සුදොතුම් පියතුමා සිරියානු සරණාගතයන් සමග දිවා කෑම ගනියි

Holy Father invites 21 Syrian refugees to lunch



(2016 අගෝස්තු 12)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ (ජූලි 11 බ්‍රහස්පතින්දා) විශේෂ අමුත්තන් කණ්ඩායමකට තමන් සමග දිවා කෑමට ආරාධනා කළේය. එතුමන් සමග දිවා ආහාරයට පැමිණි මෙම කණ්ඩායම සිරියානු සරණාගතයන් පිරිසකි. ළමයින් හා වැඩිහිටියන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට 21 දෙනෙක් ඇතුලත් වූහ.

දිවා භෝජන සංග්‍රහය පැවැත්වුනේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ගෙදර වන වතිකානයේ "කාසා සාන්තා මාර්තා" තානායමේ ය. කෑමට අමතරව  සුදොතුම් පියතුමා මෙහිදී ළමුන් සමග තෑගී ද හුවමාරු කර ගත්තේය.

මෙම දිවා භෝජනයට සහභාගී වුයේ ඉකුත් අප්‍රේල් මාසයේ සුදොතුම් පියතුමන් ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනට ගිය අවස්ථාවේ, එහි සිට එතුමාගේ ම ගුවන් යානයෙන් වතිකානයට කැටුව  එන ලද සිරියානු සරණාගත පිරිසයි. තවත් සිරියානු සරණාගත කණ්ඩායමක් ජුනි මාසයේ මැද වතිකානයට පැමිණියහ.

"දිවා ආහාරය අවස්ථාවේ  ඉතාලියේ සිය ජීවිතය ආරම්භ කිරීම පිළිබඳව ශුද්ධෝත්තම පියතුමන් සමග දීර්ඝ වශයෙන් කතා කිරීමට මෙම වැඩිහිටියන්ටත් ළමයිනටත් අවස්ථාව ලැබුන" බව මේ සම්බන්ධයෙන් වතිකානය නිකුත් කල නිවේදනය ප්‍රකාශ කරයි.

සුදොතුම් පියතුමා ඊට සහභාගී වූ ළමයිනට සෙල්ලම් බඩු සහ තෑගි පිරිනැමුවේ ය. ළමයින් සුදොතුම් පියතුමාට තිලින කලේ තමන් විසින් අඳින ලද චිත්‍රයි. ඔවුහු සුදොතුම් පියතුමා වටා රොක් වී එම චිත්‍ර එතුමාට පෙන්වමින් ඒවා විස්තර කළහ. පුංචි මුණුබුරන් කැලක් සිය සීයා වටා එක්ව සතුටින්, සැහැල්ලුවෙන් හා කෙළිදෙලෙන් ගත කරන අවස්ථාවක් "සාන්තා මාර්තා" ගෙදර එදා දක්නට ලැබිණ. (ජේසු ගේ කාලයේත් ලාසරස් ගේ සහෝදරියන් වූ මාර්තා හා මරියා ගේ ගෙදර මේ අයුරින් ම උණුසුම් ආගන්තුක සත්කාරයට විවර ව තිබුනේ ය. මාර්තා ලහි ලහියේ කෑම පිසින අතර මරියා ජේසුට සමන් දෙමින් සිටියේ එවැනි අවස්තාවක ය.)

සුදොතුම් පියතුමා සමග අප්‍රේල් මාසයේ 12 වනදා ලෙස්බොස් සිට වතිකානයට පැමිණි පවුල් තුනට අයත් සරණාගතයන් සියල්ලෝම මුසොල්මානයෝ වූහ. ළමයි 6 දෙනෙක් ද ඊට අයත් වූහ. මේ අතරින්  පවුල් දෙකක් ඩමස්කස් සිට පාලා ආ අයයි. එක් පවුලක් ජීවත්ව සිටියේ මේ වන විට අයිසිස් ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ පවනා දෙයිර් අස්සොර් ප්‍රදේශයේයි. ජනතාව පළා ගිය පසු ත්‍රස්තවාදීහු එම නිවෙස් පුපුරුවා විනාශ කළහ.

සුදොතුම් පියතුමා විසින් සංවිධාන කරන ලද දෙවැනි සරණාගත කණ්ඩායම වතිකානයට පැමිණියේ ජුනි මාසයේ ය. මේ කණ්ඩායමට කිතුනුවෝ දෙදෙනෙක් ඇතුළත් වූහ.

මේ සියලු දෙනා රෝමයේ සනත්'එගිදියෝ ගමේ ජනතාව විසින් රකබලාගනු ලැබේ.

සරණාගත පවුල් සමග දිවා ආහාරය සඳහා වතිකානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අති උතුම් ඇන්ජෙලෝ බෙචියු අගරදගුරු හිපිපානෝ ද ලෙස්බෝස්හි සිට ඔවුන් වතිකානයට කැටුව එම සම්බන්ධීකරණය කළ නිලධාරීහු කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතාවට වඩා සිය ජීවිතයත් සංඥාත් මගින් කතා කරන කෙනෙකි. මෙම දිවා භෝජන සංග්‍රහයේ ද එවැනි සංඥාවක් තිබේ.

සිරියානු සරණාගතයන් පිළිගැනීම බොහෝ බටහිර රටවල් තාමත් ප්‍රතික්ෂේප කරමින් සිටියි. මුළුමනින් ම කතෝලික රටක් ද යුරෝපා සංගමයේ සාමාජිකයකු ද වන පෝලන්තය ඒ අතර එක රටකි. එපමණක් නොවේ. මෙම සරණාගතයන් ගේ සිද්ධිය අමතක කලත් වෙනත් වාර්ගික, ආගමික කණ්ඩායම් ගැන සෑම මනුෂ්‍යයකුම තුළ පවතින්නේ සැකයකි. මේ නිසා එකම රටක් තුළ සිටින වාර්ගික, ආගමික කණ්ඩායම් අතරද උණුසුම් පිළිගැනීමක් නොමැත. අප වටා ඉදිකරගෙන ඇති වාර්ගික හා ආගමික තාප්ප මීට හේතුවයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය