සුදොතුම් පියතුමා විහිලුවට ලක්කරමින් වතිකාන පුවත්පතේ "ව්‍යාජ" මුද්‍රණයක් රෝමයේ බෙදා හැරේ

Fake Vatican Newspaper Pokes Fun at the Holy Father

ව්‍යාජ පුවත්පත - Credit NCR Onlline

(2017 පෙබරවාරි 12)
මේ දිනවල රෝමයේ සිදුවෙමින් පවතින්නේ සිතට ශාන්තිය ගෙන දෙන, අසන්නට සතුට දෙන පුවත් නොවේ. අමිහිරි පුවත් ය. එහෙත් ශ්‍රී ලාංකික කතෝලිකයන් සේ ම සමස්ත වෙබ් පාඨකයා මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය යැයි සිතෙන බැවින් එම පුවත් "වතිකාන සුළඟ"ට මුසු කෙරේ.

ගිය සතියේ අප ඇසුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහිව කැලෑ පත්තරයක් රෝමය පුරා අලවා තිබූ පුවතකි. ඉන් සතියක් ගත වන්නටත් පෙර වතිකානයේ අර්ධ-නිල පුවත් පත වන "L'Osservatore Romano" (ලොසවතොරේ රොමානෝ හෙවත් "The Roman Observer") පුවත් පත ආකාරයටම මුද්‍රණය කල ව්‍යාජ පුවත් පතක් (Fake newspaper) රෝමයේ බෙදා හැර තිබුනේ ය. පුවත් පතේ නම වන "L'Osservatore Romano" යන්න මුද්‍රණය කර ඇත්තේ හරියටම සැබෑ පුවත් පත ලෙසින් මය. එහි පිටු සැකැස්ම ද සැබෑ පුවත් පත ලෙසින් ම සිදු කර තිබිණි.

මෙම පුවත් පතේ ප්‍රධාන සිරස්තලය ලෙස යොදා තිබුනේ "එතුමා පිළිතුරු දෙයි" යන්නයි. "කාදිනල් වරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස්  සිය නිහඬතාව බිඳියි" යයි කෙටි සිරසකින් කියවේ.

මෙම ප්‍රධාන පුවතින් කියැවෙන්නේ පාප් වහන්සේ ගිය වසරේ නිකුත් කල "පවුලේ ආනන්දය" ("Amoris Laetitia" or  "The Joy of the Family") නමැති අපෝස්තලික සංදේශයේ ඇතුළත් කරුණු කිහිපයකට අභියෝග කරමින් කාදිනල් හිමිවරුන් සිව් දෙනෙකු නැගූ ප්‍රශ්නවලට සුදොතුම් පියතුමා "අවසානයේ" පිළිතුරු සපයා ඇති බවයි.

එම අපෝස්තලික සංදේශයේ එන තමන්ට පිළිගත නොහැකි බව කියන අදහස් 5 කට අභියෝග කරමින් කාදිනල් හිමිවරුන් සිව් දෙනෙකු ප්‍රශ්න පහක් ඇතුළත් ලියුමක් පාප් වහන්සේ වෙත යවා තිබිණි. එතුමා ඊට පිළිතුරු ලබා දී තිබුනේ නැත. ඉන් ටික දිනකට පසුව මෙම කාදිනල් වරු සුදොතුම් පියතුමාට යැවූ එම පෞද්ගලික ලියුම ප්‍රසිද්ධියට පත් කරමින් කියා සිටියේ එතුමන් ඊට පිළිතුරු නොදෙන්නේ නම් ඊට "නිවරැදි කිරීමක්" කිරීමට තමන්ට සිදු වන බවයි. සුදොතුම් පියතුමා එම අවස්ථාවේ දී ද නිහඬව සිටියේ ය.  ඊට පිළිතුරු දුන් වතිකානයේ වේද සත්‍යතා සහ ධාර්මික කරුණු පිලිබඳ බලධාරියා වන ගර්හාඩ් මලර් කාදිනල් තුමන් පවසා තිබුනේ "සුදොතුම් පියතුමන් ඊට පිළිතුරු දීම අනවශ්‍ය" බවයි. "අපෝස්තලික ලිපියේ සඳහන් කරුණුවල නිවැරැදි කිරීමට දෙයක් නොමැත. මන්ද ඒවායේ ධාර්මික සදොස් තැන් නොමැති නිසා" බවද එතුමා පවසා තිබිණි.

ඉකුත් පෙබරවාරි 10 වනදා දාතමින් නිකුත් වූ මෙම "ව්‍යාජ" L'Osservatore Romano පුවත්පත පවසන්නේ "අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රශ්න වලට පිළිතුරු දී" ඇති බවයි. ඒ සෑම ප්‍රශ්නයකටම එතුමා "ඔව් සහ නැත" යනුවෙන් පිළිතුරු දී ඇති බව ද "ව්‍යාජ" පුවත් පත කියා සිටියි. පාප් වහන්සේ දුන්නා යයි කියන පිළිතුරු අසා එතුමා ගේ විස්වාසවන්තයකු වන වෝල්ටර් කැස්පර් කාදිනල් හිමි දනින් වැටුණු බවත් තවත් සමීපතමයකු වන පියෝ විටෝ පින්ටෝ මාහිමි අතුරුදන්ව ඇති බවත් ව්‍යාජ පුවත් පත සඳහන් කරයි.

මෙම ප්‍රශ්න පහ ඇතුලත් ලියුම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙත යවා තිබුනේ සභාවේ ගතානුගතික මතවාදීන් වන ඇමෙරිකානු ජාතික රේමන්ඩ් බර්ක්, ජර්මානු ජාතික වෝල්ටර් බ්‍රෑන්ඩ්මුලර්, පෝලන්ත ජාතික ජෝකිම් මයිස්නර්,  සහ  ඉතාලි ජාතික කාලෝ කෆාරා යන කාදිනල් හිමිවරුන් ය.

L'Osservatore Romano පුවත් පත වතිකාන පරිපාලනයේ නිල පුවත්පත හෙවත් 'හොරනෑව' නොවේ. එය සැලකෙන්නේ අර්ධ-නිල පුවත් පතක් ලෙසය. ශුද්ධෝත්තම පියතුමන් ගේ දේශනා, වතිකානයේ සිදුවන සිදුවීම, ලෝකයේ සහ කතෝලික සභාවේ සිද්ධීන් මෙහි වාර්තා කෙරුණත් වඩාත් විෂයමූලකව එම පුවත් ඉදිරිපත් කිරීමේ නිදහස ඊට තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය