සොබා දහම රැක බලා ගැනීම කතෝලික පුණ්‍ය ක්‍රියා වලට එකතු කෙරේ

"Care for Creation is a work of Mercy": Holy Father



(2016 සැප්තැම්බර් 3)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනු ලෝකය යලිත් මවිත කරමින්, සොබා දහමට දයාව දැක්වීම කිතුනු දයාවේ ක්‍රියා වලට සම්බන්ධ කරයි.

කතෝලික ධර්මොපදේශයට අනුව ආධ්‍යාත්මික ඵල නොමදව ලැබෙන ආත්මික දයාවේ කියා (හෙවත් ආත්මික පුණ්‍ය ක්‍රියා) සතක් ද ශාරීරික දයාවේ ක්‍රියා (හෙවත් ශාරීරික පුණ්‍ය ක්‍රියා) සතක් ද තිබේ. දයාවේ ක්‍රියා හෙවත් පුණ්‍ය ක්‍රියා යනු සහෝදර දයාව ස්වකීය ජීවිතය තුළින් පෙන්වන ක්‍රියාකාරකම් වේ.

මෙම පුණ්‍ය ක්‍රියා අතරට අප ජීවත්වන අපගේ පොදු නිවහන වන මිහිතලය රැක බලා ගැනීම  හෙවත් පරිසරයට දයාව දැක්වීම ද ඇතුළත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් බ්‍රහස්පතින් දා ප්‍රකාශ කළේය. මේ අනුව පරිසරයට දයාව දැක්වීම ශාරීරික පුණ්‍ය ක්‍රියාවක් සේ ම ආත්මික පුණ්‍ය ක්‍රියාවක් ද වේ.

සුදොතුම් පියතුමා මෙම නව උපදේශය නිකුත් කලේ සැප්තැම්බර් පළමුවන බ්‍රහස්පතිදාට යෙදුනු "මැවිල්ල රැක බලා ගැනීම වෙනුවෙන් යාච්ඥා කිරීමේ දිනය" වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. සැප්තැම්බර 1 වනදා පරිසරය රැක බලා ගැනීම වෙනුවෙන් යාච්ඥා කිරීමේ දිනය ලෙස නම් කරන ලද්දේ ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මය. 2015 දී නිකුත් කරන ලද එතුමන් ගේ "වේ ප්‍රශංසා " විශ්ව ලේඛනය මගින් එතුමා මෙම දිනය ප්‍රකාශයට පත්  කෙළේය. මෙවර සැප්තැම්බර පළමුවන දින මේ නිමිත්තෙන් එතුමන්ගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී දිව්‍ය පූජාවක් පැවැත්විණ. ඊට අමතරව එතුමා විශේෂ පණිවිඩයක් ද නිකුත් කළේය. කතෝලිකයන් පිළිපැදිය යුතු අභිනව ආත්මික හා ශාරීරික පුණ්‍ය ක්‍රියා හඳුන්වා  දී ඇත්තේ මෙම පණිවිඩයේ ය.

"අප පුරුද්දක් ලෙස දයාවේ ක්‍රියා ගැන සිතන්නේ තනි තනිව සහ කිසියම් සුවිශේෂී මූලපිරීමකට  සාපේක්ෂව ය: රෝගීනට ආරෝග්‍යශාලා, කුසගින්නෙන් පෙලෙන්නනට ආහාර දන්සල්, නිවාස රහිත වුවනට වාසස්ථාන, අධ්‍යාපනය අවශ්‍ය වූ අයට පාසල්,  උපදේශන හා පව් සමාව අවශ්‍ය  අයට පාපොච්චාරණ අසුන සහ ආධ්‍යාත්මික උපදේශනය ඊට නිදසුන් කිහිපයකි" යි මේ සම්බන්ධයෙන් සිය පණිවිඩය නිකුත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

 "එහෙත්, සමස්තයක් ලෙස දයාවේ ක්‍රියා දෙස  බැලීමේ දී අපට පෙනී යන්නේ දයාවේ වස්තු විෂය වූ කලී මානව ජීවිතයත් එය  විසින් වැළඳ ගනු ලබන සියල්ලත් බවයි. මානව ජීවිතයටත් ඊට ඇතුළත් සියල්ලටත් මැවිල්ල හෙවත් සොබා දහම ද ඇතුළත් වන බැවින් සාම්ප්‍රදායික දයාවේ පුණ්‍ය ක්‍රියා වලට අනුපූරකයක් ලෙස මැවිල්ල රැක බලා ගැනීම දයාවේ මුල්‍ය ක්‍රියා වලට එකතු කරන බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි:

"එබැවින් අපගේ පොදු නිවස වන මිහිතලය රැක බලා ගැනීම ද දයාවේ ක්‍රියා (පුණ්‍ය ක්‍රියා) වලට ඇතුළත් වේවා!  මන්ද ආධ්‍යාත්මික දයාවේ ක්‍රියාවක් ලෙස ගත් කළ, මැවිල්ල රැක බලා ගැනීම දෙවියන් වහන්සේ ගේ ලෝකය පිළිබඳව කෘතවේදීව මෙනෙහි කිරීමට අපට ආරාධනා කරයි. මෙම මැවිල්ලේ එනම් සොබා දහමේ ඇති එක් එක් දෙය තුළ ගැබ්ව ඇත්තේ දෙවියන් වහන්සේ පට භාර දීමට අභිමත වන ඉගැන්වීමකි. ශාරීරික පුණ්‍ය ක්‍රියාවක් ලෙස ගත් කළ, ප්‍රචණ්ඩ ක්‍රියා හෝ හිංසාව, සූරාකෑම සහ ආත්මාර්ථයේ න්‍යායෙන් වෙන් වී වඩා යහපත් ලෝකයක් ගොඩනැගීමේ ක්‍රියාවල නිරන්තරයෙන් නිරත වීමට එය අප කැඳවාලයි."

කතෝලික ධර්මොපදේශයේ ඉගැන්වෙන සාම්ප්‍රදායික ශාරීරික දයාවේ ක්‍රියා ඔබට මතක ද? කුසගින්නෙන් පෙලෙන්නන්ට ආහාර දීම; පවසින් පෙලෙන්නන් ගේ පවස නිවීම, ඇඳුම් නොමැති අයට ඇඳුම් දීම; නිවාස නොමැත්තන්ට වාසස්ථාන දීම; සිරකරුවන් බලන්නට යාම; රෝගීන් බැහැ  දැකීම; මළවුන් වැළලීම ඒ අතර වේ.

ආත්මික දයාවේ ක්‍රියා වන්නේ නූගත් අයට ඉගැන්වීම; සක සංකා ඇත්තන්ට උපදේශනය, පව්කාරයනට සමාව දීම, වැරදි ඉවසීමෙන් දරා ගැනීම, තමන්ට කළ වැරැදි වලට සිතා මතා ම සමාව දීම, ශෝකී වූවන් සැනසීම සහ ජීවතුන් හා මළවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම යි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හඳුන්වා දෙන දේව මැවිල්ල රැක බලා ගැනීම මෙම ක්‍රියා ඛාණ්ඩ දෙකටම අලුතින් එක්වෙයි.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය