවරයකු විසින් ලිංගික අපචාරයට ලක් කරන ලද ඩැනියෙල් පියෙට් ය. ඔහු ගේ විශේෂත්වය, තමන් අතවරයට ලක් කළ පූජකවරයාට ඔහු මේ වන විටත් සමාව දී තිබීමයි. මේ අලලා ඔහු විසින් ලියන ලද I Forgive You, Father නම් කෘතිය ගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් විය. පියෙට් ගේ ආරාධනය මත මේ පොතට පූර්විකාව ලියන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි.

1968 දී පූජකවරයකු ගේ අතවරයට ලක් වන විට ඩැනියෙල් පියෙට් 8 වැනි වියේ පසු විය. ඒ වන සිට ඔහු සිය මීසමේ දෙව්මැදුරේ පූජාඋදව් දරුවකු ලෙස  කටයුතු කරමින් සිටියේ ය. ඔහු අවුරුදු හතරක් පුරා මෙම අතවරයට ලක්විය. මේ සම්බන්ධයෙන් කවරකුට හෝ පැවසීමට ඔහු තුළ ධෛර්යයක් උපන්නේ ඉන් පසුවය. ඉන් පසු මෙම පූජකවරයා ස්විට්සර්ලන්තයෙන් ප්‍රංශයට මාරු කර යවන ලද නමුදු එහිදී ද ඔහු එම ක්‍රියා වල නිරත විය. දැන් 57 හැවිරිදි විවාහකයකු වන පියෙට් දරුවන් සය දෙනෙකු ගේ පියෙකි.

තමාට අතවර කළ පුද්ගලයාට සමාව දුන් ඔහු එතැනින් සිය ජීවිතය යළි ආරම්භ කළේය. එම සමාව කෙතරම් පුර්ව ද යත්, 2015 දී කතෝලික සභාව සැමරූ කැපවුණු ජීවිත ගතකරන්නන් ගේ වසර (පැවිදි අය වෙනුවෙන් වෙන් වූ වසර ) අළලා "ප්‍රේම කිරීම යනු සියල්ල පරිත්‍යාග කිරීමයි" (To Love Is To Give Everything) යනුවෙන්පොතක් ලියා පල කළේය. මෙම පොතේ ප්‍රචාරක කටයුතු සඳහා වතිකානයට පැමිණි ඔහුට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවීමේ අවස්තාව ද ලැබුනේ ය. එහි දී තමන් ලද අත්දැකීම ඔහු ඉතාලියේ පලවන La Repubblica නමැති ප්‍රකාශනය සමග බෙදා ගත්තේ ය.

"මම මේ පොත ලියුවත් මට සිදු වී තිබූ අතවරය ගැන සුදොතුම් පියතුමා ඒ වෙද්දී දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා එතුමා මගෙන් ඇසුවා, ' මේ තරම් ශක්තියක්, මේ තරම් ධර්ම දූතික උනන්දුවක්, ජීවගුණයක් ඔබට ලැබුනේ කොහොමද?' කියා. 'පියතුමෙනි, පූජකතුමකු විසින් මා ආතවරයට ලක් කරනු ලැබුවා' කියා මා එතුමාට පිළිතුරු දුන්නා. සුදොතුම් පියතුමා දයාවෙන් පිරි දෑසින් එක එල්ලේ මා දෙස බලා සිටියා. එතුමන් ගේ නෙත් වලට කඳුළු පිරුණා. ඒ සමගම එතුමා දැඩි පිය සෙනෙහසකින් මා වැළඳ ගත්තා...." යි පියෙට් එම පුවත්පතට කීවේ ය.

පූජක ලිංගික අපචාරයක ගොදුර බවට පත් වීත් සමාව දීමට තරම් උත්තුංග ආත්මයක් සතු වූ මේ මිනිසා ගැන "I Forgive You, Father" කෘතියට ලියූ  සිය පූර්විකාවේ ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා මෙසේ කියයි:

"මෙම උද්‍යෝගිමත් සහ දයාවෙන් පිරුණු කීතුනුවා පූජක අපචාරයක ගොදුරක් වූ තැනැත්තකු බව මට සිතා ගැනීමටවත් නොහැකි විය. එහෙත් ඔඅහු මට කීවේ එයයි. ඔහු විදි දුක ඇසූ මම බොහෝ කම්පාවට පත් වුනෙමි. ලිංගික අපචාරය නිසා ඇති කරන ලද දැවැන්ත තුවාලයත් ඊට ගොදුරු වූවන් සුවපත් වීම සඳහා ගමන් කළ යුතු දීර්ඝ දුෂ්කර මාර්ගයත් මේ ඔස්සේ මම යළි දුටුවෙමි" යි එතුමා කියා සිටියි. "මෙය අත්‍යවශ්‍ය වූත්, අගනා සහ ධෛර්යසම්පන්න වූත් ජීවිත සාක්ෂියකි. දේව සේවකයකු ගේ හදවත තුළට කෙතරම් දුරට ඇතුළුවීමට නපුරට හැකි දැයි සෙසු යට මෙය කියවා තේරුම් ගත හැකිය" යි ඔහුට ප්‍රශංසා කරමින් එතුමා සඳහන් කරයි.

"මෙවැනි ජීවිත සාක්ෂියක් මගින් මෙම අපචාරයත් එහි වේදනාවත්  වසාලමින් ගොඩනගා තිබූ නිශ්ශබ්දතාවයේ පවුර බිඳ දමනු ලැබ තිබේ. ඊටත් වඩා මෙම කෘතිය සභා ජීවිතයේ රුදුරු අඳුරු ප්‍රදේශයක් මත පතිත වූ ආලෝක ධාරාවක් වැන්න. එය යුක්තිසහගත වන්දි ගෙවීමක් හා සමගි සන්ධානයේ දේව වරප්‍රසාදය සඳහා මංපෙතක් වෙමින්, කුමාර කාමයෙන් පෙලෙන්නන්ට (pedophiles) සිය ක්‍රියාවේ ඇති දරුණු රුදුරු ආදීනව දැනගන්නට සලස්වයි" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

මෙම පූර්විකාවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පූජක ළමා අපචාර හඳුන්වන්නේ "පරම රුදුරු විරූපීතවක්" ලෙසයි. "දුෂ්ට පාපකර්මයක් වන එය ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන දේට අතිශයින් ම පටහැනිය. දුර්වලම සහ ආරක්ෂාවක් නොමැතිම ජනතාවට විශේෂ සෙනෙහසක් පෙන්වා ඔවුන් ආරක්ෂා කිරීමට සභාව බැඳී සිටින බව 2016 මවිසින් නිකුත් කරන ලද "දයාබර මවක සේ" යන අපෝස්තලික ලිපියෙන් මම පෙන්වා දුන්නෙමි. ස්වකීය දූත මෙහෙවර පාවා දෙන්නා වූ පූජකවරුන් සහ ඔවුන් ආරක්ෂා කරන ඔවුන් ගේ ගේ ශ්‍රේෂ්ඨයන් - එනම් රදගුරු හිමිවරුන් හා කාදිනල් හිමිවරුන් - සම්බන්ධයෙන් අතිශයින් දැඩි ලෙස ක්‍රියා කිරීම අපගේ වගකීම වන්නේ ය" යි එම පූර්විකාවේ සඳහන් වේ.

පසුබිම
ප්‍රධාන වශයෙන් ම උතුරු ඇමෙරිකාව සහ යුරෝපය හරහා හමා ගිය පූජකවරුන් ගේ  ළමා ලිංගික අපචාර සිදුවීම් කුණාටුව වතිකානය ට විසල් බලපෑමක් සිදු කළේය. මෙම අපරාධය  සම්බන්ධයෙන් සභාව නිසි නීත්‍යනුකුල පියවර නොගන්නා සේ ම එය වැලක්වීමට පියවර නොගන්නා බවට ලොව පුරා සෑම පෙදෙසකින් ම දැඩි විවේචන එල්ල වන්නට විය. සුදොතුම් සොළොස්වන බෙනඩික් පාප් වහන්සේට එම ධුරයෙන් ඉසිඹු ලැබීමට තීරණය කිරීමට බලපෑ එක සිද්ධියක් වූයේ ද එම විවේචනයයි. මේ නිසා මෙම අර්බුදයට විසඳුම් ගෙන ඒම එතුමන් ගේ අනුප්‍රාප්තිකයා ගේ එනම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ න්‍යාය පත්‍රයේ අංක එකට වැටී තිබූ කාරණයක් විය.

මෙම  අර්බුදයට එක විසඳුමක් ලෙස මේ පිලිබඳ සිද්ධි සම්බන්ධයෙන් කටයුතු කරන අතර ඒවා වැලක්වීමට පියවර ගනීම සඳහා සුදොතුම් පියතුමා විසින් බලතල සහිත කොමිසමක් පත් කරනු ලැබ තිබේ. "බාලයන් ගේ ආරක්ෂාව පිලිබඳ ශුද්ධාසන කොමිෂන් සභාව" නමැති එම ආයතනයේ සභාපතිවරයා ඇමෙරිකාවේ බොස්ටන් හි අගරදගුරු ප්‍රන්සිස්කාන නිකායික අති උතුම් ෂෝන් ඔ'මැලි කාදිනල් හිමිපාණෝ ය.

ලිංගික අපචාර පිලිබඳ චෝදනා නැගෙන පූජකවරුන් සම්බන්ධයෙන් අදාළ රටේ නීතියට අනුව කටයුතු කල යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් සභාවේ පරීක්ෂණයක් වෙනම සිදු කල යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් හඳුන්වා දී ඇති නව නීති වල සඳහන් වේ. එසේම, පූජකවරයකු ගේ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ රදගුරු පදවියේ රදගුරු තුමා රිජුවම වගකිව යුතු බව ද එම නීති වල සඳහන් වේ.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය