"ලෝකය 'ගිණි' තැබීමට ඔබ සූදානම් ද? නැතිනම් 'සීතල, උදාසීන' කිතුනුවෙක් ද?" සුදොතුම් පියතුමා විමසයි

"Are you a 'cold' christian? Or are you ready to set the world on 'Fire'", asks Pope Francis 


(2016 අගෝස්තු 15)
"බියෙන් පසුබසින 'සීතල හෝ උදාසීන කිතුනුවන්' සභාවට එපා!  සභාවට අවශ්‍ය වන්නේ ශුද්ධාත්මයානන් ගේ ගින්න තමන් තුළ  බුර බුරා නැගෙන, එම ගින්නෙන් ලොව ගිනි තැබීමට  එඩිතර වන කිතුනුවන් ය; එනම් තම ජීවිතය පරදුවට තැබීමට සිදුවූවත්, තමන් තුළ දැල්වෙන ශුද්ධාත්ම බලයෙන් සුබ අස්න ප්‍රකාශ කිරීමට කැපවන කිතුනුවන් ය.ජේසු සමිඳුන් ගේ සැනසිලිදායක වචනය සහ උන්වහන්සේ ගේ වරප්‍රසාදය සෑම කෙනෙකුටම රැගෙන යාමේ උද්යෝගයෙන් දැවෙන ධර්මදූතයන් සභාවට අවශ්‍යය."

 වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී සිරිත් පරිදි පැවැත්වෙන තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා ඊයේ,ඉරිදා (2016 අගෝස්තු 14) දහවල් රැස්ව වන්දනාකරුවන් හමුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිදුකල භාවනාවේ සාරාංශය එයයි.

මෙදින සුදොතුම් පියතුමන් ගේ තුන්කාල ආරාධනා භාවනාවට පාදනම් වුයේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. ශු.ලූක් තුමා  ගේ සුබ අස්නෙන් උපුටාගත් එම සුවිශේෂ ප්‍රකාශනයේ ජේසු සමිඳාණෝ අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරති. එනම්,"මම ලෝකය ගිණි තබනු පිණිස ආවෙමි" යන්නයි. ජේසු සමිඳුන් කී මෙම "ගින්නේ" අරුත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේය.

"මේ ගින්න ශුද්ධාත්මයාණන් ගේ ගින්නයි. සභාව මෙම ගින්න නොපිළිගන්නේ නම්, නොහොත් එම ගින්නට ඇතුළුවන්නට සභාව ඉඩ නොදෙන්නේ නම්, එය සීතල, උදාසීන සභාවක් බවට පත්වෙයි, එය සෑදී ඇත්තේ සීතල, උදාසීන සාමාජිකයන්ගෙන් බැවින්, එවැනි සභාවකට ජීවිතය දානය කල නොහැකියැ"යි එතුමා කියා සිටියේ ය.

"ජේසු සමිඳුන් කතා කරන මෙම ගින්න බෞතීස්ම ස්නාපනයේ සිට අප සමග ජීවත්වන අප සමග ක්‍රියා කරන ශුද්ධාත්මයාණෝ යි. මෙම ගින්න සෑම මනුෂ්‍ය දුක්ඛිතකමක් ම, අහංකාරයක්  හා මමංකාරයක් ම, සෑම මිනිස් පාපයක් ම දවාලන අතර සියල්ල පරිශුද්ධ කොට නවතාවයට පත්කරන උත්පාදන ශක්තිය යි. එය ඇතුළාන්තයෙන් අප පරිවර්තනය කොට, ප්‍රකෘතිමත් කොට, ප්‍රේම කිරීමේ හැකියාව අපට ලබා දෙයි. "

"ශුද්ධාත්මයාණන් අපගේ හදවත් තුළ ගින්නක් සේ දැල්වීමට ජේසු සමිඳුනට අවශ්‍ය වී තිබේ. මන්ද, දිව්‍ය ප්‍රේමයේ ගින්නෙන් ශක්තිම වී දේව රාජ්‍යය පතළ කළ හැක්කේ හදවතින් වන නිසා ය. අප අපව මුළුමනින් ම ශුද්ධාත්මයාණන්ට විවෘත කිරීම මගින් සෑම කෙනෙකුට ම ජේසු සමිඳාණන්වත්, උන්වහන්සේ ගේ දයා කරුණාවේ හා ගැලවීමේ  සැනසිලිදායක පණිවිඩයත් ප්‍රකාශකිරීමට අවශ්‍ය දිරියත් බලයත් උද්‍යෝගයත් අපට ලැබේ" යැයි සුදොතුම් පියතුමා විස්තර කළේය.

"ශුද්ධාත්මයාණන් වහන්සේ  බියෙන් පසු බැසීමෙන් සහ ගණන් බැලීම් වලින් ද තමාගේ සුව පහසු ආරක්ෂා සහිත සීමා තුළ රැඳී සිටීම් වලින් ද   සභාව  මුදා ගන්නා සේක. උන්වහන්සේ ගින්නක් සේ අප තුළ දල්වන අපෝස්තලික ධෛර්යය, පවුරු සහ බාධක බිඳ දමා නිර්මාණශීලි වීමට අපට උපකාර කරයි. ශුද්ධාත්මයාණන් විසින් නිරන්තරයෙන්  රූපාන්තරණය කොට මග පෙන්වනු ලබන පුද්ගලයන් ගේ සමාජයක් වීමට අපි කැඳවනු ලැබ සිටිමු"

ලොව පුරා සෑම දෙසක ම සිටින විශිෂ්ට ප්‍රේමයෙන් හා ලැදියාවෙන්, ඇතැම් විට සිය ජීවිතය පරදුවට තබා හෝ, සුබ අස්න  පතළ කිරීමට කැප වූ  පූජකවරුන්, කැපවුන ජීවිත ගත කරන කාන්තාවන් හා පිරිමින් සහ ගිහි විශ්වාසකයන් සුදොතුම් පියතුමා මෙහි දී දයාවෙන් සහිපත් කළේය. මේ යුගය වෙන  කවරදාකටත් වඩා එවැන්නන් රැසක් අවශ්‍ය යුගයක් බව එතුමා කීවේය.

"ඔවුන් ගේ ආදර්ශවත් සාක්ෂ්‍යය අපට සිහිපත් කරන්නේ සභාවට අවශ්‍ය වන්නේ නිලධාරිවාදීන් හෝ සුපරීක්ෂාකාරී නිලධාරීන් හෝ නොව තමන් තුළ දැල්වෙන ශුද්ධාත්ම බලයෙන් සුබ අස්න ප්‍රකාශ කිරීමට කැපවන කිතුනුවන් ය යන්නයි" එතුමා අවධාරණය කළේය.

"මිනිත්තුවක් නිහඬ වී ඔබ 'සීතල, උදාසීන' කිතුවෙක්ද? ශුද්ධාත්ම ගින්න ඔබ තුළ දල්වෙනවාදැයි සිතා බලන්න" යයි සුදොතුම් පියතුමා ඇරයුම් කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය