වතිකානය සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් ළඟදීම?

A Sino-Vatican Agreement soon?



(2016 සැප්තැම්බර් 15)
චීනයේ කතෝලික රදගුරු හිමිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශුද්ධාසනයත් චීනයත් අතර ඓතිහාසික සම්මුතියක් අත්සන් කිරීම අතළඟ බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

චීනයේ  කතෝලික සභාවේ එක්තරා අන්දමකට 'කොටස්' දෙකකට බෙදුණු බවක් දක්නට  ලැබේ. ඊට හේතුව  චීන ආණ්ඩුව කතෝලිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි. මෙයින් එක කණ්ඩායමක් හැඳින්වෙන්නේ "දේශප්‍රේමී කතෝලික සභාව' වශයෙනි. එය චීන ආණ්ඩුව විසින් පාලනය කෙරේ. එහි රදගුරුවරුන් පත් කරනු ලබන්නේ සාම්ප්‍රදායික ලෙස පාප්වහන්සේ ගේ අනුමැතිය මත නොව චීන ආණ්ඩුවේ තීරණ අනුවය. අනෙක් කණ්ඩායම සැබෑ කතෝලිකයන් ලෙස පිළිගනු ලබන "සැඟවුණු සභාවයි" (Underground Church). මෙම සභාව නිරන්තරයෙන් චීන ආණ්ඩුවේ හිංසා හා පීඩා වලට ලක්වෙයි. එහි රදගුරු හිමිවරුන් පත්කරනු ලබන්නේ ශුද්ධාසනය (වතිකානය) විසිනි. එහෙත් චීන ආණ්ඩුව මෙම රදගුරු හිමිවරුන් නොපිළිගන්නා අතර එම සභාව ද නිල සභාවක් ලෙස ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේ නැත.

මෙම අර්බුදය ඉතිහාසය පුරා පවතින්නකි. කෙසේ නමුදු, මෙම අර්බුදය විසඳාගෙන චීන කතෝලිකයනට සැනසිල්ල හා සාමය ගෙන එන්නට පාප්වහන්සේලා උත්සාහ කරමින් සිටියහ. ශු. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා මේ අතර කැපී පෙනෙන්නෙකි. චීනය සහ ශුද්ධාසනය අතර සම්බන්ධතාව යහපත් අතට ගෙන ඒම,  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ දූත සේවා අතර ද ප්‍රමුඛත්වයට පැමිණ ඇති  අරමුණකි. මේ අරමුණින් ඉකුත් වසර තුනපුරා පරෙස්සම් සහගත රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් දියත්කොට තිබිණි. මෙහි ප්‍රතිඵල අද හෙටම ලැබෙනු ඇති බව මෙම ආරංචි මාර්ග කියා සිටියි.

මේ අනුව චීනයේ රදගුරුවරුන් පත්කිරීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට චීනයත් ශුද්ධාසනයත් ළඟදීම අත්සන් තැබෙනු ඇතැයි ජේසු නිකායික 'ඇමෙරිකා' සඟරාව කියයි. ඊට අදාළ තොරතුරු කිහිපයක් ඉකුත් අගෝස්තු මාසයේ හෙළිදරව් විය.

හොංකොං හි රදගුරු අති උතුම් ජෝන් තොං කාදිනල් හිමිපාණන් අගෝස්තු මාසයේ පුවත්පත් ලිපියක් ලියමින් කියා සිටියේ "චීනයේ රදගුරු හිමිවරුන් පත්කිරීමේ ගැටලුව  සම්බන්ධයෙන් අන්‍යොන්‍ය වශයෙන් පිළිගත හැකි අවබෝධතාවකට එළඹීමට චීනය දැන් කැමැත්ත දක්වන" බවයි. මෙම ලිපිය  වහාම පුළුල් සංවාදයට ලක්විය.

කාදිනල් තොං හිමිපාණන් ගේ ලිපියෙන් ටික දිනකට පසුව ශුද්ධාසන- චීන ක්‍රියාකාරී කමිටුවේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වින. මෙම කමිටුවේ කාර්යභාර වී ඇත්තේ රදගුරු වරුන් පත්කිරීමේ සම්මුතියේ ඇති බොහෝ දුෂ්කර කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයට ම පිළිගත හැකි විසඳුම් වලට එළඹීමයි.

අත්සන් තැබීමට නියමිත ගිවිසුමේ කේන්ද්‍රීය ම  කරුණ වී ඇත්තේ රදගුරු හිමිවරුන් තෝරාගැනීම යි. රදගුරුවරුන් තේරීමේ අවසන් තීරකයා විය යුත්තේ කවුද? යන්න ගැටලුවට ලක්ව තිබේ. අවසන් තීරණය ගැනීමේ බලය ශුද්ධෝත්තම පියතුමා සතුව පැවතිය යුතු ය යන්න වතිකානය නිරන්තරයෙන් දැරූ ස්ථාවරයයි. එහෙත් චීනය පවසන්නේ තම ආණ්ඩුව අවසන් තීරකයා විය යුතු බවයි. දැනට චීනයේ සිටින රදගුරුවරුන් සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාකාරී කමිටුව සම්මුතියකට එළැඹිය යුතු ය. මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ පාප් වහන්සේ ගේ අනුමැතියකින් තොරව පත් කරනු ලැබ සිටින, සභා නීතියට අනුකුල නොවන රදගුරුතුමන් ලා අට දෙනා වතිකානය සමග සමගි සන්ධානයකට ගෙන ඒමට හැකිවේ ද යන්නයි. එසේම, සැඟවුණු සභාවේ රදගුරුවරුන් පිළිගැනීමට චීන ආණ්ඩුව කැමති ද යන්න තවත් ප්‍රශ්නයකි. වර්තමාන "චීන රදගුරු මණ්ඩලයේ" අනාගතය සම්බන්ධයෙන් ද විසඳා ගත යුතු කරුණු තිබේ. මන්ද දැනට නිල වශයෙන් රදගුරු මන්ඩලය යයි හඳුන්වන මෙම ව්‍යුහය තුළ සැඟවුණු සභාවේ රදගුරු හිමිවරුන් කිසිවකු නොමැති බැවිනි. එබැවින් රදගුරු මණ්ඩලයේ සංයුතිය ගැන ද එකඟත්වයකට පැමිණිය යුතුව තිබේ. රදගුරු පදවි සංඛ්‍යාව සහ චීනය ආණ්ඩුව විසින් සිරගතකොට සිටින රදගුරු හිමිවරුන් හා පූජකවරුන් වරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන ද තීරණ ගත යුතුව ඇත.

මේ අතර කාදිනල් තොං හිමිපාණන් ගේ ලිපියෙන් පසු මේ විෂයයට අදාළ ලිපියක් හොංකොං හි  "South China Morning Post"  පුවත් පතේ පළ වී තිබිණි. අගෝස්තු 19 පළවූ මෙම ලිපියේ මාතෘකාව වුයේ "චීන - වතිකාන සම්බන්ධතාවල උණුසුම් වීමක් සාදරයෙන් පිළිගනිමු" යන්නයි.

 "සාමාන්‍ය, යහපත් සම්මුතියකින් දෙපාර්ශවයට ම (චීනයට හා වතිකානයට) ප්‍රතිලාභ ලැබෙනු ඇත. සාමය, සරණාගත ප්‍රශ්න හා ආගමික සහජීවනය වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් වතිකානය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන වෙනත් රටවල් සමග සම්බන්ධ වීම චීනයට මෙයින් ලැබෙන ප්‍රයෝජනයකි. වඩාත් ඒකාග්‍රතාවට පත්වූ කතෝලික සභාවක් ලැබෙන නිසා  පුණ්‍ය සේවා, අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර වලින් වඩාත් සාර්ථක සේවාවක් චීන ජනතාවට ලබා දීමට හැකි වීමෙන් චීනයේ සිවිල් සමාජයට ද එයින් ප්‍රයෝයනයක් ලැබෙනු ඇත.  රාජ්‍ය අනුග්‍රහය ලබන සභාව  සහ ඊනියා සැඟවුණු  සභාව යන භේදය නොමැති වීම නිසා චීන කතෝලිකයන් ද ප්‍රතිලාභ ලබනු ඇතැ" යි ඒම  ලිපියේ සඳහන් වේ.

"South China Morning Post"පුවත් පත කරන ප්‍රකාශයක් වැදගත් වන්නේ කලින් ස්වාධීන පුවත්පතක් ලෙස තිබුණු එය මේ වන විට රජයේ පාලනයට නතු වී ඇති බැවිනි.

මේ අනුව මෙම අවබෝධතා ගිවිසුමට ළඟදීම අත්සන් තැබෙනු ඇතැයි සිතිය හැකි බව "ඇමෙරිකා" සඟරාව බලාපොරොත්තු පල කරයි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය