"ජේසු සමිඳුන් ඔබේ නම කියමින් ඔබ වෙනුවෙන් පියාණන් ඉදිරියේ යාච්ඥා කරනවා..උන්වහන්සේ අප ජීවිතයේ මුල් ගලයි"

"Jesus, who is praying for us, is the cornerstone of our lives and the Church" - Santa Martha Homily


(2016 ඔක්තෝබර 31)
සභාවේ මුල් ගල ජේසු සමිඳාණෝ ය; සෑම කිතුනුවකුගේ ම ජීවිතයේ මුල් ගල ජේසු සමිඳාණෝ ය: එනම් අප සෑම කෙනෙකු වෙනුවෙන් ම - මා, ඔබ වෙනුවෙන් - පියාණන් ඉදිරියේ නිරන්තරයෙන් යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

සුදොතුම් පියතුමා මේ බව  කියා සිටියේ 2016 ඔක්තෝබර 28 වැනිදා - එනම් ශු. සයිමන් සහ ජූඩ් මුනිවරුන් ගේ මංගල්‍යය දා - එතුමන් ගේ සාන්තා මාර්තා තානායම් ගෙදර පුංචි පල්ලියේ පැවති උදෑසන දිව්‍ය පූජා යාගයේ ධර්ම දේශනය පවත්වමිනි. මෙදින එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ දිනට නියමිත දිව්‍ය පූජාවේ සුබ අස්න වූ ලූක් සුවිශේෂයේ එන ජේසු සමිඳුන් විසින් සිය අපොස්තුළුවරුන් 12 දෙනා තෝරා ගනු ලැබීම හා ඊට පෙර හා පසුව සිදුවූ සිද්ධීන් ඇතුළත් සුවිශේෂ පාඨය යි.

ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් තෝරා ගැනීමට පෙර සිය පියාණන්ට රාත්‍රියක් පුරා යාච්ඥා කළ ආකාරය සුදොතුම් පියතුමා විග්‍රහ කළේය.

"ජේසු සමිඳුන් යාච්ඥා කිරීම සඳහා කඳු මුදුනට ගියා. උන්වහන්සේ කන්ද මත රාත්‍රිය පුරා දෙවි පියාණන්ට  යාච්ඥා කරමින් කාලය ගත කළා. සියල්ල සිදු වූයේ ඉන් පසුවයි: සෙනග එතුමන් වටා රොක් වීම, අපොස්තුළුවරුන් තෝරාගනු ලැබීම, රෝගීන් සුවපත් කිරීම, යකුන් දුරු කිරීම.... ඔව්.  මුල් ගල ජේසු සමිඳාණෝ යි; එහෙත් යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යි. උන්වහන්සේ යාච්ඥා කරනවා. උන්වහන්සේ සභාව වෙනුවෙන් යාච්ඥා කළා. උන්වහන්සේ තවමත් සභාව වෙනුවෙන් යාච්ඥා කරනවා. සභාවේ මුල් ගල, දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත්වන , අප වෙනුවෙන් යාච්ඥා කරන,  අපගේ සමිඳාණෝ යි. අප උන්වහන්සේට යාච්ඥා කරනවා. එහෙත් වඩා මුඛ්‍ය කාරණය නම් උන්වහන්සේ අප වෙනුවෙන් යාච්ඥා කරනවා" යයි සුබ අස්න ගෙනහැර දක්වමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

ජේසු සමිඳුන් සිය මිහිමත ජීවිතයේ දී සිය ශ්‍රාවකයන්, අනුගාමිකයන් හා මිතුරන් වෙනුවෙන් යාච්ඥා කල ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. ප්‍රාතිහාර්යයක් කිරීමට පෙර, ලාසරස් මරණයෙන් නැගිටුවීමට පෙර සහ අවසන් රාත්‍රී භෝජනය අවස්ථාවේ  සමිඳුන් යාච්ඥා කල ආකාරය  එතුමා ගෙනහැර දැක්වීය.

"ජේසු සමිඳුන් මල් උයනේදී යාච්ඥා කළා. කුරුසියේ වේදනාව උන්වහන්සේ අවසන් කලේ යාච්ඥාවෙන්. උන්වහන්සේ මෙලොව ජීවිතය අවසන් කලේ යාච්ඥාවෙන්. අපගේ සුරක්ෂිතතාව මෙයයි. අපගේ පදනම මෙයයි. අපගේ මුල් ගල මෙයයි: එනම් අප වෙනුවෙන් යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යි; මා වෙනුවෙන් යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යි. අප සෑම කෙනෙකුටම මේ කාරණය කියන්නට පුළුවන්: 'ජේසු මා වෙනුවෙන් යාච්ඥා කරන බව මට සහතිකයි; උන්වහන්සේ පියාණන් ඉදිරියේ මගේ නමින්ම මා වෙනුවෙන් මැදිහත් වෙනවා'. සභාවේ මුල් ගල මෙයයි: යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යි.

ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් හා මිතුරන් වෙනුවෙන් යාච්ඥා කරන ආකාරය ගැන හොඳම උදාහරණයක් උන්වහන්සේ ගේ දුක් ප්‍රාප්තියට පෙර දකින්නට ලැබෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "පේදුරු මම ඔබ වෙනුවෙන් පියාණන්ට යාච්ඥා කලෙමි. සාතන් ගේ දුර්පරීක්ෂා වලින් ඔබ ආරක්ෂා කරන ලෙස ද ඔබගේ  විශ්වාසයෙහි ඔබ ආරක්ෂා කරන ලෙස ද යාච්ඥා කලෙමි" යි සමිඳුන් සිය දුක්ප්‍රාප්තියට මුහුණ දුන් රැයේ දී ශු. පේදුරු අපොස්තුලුතුමාට කී බව එතුමා සිහි කළේය.

"ජේසු සමිදුන් පේදුරුතුමන්ට පවසන දේ අද ඔබටත් මටත් පවසනවා; අප එකිනෙකාට - සෑම කෙනෙකුටම - පවසනවා. 'මම ඔබ වෙනුවෙන් යාච්ඥා කර තිබෙනවා.  මම ඔබ වෙනුවෙන් යාච්ඥා කරනවා. දැන් මම ඔබ යාච්ඥා කරනවා' කියා එතුමා කියනවා. උන්වහන්සේ දිව්‍ය පූජාව මොහොතේ පුදසුන වෙතට පැමිණෙන්නේ, ශ්‍රී කුරුසිය මත කල සේ  අප වෙනුවෙන් මැදිහත් වීමටයි. යාච්ඥා කිරීමටයි.  මෙය අපට දැවැන්ත  සුරක්ෂිතතාවක් ලබා දෙනවා."

ජේසු සමිඳුන් අප වෙනුවෙන් සහ සභාව වෙනුවෙන් නිරන්තරයෙන්  යාච්ඥා කරන බවට ඇති මෙම සහතිකය කිතුනුවකු ලෙස අප තුළ කෙතරම් ආස්වාදයක් ජනිත කරන්නේ දැයි සුදොතුම් පියතුමා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය. එසේම මෙම හැඟීම අප ශක්තිමත් කොට, ආත්ම ශක්තියෙන්, ආඩම්බරයෙන් පිරි ප්‍රීතිමත් ජනතාවක් බවට පත් කරන්නේ කෙසේදැයි එතුමා පහදා දුන්නේ ය:

"මා අයත් වන්නේ මේ පවුලටයි. ජේසු සමිඳුන් මුල් ගල වන නිසා සවිමත් ව නොසෙල්වී පවතින පවුල වන සභාවටයි. ජේසු සමිඳුන් අප වෙනුවෙන් යදින නිසා සවිමත් ව පවතින පවුලටයි. අපි සියල්ලෝම එකම සවිමත් ගොඩනැගිල්ලක් බඳුයි. එහි අත්තිවාරම ජේසු සමිඳාණෝ යි. සිය පියාණන් ඉදිරියේ  අප වෙනුවෙන් යදින, මා වෙනුවෙන් යදින, ජේසු සමිඳාණෝ යි" යයි සුදොතුම් පියතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය