දයාවේ ශුද්ධ වසරේ විකසිත වූ ආදරයේ සුවඳ මල

Its Official: Mother Theresa is a saint


(2016 සැප්තැම්බර් 7)
කල්කටාවේ තෙරේසා මව් තුමිය නිල වශයෙන් කතෝලික සභාවේ සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දීය.

 කතෝලික සේ ම අකතෝලික දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ප්‍රාර්ථනා හා අපේක්ෂා මල්ඵල ගන්වමින්,  ඉකුත් සැප්තැම්බර් 4 වන ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති දිව්‍ය පූජාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් එතුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවාය. ලොව නන්  දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත  වන්දනා කරුවෝ පිරිසක් මෙම දිව්‍ය පූජාවට එක්ව සිටියහ.

"ශුද්ධවූ ත්‍රිත්වයේ ගෞරවය සඳහා ද , කතෝලික ඇදහිල්ලේ උද්දාමය උදෙසා ද, ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රවර්ධනය උදෙසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ ද, පේදුරු සහ පාවුළු යන ශුද්ධවූ අපෝස්තුලුවරුන් ගේ ද අපගේම ද අධිකාරී බලය මගින්, නිසි විචාරණය හා දේව උපකාරය පිණිස කරන ලද නිරන්තර යාච්ඥාවෙන් පසුව ද, අපගේ සහෝදර රදගුරු හිමිවරුන්ගේ උපදෙස්  ලබා ගැනීමෙන් ඉක්බිතිව ද, භාග්‍යවන්ත කල්කටාවේ තෙර්සා මව් තුමිය සාන්තුවරියක බව නියම කොට ප්‍රකාශයට පත් කරමු. එතුමිය සාන්තුවර ලේඛනයේ ලියා පදිංචි කරන අපි, එතුමියට එසේ ගෞරව කරන ලෙස සමස්ත සභාවට ම නියෝග කරමු. පියාණන් ගේ ද, පුත්‍රයාණන් ගේ ද ශුද්ධාත්මයානන් ගේ ද නාමයෙන් එය එසේම වේවා! " යි සාන්තුවරභාවයේ නියමය ප්‍රකාශයට පත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. 

දැන් එතුමිය ශාන්ත කල්කටාවේ තෙරේසා මුනිවරියයි.

එහෙත් එතුමිය තමන්ට ආදරය කරන ලෝක ජනතාව ගේ හදවත් තුළ ජීවත් වන්නේ "තෙරේසා මව්තුමිය" නොහොත් "තෙරේසා අම්මා" යන නාමයෙනි. මේ නිසා "එතුමිය හැමදාමත් අපගේ 'තෙරේසා අම්මා ම වනු ඇති" යි දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී ජනතාවගේ නෙතග කඳුලින් පුරවමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

ශු. කල්කටාවේ තෙරේසා මව් තුමිය ගේ (අපටත් ඇය නිරන්තරයෙන් ම දයාබර "තෙරේසා මව් තුමිය ම ය;) ශාන්තුවරභාවය ප්‍රකාශයට පත්වූයේ එතුමිය ගේ සේවාවට බොහෝ සමීප වකවානුවක ය. මේ "දයාවේ අති විශේෂ ජුබිලි වසර" ය. දෙවියන් වහන්සේ මානවයා වෙත ඇති ආදරය හා දයා කරුණාවට සැබෑ ප්‍රතිමුර්තියක් වූ මේ මාතාව, කල්කටාවේ වීදියක් වීදියක් ඔස්සේ ඇවිද යමින් කාත් කවුරුත් නොමැතිව එම වීදිවල වැටී මියයමින් සිටි මිනිසුන්, ගැහැණුන්, දරුවන් සියතින් වත්තම් කරගෙන, සිය නිවහනට ගෙනවිත්, ඔවුන් නාවා, පිරිසිදු කොට, දිය උගුරක්, තේ පැන් පොදක් පොවා, සැනසිලිදායක, කෙනෙකු ගේ ආදරය ලබන, ප්‍රීතිමත්  මරණයක් ලැබීමට  සැලැස්වූවා ය. එතුමිය ගේ සේවාව ආරම්භ වූයේ එසේ ය. මේ වන විට ගණිකාවන් හා හිංසාවට ලක් වූ කාන්තාවන්ට නිවාස, අනත්දරුවන හා දුප්පත් දරුවන් සඳහා නිවාස සහ AIDS රෝගීන් උදෙසා නිවහන් ඇතුළු විවිධ නිවහන් 500කට අධික නිවාස සංඛ්‍යාවක් ලොව පුරා ජනයාට සේවාවේ යෙදෙයි.  මේ ප්‍රේමය හා දයාව කෙතරම් උණුසුම් වුයේ ද යත්, ලෝකයේ ක්‍රිස්තු ධර්මයේ සුළං පොදක්වත් වැදී  නොමැති ප්‍රදේශ වලට ද දේව දයාව රැගෙන යාමට එතුමිය සමත් වූවාය . එතුමිය ගේ සේවාව තුළ මුළුමනින් ම ගැබ් වූයේ ආධ්‍යාත්මික හා ශාරීරික දයාවේ ක්‍රියා (පුණ්‍ය ක්‍රියා) ය. එබැවින් එතුමිය ගේ ශාන්තුවරය දයාවේ වසර තුළ යෙදීම මහත් සේ සංකේතාත්මක වන්නේ ය.

ශු. කල්කටාවේ තෙරේසා මව් තුමිය ගේ ශාන්තුවරභාවය යෙදී තිබුණේ කතෝලික ස්වෙච්ඡා සේවක සේවිකාවන් ගේ ජුබිලිය සැමැරෙන දින තුළ දී වීම තවත් විශේෂත්වයකි.

තෙරේසා මව් තුමිය ශාන්තුවරයට ඔසවන ලද්දේ එතුමිය වෙනුවෙන් ම යොදාගත් දිනෙක දී වීම තව ද විශේෂ දෙයකි.

දයාවේ ශුද්ධ වසරේ අමතක නොවන අසම සම දයාවේ සිහිවටනය ශාන්ත කල්කටාවේ තෙරේසා මව් තුමියයි.

දයාවේ ජුබිලි වසරට මහා කාරුණික දෙවි පියාණන් වහන්සේ තිලින කළ සුවඳ නොමැකෙන, කිසිදා මිලින නොවන සුවඳ කුසුම තෙරේසා මව් තුමියයි.

ඇය කළ සේවාව එලෙසින් ම කිරීමට වෙනත් මිනිස් පුතකු හෝ දුවකට හැකියාවක් නොමැති බව සත්‍යයකි. එහෙත් මහා කාරුණික දෙවියන් වහන්සේ සමග කෙනෙකුට "නොකලහැක්කක් නොමැතිය" යන්න ස්වර්ගයේ පිපුණ මේ අලුත්ම කුසුම අපට එල්ල කරන  අභියෝගයයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය