"දෙවියන් ගේ නාමයෙන් මිනිසුන් මරා දැමීම සාතන් ගේ ක්‍රියාවක්" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

 "To kill in the name of God is Satanic": Holy Father says 

බදාදා දිව්‍ය පූජාව පැවැත්වූ පුදසුන මත ගරු ජාක් හමෙල් පියතුමාගේ සේයාරුවක් ද තබා තිබිණි
(2016 සැප්තැම්බර් 14)
වර්තමානයේ  සෑම ආකාරයකින්ම  සිදුවන කිතුනුවනට හිංසා පීඩා සිදුකිරීම "සාතන් ගේ ක්‍රියාවක්" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. මේ වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශ වල කිතුනුවන් වදහිංසාවට ලක්කොට ඝාතනය කරනු ලබන්නේ, ඔවුන්ගේ ඇදහිල්ල (ආගම) අත්හැර දැමීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසාය. "මෙලෙස කෙනෙකුගේ ආගම, ඇදහිල්ල අත්හැර දැමීමට බල කිරීමේ කුරිරුකම හැඳින්විය හැක්කේ කෙසේ ද? එය වචනයකින් හැඳින්විය හැක්කේ 'සාතන් ගේ වැඩක්' ලෙසයි" යයි සුදොතුම් පියතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ වතිකානයේ සිය ගෙදර වන කාසා සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැත්වෙන දිනපතා උදාසන දිව්‍ය පුජාවේ දී ය. ශ්‍රී කුරුසියේ ජයග්‍රහණයේ මංගල්‍යය පැවැත්වෙන සැප්තැම්බර 4 වනදා මෙම දිව්‍ය පුජාව ඔප්පු කරන ලද්දේ ඉකුත් ජූලි මාසයේ 26 වනදා ප්‍රංශයේ රුවේන් පදවියේ කුඩා නාගරික දෙව්මදුරක  දී ඝාතනය කරන ලද ගරු ජාක් හමෙල් පියතුමන් අනුස්මරණය කිරීම සඳහා ය. හමෙල් පියතුමා දිව්‍ය පුජාව පවත්වමින් සිටිය දී එම දේවස්ථානයට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෝ දෙදෙනෙක් එතුමන් ගේ උගුරු දණ්ඩ කපා එතුමන් ජීවිතක්ෂයට පත් කළහ. තමන් ISIS ත්‍රස්තවාදීනට සහය දක්වන බව ඔවුහු ප්‍රකාශ කළහ.

"සභාවේ ආරම්භක සමයට වඩා වැඩි ප්‍රාණපරිත්‍යාගීන් සංඛ්‍යාවක් අද සභාව  තුළ සිටිනවා..." යි හමෙල් පියතුමා සහ ලෝකයේ විවධ ප්‍රදේශ වල ජේසු සමිඳුන් හා සිය ඇදහිල්ල වෙනුවෙන් දිවි පුදන සියල්ලන් මතක් කරමින් සුදොතුම් පියතුමා කීවේය. "අද ලෝකයේ විවිධ ප්‍රදේශවල කිතුවන් ඝාතනය කෙරනවා; ඔවුනට වදහිංසා කෙරෙනවා; සිරගත කෙරෙනවා; ඔවුන් ගේ උගුරු දණ්ඩ කපා දමනු ලබනවා: මන්ද, ඔවුන් ජේසු සමිඳාණන් ප්‍රතික්ෂේප නොකරන නිසා" යි එතුමා හැඟුම් බරව පැවසුවේය.

"ඇදහිල්ල සහ ජේසු සමිඳුන් ප්‍රතික්ෂේප කරන ලෙස පළමු කිතුනුවනට යෝජනා කරනු ලැබුවා. එනම්, 'සැබෑ දෙවියන් ඔබේ දෙවියන් නොව අපේ දෙවියන් කියන්නයි' ඔවුනට යෝජනා කෙරුනා. 'ඔබේ දෙවියනට නොව අපේ දෙවියනට හෝ දෙවිවරුනට යාග පූජා ඔප්පුකරන' ලෙස ඔවුනට යෝජනා  කෙරුනා. එදා කිතුනුවන් එය ප්‍රතික්ෂේප කල විට ඔවුන් මරා දමනු ලැබුවා. අද යලිත් සිදුවන්නේ එයමයි" යයි එතුමා පෙන්වා දුන්නේ ය. "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මනුෂ්‍යයන් ඝාතනය කිරීම සාතන් ගේ ක්‍රියාවක් බව සෑම ආගමක් ම කියනවා නම් කෙතරම් යහපත් ද?" යි එතුමා විමසා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජාක් හමෙල් පියතුමන් හැඳින්වූයේ "සභාවේ අලුත්ම ප්‍රාණපරිත්‍යාගීන් ගෙන් කෙනෙකු" ලෙසයි. "එතුමා ශ්‍රී කුරුසියේ සිටින ක්‍රිස්තුන් වහන්සේ සමග ස්වකීය ප්‍රාණපරිත්‍යාගවරය භාර ගත්තා. ක්‍රිස්තුන් වහන්සේ ප්‍රථම ප්‍රාණපරිතාගීවරයාණෝ යි. උන්වහන්සේ අපගේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ ගේ ජීවිතය පූජා කළා. සමස්ත ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගීවරයා ගලා එන්නේ උන්වහන්සේ ගේ මෙම ජීවිත පූජාව තුළිනුයි."

"හමෙල් පියතුමා සිය ජීවිතය පුද කලේ අප වෙනුවෙනුයි. එතුමා සිය ජීවිතය පුද කලේ ජේසු සමිඳුන් ප්‍රතික්ෂේප නොකරයි. ඒ වෙනුවට එතුමා ජීවිතය පුද කලේ ජේසු සමිඳුන් ගේ යාගය සමරමින් සිටියදීයි" සුදොතුම් පියතුමා විස්තර කළේය.

හමෙල් පියතුමා අපට නොබා ඉදිරියට යන්නට බලවත් ආදර්ශයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"එතුමා ස්වර්ගයේ සිට...එතුමාට අප වෙනුවෙන් යාච්ඥා කරන්න පුළුවන්.  නේද? එතුමා ප්‍රාණපරිත්‍යාගීවරයෙක්" එතුමා සිය අදහස පුනරුච්චාරණය කරමින් කීවේය. "අපට සහෝදරත්වය, මෘදු බව සහ සාමය දෙනමෙන් අපි එතුමනට යාච්ඥා කරමු. එපමණක් නොවේ. 'දෙවියන් ගේ නාමයෙන් මිනිසුන් මරා දැමීම සාතන් ගේ ක්‍රියාවක්' බව පවසන්නට අප දිරිමත් කරන ලෙස ද එතුමා ගෙන් ඉල්ලමු."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය