"ජේසු සමිඳුන් සැලකිලිමත් වන්නේ ඔබ හා මා ගැනයි. ජනප්‍රියත්වය ගැන නොවේ."

 "Jesus was concerned with people; not popularity": Pope Francis 



(2017 පෙබරවාරි 2 දා)

"ජේසු සමිඳුන්  උන්වහන්සේ ගේ ජනප්‍රියත්ව ජනමත විමසුම් ප්‍රතිඵල ගැන කරදර වෙමින් සිටියේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ සෑම මොහොතකම සැලකිල්ල යොමු කලේ  සෑම මානව පුද්ගලයකුම වෙතයි. ඇතැම් විට එක් එක් පුද්ගලයන් ගේ ඉතා කුඩා, ඉතා  නොවැදගත් යයි අප සිතන දේත් දකිමින් උන්වහන්සේ සෑම පුද්ගලයකු ගැනම සැලැකිලිමත් වෙනවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි.

එතුමා මෙම මෙනෙහි කිරීම කලේ ඉකුත් ජනවාරි 31 වැනිදා උදාසන සාන්ත මාර්තා තානායමේ පුංචි දෙව්මැදුරේ සිය දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව පවත්වමිනි.

" 'ජේසු ගුරුතුමා ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබේ' යැයි පැවසීමට සංඛ්‍යා ලේඛන කරුවන් සුදානමින් සිටින්නට ඇති. එහෙත් ජේසු සමිඳුන් සොයා ගියේ වෙනත් දෙයකි. උන්වහන්සේ සොයා ගියේ ජනතාව ය. ජනතාව ද උන්වහන්සේ සොයා ගියහ. ජනතාව ගේ බැල්ම උන්වහන්සේ වෙත යොමු වී තිබුනේ ය. උන්වහන්සේ ගේ බැල්ම ද ජනතාව වෙතට  යොමු වී තිබුනේ යැ"යි  මාර්කු තුමා ගේ සුබ අස්න පහදමින් සුදොතුම් පියතුමා කීවේය.

"ඔව්. 'ජේසු සමිඳුන් ගේ බැල්ම අති  විශාල ජනකාය වෙත යොමු වී තිබුණා' යයි කියන්නට ඇතැම් විට ජනතාව පෙළඹේවි. එහෙත් ඇත්තෙන් ම උන්වහන්සේ ගේ නෙත් යොමු වන්නේ 'අති  විශාල ජනකාය' වෙත නොවේ; එක් එක් තනි පුද්ගලයා වෙතයි. සෑම එක් එක් පුද්ගලයකුම වෙතයි. ජේසු සමිඳුන් ගේ බැල්මේ සුවිශේෂත්වය එයයි. උන්වහන්සේ ජනතාව පොදුකරණය හෝ ප්‍රමිතිකරණය කරන්නේ නැතැ"යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

" 'අපගේ නෙත් ජේසු සමිඳුන් වෙත රඳවා ගනිමින්, අපගේ ඇදහිල්ලේ තරග දිවීම උට්ඨාන වීර්යයෙන් දුවන්නැ'යි හෙබ්‍රෙව් වරුනට ලියන ලද ලිපියේ සඳහන් වෙයි. මේ නිසා අපගේ නෙත් නිරන්තරයෙන් උන්වහන්සේ වෙත රඳවා ගනිමු. උන්වහන්සේත් සෑම මොහොතකම අප සමගයි. අප අසලයි. උන්වහන්සේ ජනතාව අතරයි. උන්වහන්සේ ගේ මෙම සමීප බව නිසා උන්වහන්සේට අප ගේ ලොකු කුඩා සෑම දෙයක් කෙරෙහිම සිය අවධානය යොමු වෙයි. උන්වහන්සේට ඒ සියල්ල පෙනෙන අතර උන්වහන්සේ අප දෙස බලා සිටිති. අපගේ විශාල ප්‍රශ්න, ගැටළු, දුක් කරදර සේ ම ජයග්‍රහණ හා අති මහත් ප්‍රීති සන්තෝෂ ද උන්වහන්සේ දකිති."

ජේසු සමිඳුන් ජායිරුස් ගේ දියණිය මරණයෙන් නැගිටු වූ විට, එසේ ම උන්වහන්සේ ලේ මාල රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාව  සුවපත් කලවිට, ජනතාව විශ්මයට පත් වුහ. එසේම, අපි අපගේ නෙත් ජේසු සමිඳුන් වෙත රඳවා ගනිමින් අපගේ ජීවිත තරග දිවීම උත්ඨාන වීරියෙන් දුවන විට අප ද මහත් විශ්මයට පත් වනු නොඅනුමාන ය' යි සුදොතුම් පියතුමා කීවේ ය.

"ජේසු සමිඳුන් දෙස බලමින් මම ඉදිරියට ගමන් කරමි. මගේ නෙත් ජේසු සමිඳුන් වෙත ම රඳවා ගනිමින් මම ඉදිරියට යමි. එවිට මට හමුවන්නේ කුමක් ද? උන්වහන්සේ උනවහන්සේ බැල්ම මා වෙතම රඳවා ගෙන සිටින බවය. මා මහත් විශ්මයට පත් කරන කාරණය එය ය. මෙය නම් ජේසු සමිඳුන් මුහුණට මුහුණ මුණ ගැසීමේ විශ්මය එයයි. "

"එහෙත් අපි කිසි විටෙකත්  බියට පත් නොවෙමු.  ජේසු සමිඳුන් ගේ සළුව ස්පර්ශ කල කාන්තාව සේ ම අපිත් එඩිතර වෙමු. ජේසු වෙත් ම යොමු වූ දෑසින් අපි අපගේ මේ ජීවිත ගමන දුවමු. එවිට අපට සොඳුරු විශ්මයන් මුණගැසෙනු ඇති. ඒ අතරින් මහත් ම මවිතය උන්වහන්සේ ගේ නෙත් අප වෙත ම යොමු වී තිබීමය."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය