රෝමයේ වෙසෙන දුප්පත් ජනයා වතිකාන සංගීත සංධ්වනියේ ගෞරවනීය ආරාධිතයන් ලෙස ඇරැයුම් ලබති

Rome's poor to be the "Guests of Honor" at the Vatican Concert 



(2016 ඔක්තෝබර 29)
වතිකානයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක ගෞරවනීය ආරාධිතයන් ලෙස රෝමයේ ජීවත්වන දුප්පතුන් හා 'ගෙදරක් නොමැති' ප්‍රජාවට ආරාධනා කිරීමට සුදොතුම් පියතුමාගේ දයා සේවා ආයතනය තීරණය කර තිබේ.

සුදොතුම් පියතුමාගේ දයා සේවා අංශය (පුණ්‍ය කටයුතු ආයතනය) විසින් සංවිධාන කෙරෙන විශේෂ සම්භාව්‍ය සංගීත ප්‍රසංගයක් 2016 නොවැම්බර 12 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැත්වෙන මෙම ප්‍රසංගයේ අරමුණ සුදොතුම් පියතුමා ගේ දයා සේවා සඳහා අරමුදල් රැස් කිරීමයි. සම්ප්‍රදායක් ලෙස මෙම ප්‍රසංග සඳහා ප්‍රවේශපත් නිකුත් කරනු නොලැබේ. එහෙත් ඒවා නැරඹීමට එන ප්‍රේක්ෂකයන් විසින් පිරිනැමෙන පරිත්‍යාග, දයා සේවා ආයතනයේ පුණ්‍ය කටයුතු සඳහා භාර ගැනේ. මෙවර ප්‍රසංගයෙන් පිරිනැමෙන ආධාර බර්කින ෆාසෝවේ ගොවීන් ගේ පාසලක් සඳහා සහ උගන්ඩාවේ මොරෝටෝ නුවර ආසන දෙව්මැඳුරට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිතයි.

නොවැම්බර 12 වනදා පැවැත්වෙන ප්‍රසංගයේ විශේෂත්වයක් වන්නේ එය නැරඹිම සඳහා "ගෞරවනීය ආරාධිතයන්' ලෙස රෝමයේ ජීවත්වන දුප්පතුන් හා 'ගෙදරක් නොමැති' ජනතාවට ආරාධනා කර තිබීමයි. මේ නිසා මෙම ප්‍රසංගය නම් කර ඇත්තේ "දුප්පතුන් සමග දුප්පතුන් සඳහා" ලෙසයි. සංගීත ප්‍රසංගයෙන් පසුව එහි ආරාධිතයන් සඳහා ආහාර වේලක් සහ කුඩා සිහිවටනයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. එය බෙදා දෙනු ලබන්නේ දයාවේ ජුබිලි වසරේ ස්වේච්ඡා සේවකයන් හා රෝම රදගුරු පදවියේ ගායනා කණ්ඩායම (කන්තාරු කණ්ඩායම) විසිනි.

"දුප්පත් සභාවක් දුප්පතුන් සඳහා වන සභාවක්" යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ සුවිශේෂී ප්‍රමුඛතාවකි.

රෝමයේ සිරකරුවන් හා රෝගීන් ආරාධිතයන් ලෙස  සම්බන්ධ කරගන්නා ලද මෙවැනි ම ප්‍රසංගයක් 2015 දී ද පැවැත්විණ. එම ප්‍රසංගයේ දී අදහස් දැක්වූ දියේගෝ ගියොවන්නි මාහිමිපාණන් කියා සිටියේ මෙවැනි අවස්ථාවලට සමාජයේ දුර්වල කොටස් සහභාගී කරගැනීමෙන් ඔවුන් තුළ බලාපොරොත්තුවේ ආලෝක දහරක් ඇති කල හැකි බවයි. "මෙම ප්‍රසංගයේ තේමාව දුප්පතුන් 'සමගයි'. මන්ද, මීට සහභාගී වන මේ ජනතාව ම තමයි අවශ්‍යතාවයෙන් පෙළෙන්නේ..." යයි ද එතුමා කියා සිටියේය.

මෙවර සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබන්නේ "රෝම සංධ්වනි වාද්‍ය වෘන්දය" සහ "ශාන්ත සිසිලියා ජාතික ගායනා කණ්ඩායම" විසිනි (Roman Symphonic Orchestra and the National Choir of Saint Cecilia). ඇකඩමි සම්මානලාභී  සංගීතවේදී එනියෝ මොරිකෝනේ විසින් සංගීතය මෙහෙයවනු ලබයි. ඒ අතර මාර්කෝ ෆ්‍රිසිනා මාහිමිපාණන් විසින් මෙහයවනු ලබන රෝම කන්තාරු කණ්ඩායම ද දහම් සංගීතයෙන් ප්‍රේක්ෂකයන් පිනවීමට නියමිතයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය