ජේසු නිකායේ නව ශ්‍රේෂ්ඨාධිපති ලතින් අමෙරිකාවෙන්

Jesuits elect a Venezuelan as their new Superior General 

තේරී පත්වීමෙන් පසු ආර්තුරෝ සෝසා පියතුමා මහා සභාව අමතයි


(2016 ඔක්තෝබර 15)
ජේසු නිකායට නව ශ්‍රේෂ්ඨාධිපති වරයෙක් තේරී පත්වෙයි. එතුමා වැනිසියුලා ජාතිකයෙකි.

සති කිහිපයක් පුරා රෝමයේ පැවැත්වුණු ජේසු නිකායේ 36 වැනි මහා සභාවේදී වැනිසියුලාවේ ජේසු නිකායික කලාපයේ ගරු ආර්තුරෝ සෝසා පියතුමා එම නිකායේ නව ශ්‍රේෂ්ඨාධිපති (ලෝක නායක) ලෙස තෝරා පත්කර ගැණින. නිකායේ නිර්මාතෘ ශාන්ත ඉග්නේෂස් ලොයලා තුමන් ගේ ව්‍යවස්ථාව අනුව යමින් ලෝක නායකයා  තෝරා ගන්නා ලද්දේ  ගැඹුරු යාච්ඥාව, සම්මන්ත්‍රණය හා තොරතුරු විමසීම  යන ක්‍රමවේද භාවිත කරමින්, අවසානයේ මහා සභාවේ නියෝජිතයන්ගේ චන්දයෙනි. ලොයලා තුමා ගේ ව්‍යවස්ථාව අනුව මෙවැනි අවස්ථාවලදී තමා හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ඉල්ලා සිටීම සපුරා තහනම් වේ. සෑම විටම යාච්ඥාව තුළ දේව ආලෝකය ඉල්ලා සිටීම අනිවාර්ය ය.

ජේසු නිකායිකට නව  ලෝක නායකයකු තෝරා  පත් කරගැනීම අවශ්‍ය වූයේ දැන් 80 වන වියේ පසුවන ශ්‍රේෂ්ඨාධිපති ස්පාඥ්ඥ ජාතික ගරු ඇඩෝල්ෆෝ නිකොලස් පියතුමා එම තනතුරින් ඉල්ලා අස්වීම නිසාය.

වැනිසියුලා ජාතික ගරු ආර්තුරෝ සූසා පියතුමා, ජේසු නිකායේ නිර්මාතෘ, එහි ප්‍රථම ශ්‍රේෂ්ඨාධිපති, ශාන්ත ඉග්නේෂස් ලොයලා තුමන් ගේ 31 වැනි අනුප්‍රාප්තිකයා ය. එම නිකායේ ප්‍රථම යුරෝපීය නොවන ශ්‍රේෂ්ඨාධිපතිවරයා ද, ප්‍රථම ලතින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිපතිවරයා ද ලෙස සෝසා පියතුමා  ඉතිහාසයට එක්වෙයි. වැනිසියුලා මධ්‍යම විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා සිටින එතුමා එරට කතෝලික විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලැබුවෙකි. කලක් වැනිසියුලාවේ ජේසු නිකායේ ප්‍රාදේශාධිපති ලෙස ද සේවය කල එතුමා එරට ජේසු නිකායික විද්‍යාල හා සරසවි පීඨ කිහිපයකම ප්‍රධානියා ලෙස කටයුතු කල කෙනෙකි. හිටපු ජනාධිපති හියුගෝ චාවේස් ගේ ආඥාදායක රෙජීමය සමයේ එතුමා දුප්පත් හා පීඩිත ජනයා වෙනුවෙන් මහත් සේවාවක් ඉටුකළ කෙනෙකු ලෙස ද සඳහන් වේ.

මේ සියල්ලටම වඩා නව ශ්‍රේෂ්ඨාධිපතිවරයා හැඳින්විය හැක්කේ "ගැඹුරු යාච්ඥාවේ මිනිසෙකු" ලෙස බව රෝමයට රැස්ව සිටි ජේසු නිකායික නියෝජිතයෝ පෙන්වා දෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ වචන උපුටා ගත් කැනඩාවේ ජේසු නිකායික ප්‍රධානි තිමති කෙසිකි පියතුමා කියා සිටියේ සෝසා පියතුමන් "ශුද්ධවන්ත එඩිතර කමින්" යුත් කෙනෙකු බවයි. "එතුමන් ශුද්ධවන්ත එඩිතර කමිනුත්, අපෝස්තලික සටන්කාමී බවිනුත් යුත් කෙනෙක්. අප ධර්මදූතික නිකායක් නිසා ලෝකයේ සෑම කොනකටම ගොස් නිර්භයව ජේසු සමිඳුන් ගේ සුබාරංචිය ප්‍රකාශ කිරීමට නම්  මේ ගුණාංග අත්‍යවශ්‍යයි" එතුමා කීවේය.

ශාන්ත ඉග්නේෂස් ලොයලා තුමන් හා එක්ව ජේසු සමාජය හෙවත් ජේසු නිකාය ආරම්භ කල තිදෙනාගෙන් කෙනෙකු වන ශා.පීටර් ෆේබර් තුමන් ශුද්ධවරයට ඔසවන අවස්ථාවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කල ධර්මදේශනය කෙසෙකි පියතුමා සිහිපත් කළේය.

" අප මේ ප්‍රශ්න අපගෙන් ඇසිය යුතුයි. අප තුළ ශ්‍රේෂ්ඨ දර්ශනයකුත් ප්‍රගාමක බලයකුත් තිබෙනවා ද? අප එඩිතර ද? අපගේ සිහින ඉහලින් පියාසර කරනවා ද? අපෝස්තලික උද්යෝගය අප දවනවා ද? එසේ නැති නම්, අපගේ සාමාන්‍ය තත්වය ගැන අප සෑහීමට පත් වෙනවා ද? හුදෙක් 'පර්යේෂනාගාරයේ සෑදූ අපෝස්තලික වැඩසටහනින්' අප සෑහීමකට පත් වෙනවාද?" යැයි සුදොතුම් පියතුමා එදා ප්‍රශ්න කළේය.


ජේසු නිකාය හෙවත් "ජේසු ගේ සමාජය"  ලොව විශාලතම කතෝලික පැවිදි හවුලයි. එම පැවිදි පවුල ලොව පුරා විවිධ දහම් සේවාවල නිරත වී සිටියි. එම නිකායට අයත් පියවරුන් සහ සහෝදරවරු ධර්ම දේශනය හා ධර්ම විවේක දේශනය, අධ්‍යාපනය, ජන සන්නිවේදනය, දේව ධර්මය හා දර්ශනවේදය, විද්‍යාව, තාරකා විද්‍යාව හා තාක්ෂනය, මනෝ විද්‍යාව හා උපදේශනය, යුක්තිය, මානව හිමිකම් හා සාමය වැනි ක්ෂේත්‍ර රැසෙක නිරත වී සේවාවෙහි යෙදෙති. ඉස්ලාම් ධර්මය පිලිබඳ ආචාර්ය උපාධියක් දිනාගෙන ඒ සම්බන්ධයෙන් දයා සේවාවේ යෙදී සිටින ජේසු නිකායික පිය නමක් ජෙරුසලමේ ජීවත් වෙයි. ශ්‍රී ලංකාවේ කැලණියේ තුලන ආයතනය භාරව කටයුතු කරන ඇලෝයි පීරිස් පියතුමා බෞද්ධ ධර්මය හා දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධිධරයකු වන අතර බොදු දහම පිලිබඳ විරල  පොත් පත් රැසක් ද එතුමා සතු ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද ජේසු නිකායික පැවිදි වරයෙකි. එම නිකායේ ප්‍රථම පාප් වහන්සේ ද, ප්‍රථම ලතින් ඇමෙරිකානු පාප් වහන්සේ ද ලෙස එතුමා ඉතිහාසයට එක්ව සිටියි.

ලතින් ඇමෙරිකාවෙන් පැමිණි ජේසු නිකායික  රදගුරු තුමකු 'රෝමයේ රදගුරු තුමා'  (සුදොතුම් පියතුමා) ලෙස ශුද්ධාත්මාලෝකයෙන් තෝරා පත්කරගෙන  සභාවට නායකත්වය දෙන සමයේ, එම ලතින් අමෙරිකාවෙන් ම ජේසු නිකායික  ශ්‍රේෂ්ඨාධිපතිවරයකු තේරී පත්වීම හුදෙක් අහඹුවක් විය හැකි ද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය