තෙරේසා මව් තුමියගේ සේවාවේ "ලුණු සහ ආලෝකය": දයා කරුණාව - ශුද්ධවර භාවයේ දිව්‍ය පූජාවේ ධර්ම දේශනයෙන්

Mercy: The 'salt' and 'light' of St. Mother Theresa's service

තෙරේස මව් තුමිය රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳකුට ආදරය පෑ මොහොතක්

(2016 සැප්තැම්බර් 9)
අවශ්‍යතාවයෙන් පෙලෙන්නන්ට සරණය වීමට වඩා ඔබ්බට යන දයාවක් කිතුනුවන් තුළ තිබිය යුතු බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. කිතුනු ජීවිතය වූ කලී දයාවේ පත්ලටම කිඳා බසිමින් අපගේ මුළු ජීවිතයම ක්‍රිස්තුන් වහන්සේ ගේ සේවාවට කැප කරන ජීවිතයක් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

"සමිඳාණන් අපට දෙන කාර්යභාරය නම්, දයාව සඳහා කැඳවීමකි. මම කැඳවීම තුළ ක්‍රිස්තුන් වහන්සේ ගේ සෑම ශ්‍රාවකයකු ම සිය සමස්ත ජීවිතය ම උන්වහන්සේ ගේ සේවාවට කැපකොට දිනෙන් දින ප්‍රේමයෙන් වර්ධනය වෙයි."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කල්කටාවේ ශාන්ත තෙරේසා මව්තුමිය ශුද්ධවරයට එසැවීම වෙනුවෙන් ඉකුත් සැප්තැම්බර 4 ව ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පුජාවේ ධර්මදේශනය පවත්වමිනි. ලොව නන් දෙසින් පැමිණි වන්දනාකරුවන් 120,000 කට වැඩි පිරිසක් මෙම දේව මෙහයට එක්ව සිටි බව වතිකාන ප්‍රවෘත්ති කාර්යාලය කියයි.

"දෙවියන් වහන්සේ ගේ අනුශාසනා ඉගෙනගත හැක්කේ කාටද?" යන සොලමොන් ගේ ප්‍රඥාව පොතේ එන වාක්‍යය ගැන සුදොතුම් පියතුමා භාවනා කළේය.(ප්‍රඥා 9:13) අපගේ කාර්යය වන්නේ දෙවියන් වහන්සේ ගේ කැඳවීම අවබෝධ කරගෙන උන්වහන්සේ ගේ කැමැත්ත ඉටු කිරීම බව එතුමා පෙන්වා දුන්නේ ය. උන්වහන්සේ ගේ කැමැත්ත ඉටු කිරීමට නම්, මුලින්ම එය කුමක්දැයි අප දැනගත යුතු ය.

"ඊට පිළිතුර ප්‍රඥාව පොතේ එම ඡේදයේ ම හමු වේ. එනම්, 'ඔබට ප්‍රසන්න දේ කිරීමට ජනයාට උගන්වන ලදී' යන්නයි.(9:18) එබැවින් දෙවියන් වහන්සේ ගේ කැඳවීම  නිසැකව අවබෝධ කර ගැනීමට නම්, දෙවියන් වහන්සේට ප්‍රසන්න දේ කුමක්දැයි අප අපෙන් විමසා තේරුම් ගත යුතු ය. දෙවියන් වහන්සේට ප්‍රසන්න කුමක්දැයි දිවැස්ප්‍රසාදිවරු බොහෝ අවස්ථාවල ප්‍රකාශ  කළහ. 'මට අවශ්‍ය වන්නේ දයා කරුනාවය; යාග නොවේ' යන හොසෙයා දිවස්ප්‍රසාදීවරයා ගේ වචන තුළ ඔවුහු විශ්මයජනක සංයෝගයක් දුටහ. සෑම දයාවේ ක්‍රියාවක් කෙරෙහිම  දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක. මන්ද අප උදව් උපකාර කරන සෑම සහෝදරයකු, සහෝදරියක තුළම අප හඳුනා ගන්නේ, කිසිවකුට නොපෙනෙන දෙවියන් වහන්සේ  ගේ ම  වත මඬලයි. අපගේ සහෝදරයන් හෝ සහෝදරියන් ඉදිරියේ අප නැමෙන සෑම විටම, අපි ජේසු සමිඳුන්ට කෑමට හෝ බීමට යමක් දෙන්නෙමු; අපි එතුමන් ඇඳුමින් ඇඟලුමින් සරසමු; අපි එතුමනට උදව් උපකාර කරමු; තනිව සිටින එතුමන් බලන්නට සනසන්නට යමු" යි දයා කරුණාවේ ජීවිතයේ මහිමය විස්තර කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

දයා කරුණාවේ ක්‍රියාවලට විකල්පයක් නොමැති බව එතුමා අවධාරණය කළේය. කිසියම් කෙනෙකු, දෙවියන් වහන්සේ ගැන දැනීමක් නොමැතිව වුවද තමන් සිය සහෝදර සහෝදරියන් ගේ  සේවය සඳහා කැප කරන්නේ ද, එම තැනැත්තා දෙවි සමිඳාණන්ට ප්‍රේම කරන්නේ යැයි එතුමා පහදා දුන්නේ ය.

" 'මහ සෙනගක් ජේසු සමිඳුන් සමග ගමන් කරමින් සිටියහ' යැයි අද ලූක් තුමා සිය සුවිශේෂයේ ප්‍රකාශ කරයි. අද මෙම 'මහ  සෙනග' අපට හඳුනාගත හැක්කේ දයා  සේවක සේවිකාවන් ගේ ජුබිලිය සඳහා මේ චතුරශ්‍රයට රැස්ව සිටින දයා සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාව තුළයි. ඔබගේ ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් එතුමන් සෑම කෙනෙකුටම දක්වන අපරිමිත ප්‍රායෝගික ප්‍රේමය ලෝකය තුළ විද්‍යමාන කරන මහ සෙනග ඔබයි" යයි දයා සේවක සේවිකාවන් ගේ සේවාවේ ගැඹුරු ආධ්‍යාත්මික අරුත පෙන්වා දෙමින් සුදොතුම් පියතුමා කීවේය. "දයාවේ සේවක සේවිකාවන් විසින් කෙතරම් හදවත් සංඛ්‍යාවක් සනසන්නට ඇති ද? දෑත් කීයක් ඔවුන් ගේ දෑත්වල ප්‍රේමයේ ස්පර්ශය ලබන්නට ඇති ද? කෙතරම් කඳුලක් ඔවුන් විසින් පිස දමන්නට ඇතිද? .....මෙම ප්‍රශංසාත්මක සේවාව ඔවුන් ගේ ඇදහිල්ලේ හඬ ශබ්දයයි. එපමණක් නොවේ. එම සේවාව අවශ්‍යතාවලින් පෙලෙන සිය ජනතාවට සමීප වන දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ ප්‍රකාශනය යි."

තෙරේසා මව් තුමිය මෙම දේව  දයා කරුණාවේ ප්‍රකාශනයක් වූ අන්දම සුදොතුම් පියතුමා විස්තර කළේය:

"තෙරේසා මව් තුමිය, ඇයගේ ජීවිතයේ සෑම අංශයකින් ම, දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව ත්‍යාගශීලීව බෙදාහළ කාන්තාවක් වූවය. නිතරම සෑම කෙනෙකුම ආදරයෙන් පිළිගැනීමට සුදානම් ව සිටීමෙන් , මානව ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමෙන්, නූපන් බිලිඳුන්, අත්හැර දමන ලද්දවුන් හා සමාජය විසින් කොන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටිමින් හා ඔවුන්ට සේවාව කිරීම මගින් එතුමිය දේව දයා කරුණාව ත්යාගශිලිව බෙදා හැරියාය. නූපන් බිලිඳුන් යනු සමාජයේ දුර්වලම, කුඩා ම සහ පහසුවෙන් අනතුරට ලක් කල හැකි කණ්ඩායම බව ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් එතුමිය නිරන්තරයෙන් කියා සිටියා ය. සිය ශක්තියෙන් හීනව, මියයන්නට පාරවල් අසල මහා පොළොවේ දමා ගොස් සිටි දුක්ඛිත දනන් තුළ දිලුණු දෙවියන් විසින් දෙන ලද ගරුත්වය හඳුනාගත් එතුමිය එම දුර්වල සන් ඉදිරියේ නැමුනා ය. ලෝකයේ බලවතුන් විසින් ජනිත කරන ලද දුප්පත්කම හඳුනා ගන්නයි ඉල්ලමින් ලෝක බලවතුන් ඉදිරියේ ඈ සිය හඬ නැගෙන්නට සලස්වුවා ය.  තෙරේසා  මව් තුමිය සිය සේවාවට රස එක්  කල "ලුණු" වූයේ දයා කරුනාවයි. එතුමියට, සිය දුප්පත්කම හා දුක් වේදනා නිසා හෙලන්නට කඳුලුවත් නොමැතිව සිටි දුප්පත්, අසරණ, දුක්ඛිත ජනයා ගේ අන්ධකාරය දුරලමින් දිදුළ 'ආලෝකය' වූයේ දයා කරුණාවයි" යයි එතුමා පෙන්වා දුනේ ය.

"නගරබදව පමණක් නොව ලෝකයේ අති දුෂ්කර ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වූ එතුමිය ගේ දූත සේවාව, අන්ත දුප්පතුන් වෙත දෙවියන් වහන්සේ ගේ ඇති සමීප බව පිලිබඳ ව්‍යක්ත සාක්ෂියකි. කාන්තා භාවයේ සහ කැපවුණු ජීවිතයේ සංකේතාත්මක ප්‍රතිරූපයක් බඳු වූ මෙම කාන්තාව , දයාවේ ස්වේච්ඡා සේවක සේවිකාවන් ගේ  සමස්ත ලෝකයට මම අද  පිරිනමමි. එතුමිය ඔබගේ ශුද්ධවන්ත භාවයේ ආදර්ශය වේවා! අපගේ සෑම කාර්යයකම නිර්ණායකය මිලක් නොමැති  ආදරය ය යන්න තේරුම් ගැනීමට, වෙහෙස නොබලා වැඩකළ මෙම සේවිකාවගේ දයාව ඔබට උපකාර කරත්වා! මම නිර්මිල වූ ආදරය, සෑම ආකාරයකම න්‍යාය, මතවාද සහ වගකීම් වලින් තොරවූ ද, භාෂාව, සංස්කෘතිකය, වාර්ගික වෙනස්කම් හෝ ආගම යන භේදවලින් මුක්තව සෑම පුද්ගලයකු වෙතම නොමිලයේ පිරිනමෙන්නා වූ ද ප්‍රේමයක් බව එතුමිය ඔබට පසක් කරත්වා! "යෝ සුදොතුම් පියතුමා තෙරේසා මව් තුමියගේ දයාව සොඳුරු මානව සිතුමකට නගමින් ප්‍රාර්ථනා කළේය.

" 'ඇතැම් විට මා ඔවුන් ගේ භාෂාව කතා නොකරනවා විය හැකියි. එහෙත් මට සිනා විය හැකියි' යයි කියන්නට තෙරේසා මව් තුමිය පුරුදුව සිටියාය.  එතුමිය ගේ මේ හසරැල්ල අපි අප සමග රැගෙන යමු. එසේ රැගෙන ගොස් , අපගේ ගමන් මග දිගේ හමුවන සෑම කෙනෙකුටම - විශේෂයෙන් ම දුක් වේදනා විඳින්නන්ට - එම සිනහව පිරිනමමු. මේ අන්දමට, අප අතර අධෛර්යයට පත්ව සිටින්නාවූත්, තේරුම් ගැනීම, මෘදුබව සහ කරුණාව බලාපොරොත්තුවෙන් සිටින්නාවූත් අපගේ සහෝදර සහෝදරියන් විශාල පිරිසකට ප්‍රීතියේ සහ බලාපොරොත්තුවේ අපේක්ෂා උදා කිරීමට අපට හැකියාව ලැබෙනු ඇතැ"යි සිය ධර්මදේශනය අවසන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තු පළකළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය