ළදරු රෝහලක සහ ගිලාන ශාලාවක නිවැසියන් වෙත ගලා ආ සුදොතුම් පිය සෙනෙහස

Holy Father's 'Mercy Friday' visit to Neonatal Hospital and the Hospice 


(2016 සැප්තැම්බර් 17)
සැප්තැම්බර් 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මේ මාසයේ "දයාවේ සිකුරාදා" විය.මෙම දයාවේ වසරේ  මාසයක එක සිකුරාදාවක් 'දයාවේ සිකුරාදා' ලෙස වෙන්කරන සුදොතුම් පියතුමා එදින කිසියම් ආධ්‍යාත්මික හෝ ශාරීරික දයාවේ ක්‍රියාවක නිරතවෙයි. මේ දිනයේ එතුමා බොහෝ විට කරන්නේ සමාජයෙන් බැහැර කරන ලද හෝ දුකට හෝ පීඩාවට පත් වූ ජනකොටස් බැහැදකින්නට යාමය.

සැප්තැම්බර 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගියේ රෝමයේ නවජ රෝහලක් (Neonatal Hospital: රෝගී තත්ත්ව සහිතව හෝ නියමිත කාලයට කලින් උපත ලැබූ ළදරුවන් සිටින රෝහලක්) සහ පිළිකා වැනි මාරාන්තික රෝග වලින් පීඩා විඳින රෝගීන් රැක බලා ගන්නා ගිලාන ශාලාවක් (Hospice) බැහැදකින්නට ය.

එතුමා මුලින් ම ගියේ ශාන්ත ජුවාම් රෝහලටයි. එතුමා එහි නවජ එක්කයේත් හදිසි සේවා වාට්ටුවේත් ප්‍රතිකාර ලබන  ළදරුවන් බැහැදුටුවේය. මෙම හදිසි සේවා ඒකකයේ ළදරුවෝ 12 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබති. ඒ අතරින් නිවුන් දරු දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකුගේ තත්වය බරපතල ය. ඔවුන් ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ ය. රෝගී ළදරුවන් ගේ ආරක්ෂාව සඳහා මෙම ඒකකවල සේවය කරන සුව සේවකයන් සේ ම සුදොතුම් පියතුමා ද ඊට ඇතුළු වූයේ සෞඛ්‍ය ආරක්‍ෂිත මුකවාඩම් සහ ඇඳුම් ඇඟලාගෙන ය.

රෝගී දරුවන් බහා තිබූ සෑම ඉන්කියුබේටරයක් වෙතම ගිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම දරුවන් සෑම කෙනෙකුට ම කතා කළේය. ඒ සමගම  එම දරුවන් ගේ දෙමාපියන් හා පවුලේ සාමාජිකයනට ආචාර කල එතුමා ඔවුනට සැනසිලිදායක වචනවලින් සංග්‍රහ කළේය.



ඉන් පසුව එතුමා ගියේ 'විලියා ස්පෙන්රන්සා' ගිලාන ශාලාවටයි. ජීවිතයේ අවසාන අවධියේ රෝගීහු 30 දෙනෙක් මෙහි රැක බලා ගැනෙති. ඔවුන් සෑම කෙනෙකු අසලම නතර වූ සුදොතුම් පියතුමා ඔවුන් සමගත් ඔවුන් ගේ පවුලේ අය සමගත් ආදරයෙන් කතා බස් කළේය. මෙය බොහෝ හැඟුම්බර අවස්ථාවක් වූ බව වතිකාන ප්‍රවෘත්ති කාර්යාලය කියයි.

"මෙම රෝහල් බැහැදැකීමෙන් ප්‍රැන්සිස් පාප්වහන්සේ බලාපොරොත්තු වූයේ උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ ගරුත්වය හා වැදගත්කම ගැන ප්‍රබල පණිවිඩයක් ලබා දීම" බව එම කාර්යාලය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

"මනුෂ්‍ය ජීවිතය පිළිගැනීම සහ  වර්ධනයේ සෑම අවධියක දී ම ජීවිතයේ ගරුත්වය සහතික කිරීම සුදොතුම් පියතුමන් නිරන්තරයෙන් අවධාරණය කරන පණිවිඩයකි. එතුමන් ගේ මෙම ද්විත්ව බැහැදැකීම් වලින් අවධාරණය කෙරෙන්නේ ජීවිතයේ බොහෝ දුර්වල හා අවදානම් සහගත තත්ත්ව වල සිටින්නන් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු වීමේ අවශ්‍යතාවයි" යැයි එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය