කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 17 නමක්; සත් නමක් මෙතෙක් කාදිනල්වරුන් පත් නොවූ රටවලින්

Holy Father announces 17 new Cardinals in a Consistory 


(2016 ඔක්තෝබර 10 10)
කාදිනල් හිමිවරුන් ගේ සම්මේලනයක් මේ වසරේ නොවැම්බර 19 වනදා පවත්වන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට  පත් කරයි. එම සම්මේලනයේ දී අලුතින් 17 නමක් කාදිනල් ධුරයට ඔසවන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඔක්තෝබර 9 වන දා ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මරිය යැදුම අවසානයේ දී ය.

2015 දෙසැම්බර 8 වනදා ආරම්භ වූ දයාවේ ජුබිලි වසර අවසන් වීමට නියමිතව ඇත්තේ 2016 නොවැම්බර 19 වනදා යි. ඊට සමගාමීව පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙයේ දී  නව කාදිනල් හිමිවරුන් එම පදවි වල පිහිටුවීම සිදුකෙරෙන බව සුදොතුම් පියතුමා කීවේය.

නව කාදිනල් හිමිවරුන් 17 දෙනා ලොව මහාද්වීප 5 නියෝජනය කරන ජාතීන් 11 කට අයත් වන බව එතුමා කියා සිටියේ ය. "මෙයින් ප්‍රකාශ වන්නේ මිහිමත සිව් දිග ම සුබ අස්න ප්‍රකාශ කරන්නා වූ ද ඊට සාක්ෂි දරන්නා වූ ද කතෝලික සභාවේ විශ්වීය (සියැලි) බවයි" යැයි එතුමා පැහැදිලි කළේය.

නව කාදිනල් හිමිවරුන් අතර මුලින් ම සඳහන් වූයේ සිරියාවේ අපෝස්තලික තානාපති, ඉතාලි ජාතික මාරියෝ සෙනාරි අගරදගුරු  හිමිපාණන් ගේ නමයි. තවමත් යුද්ධයෙන් ගිනිගෙන දැවෙන සිරියාව තුල සිය කිතුනු බවට සාක්ෂි දරමින් කැපවුණු ජීවිතයක් ගත කරන සෙනාරි හිමිපාණන් ගේ සේවාව ඇගයීම මෙම පත්වීමෙහි අරමුණ සේ සැලකේ.

නව කාදිනල් හිමිවරුන් අතරින් සත් නමක්ම පත් කරනු ලැබ  සිටින්නේ සභා ඉතිහාසයේ මෙතෙක් කාදිනල් හිමි නමක් පත් වී නොමැති රටවලිනි. බංග්ලාදේශය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, මුරුසිය පැපුවා නිව් ගිනීයාව, මැලේසියාව, ලෙසෝතෝව සහ ඇල්බේනියාව එම රටවල් වේ.

සාමාන්‍යයෙන් කතෝලිකයන් සිතන්නේ කාදිනල් ධුර හිමිවන්නේ අගරදගුරුහිමි වරුනට පමණක් ලෙසයි. එහෙත් ගිය වසරේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හයිටියේ රදගුරු හිමි නමක් කාදිනල් ධුරයට එසැවීය. මේ වසරේ එතුමාගේ නව කාදිනල් ලේඛනයේ ඇල්බේනියාවේ පියතුමෙකු ගේ නම ද සඳහන් වේ. එනම් ගරු අර්නස්ට් සිමොනි පියතුමායි. ඇල්බේනියාවේ කොමියුනිස්ට් රෙජීමය සමයේ එරට කතෝලික සභාවට එල්ල වූ අති දරුණු පීඩනය හමුවේ සිමොනි පියතුමා දැඩි හිංසාවට ලක්විය. දරුණු හිංසනය නොතකා එතුමන් සිය විශ්වාසයට සාක්ෂි දැරූ ආකාරය ඉකුත් වසරේ ඇල්බේනියාවට ගිය මොහොතේ සිහිපත් කළ සුදොතුම් පියතුමා එතුමන් වැළඳගත්තේ ය. සිමොනි පියතුමා ගේ වයස අවුරුදු 80කට වැඩි බැවින් එතුමාට පාප්තුමකු තෝරාගැනීමේ දී චන්දය භාවිත කිරීමට අවකාශ ලැබෙන්නේ නැත. අවුරුදු 80ට වැඩි කාදිනල් හිමිවරුන් සිව් දෙනෙකු නව පත් වීම් ලබා සිටිති.

මෙවර කාදිනල් නාම ලේඛනයට ඇමෙරිකානු ජාතික අගරදගුරු හිමිවරු තුන් නමක් ද ඇතුළුවී සිටිති. එතුමන්ලා ද පත් කරනු ලබා සිටින්නේ සාම්ප්‍රදායිකව  කාදිනල් හිමිවරුන් පත් කෙරෙන පදවි වලින් නොවීම විශේෂත්වයකි. එසේ ම මෙම අගරදගුරු හිමිවරු තිදෙනාම සරල ජීවිත ගත කිරීමට වෙහෙසෙන, දැඩි සාම්ප්‍රදායික මතධාරීන්  නොවන, සමලිංගිකත්වය වැනි කරුණුවලදී දයාර්ද්‍ර හදවතින් බලන පූජකවරුන් වීම ද විශේෂ ලක්ෂණ වේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කල නව කාදිනල් හිමිවරුන් ගේ ලේඛනය මෙසේය.

අති උතුම් මාරියෝ සෙනාරි අගරදගුරු හිමි - සිරියාවේ අපෝස්තලික තානාපති (ඉතාලි ජාතික)
අති උතුම් ඩියෙඩොනේ න්සාපලයින්ගා - බන්ගුයි, මාධ්‍යම අප්‍රිකානු ජනරජය
අති උතුම් කාර්ලොස් ඔසෝරෝ සියෙරා අගරදගුරු හිමි - මැඩ්රිඩ්, ස්පාඥ්ඥය
අති උතුම් සජියෝ ඩා රෝචා අගරදගුරු හිමි - බ්‍රසීලියාව, බ්‍රසීලය
අති උතුම් බ්ලේස් . කුපිච් අගරදගුරු හිමි - චිකාගෝ, ඇමෙරිකාව
අති උතුම් පැට්‍රික් දී රොසාරියෝ - ධකා, බංග්ලාදේශය
අති උතුම් බල්තසාර් පොර්රාස් කොර්දොසෝ  අගරදගුරු හිමි - මෙරිඩා, වැනිසියුලාව
අති උතුම් හොසේෆ් දී කෙසෙල් අගරදගුරු හිමි - බ්‍රසල්ස්, බෙල්ජියම
අති උතුම් මොරිස් පියත් අගරදගුරු හිමි - පෝට් ලුවිස්, මුරුසිය
අති උතුම් කෙවින් ෆැරල් අගරදගුරු හිමි - වතිකානයේ පවුල, ගිහියා සහ ජීවිතය පිලිබඳ නව දෙපාර්තමේන්තුවේ ප්‍රධානි (ඇමෙරිකානු ජාතික)
අති උතුම් කාර්ලොස් අගියාර් රෙටෙස් අගරදගුරු හිමි - ට්ලල්නේපන්ට්ලා, මෙක්සිකෝව
අති උතුම් ජෝන් රිබාට් අගරදගුරු හිමි - පොර්ට් මෝස්බි, පැපුවා නිව් ගිනියාව
අති උතුම් ජෝසප් විලියම් ටෝබින් අගරදගුරු හිමි - ඉන්දියානාපොලිස්, ඇමෙරිකාව

චන්ද බලය නොමැති කාදිනල් හිමිවරු
අති උතුම් ඇන්තනි සෝටර් ෆර්නැන්ඩස් හිමි - විශ්‍රාමික අගරදගුරු, ක්වාලා ලම්පුර්, මැලේසියාව
අති උතුම්රෙනාටෝ කෝටි හිමි - විශාමික අගරදගුරු, නොවාරා ඉතාලිය
අති උතුම් සෙබැස්ටියන් ඛෝආරායි - විශ්‍රාමික අගරදගුරු , මොහාලේ හීක්, ලෙසෝතෝව
ගරු අර්නස්ට් සිමොනි පියතුමා - ශ්කොද්රේ- පුල්ට් අගරදගුරු පදවිය, ඇල්බේනියාව

නව කාදිනල් හිමිවරුන් 17 දෙනා පත් වීමත් සමග කාදිනල් පර්ෂදයේ සමස්ත කාදිනල් හිමිවරුන් ගේ සංඛ්‍යාව 228 දක්වා ඉහල යයි. ඒ අතරින් පාප්තුමකු පත්කිරීමේදී චන්දය භාවිත කල හැකි වයස  අවුරු 80ට අඩු හිමිවරුන් ගේ සංඛ්‍යාව 121 වන අතර, හිමිවරු 107 නමක් එම වයස ඉක්ම වූ අයයි.
.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය