"ඉස්ලාම් ධර්මය ත්‍රස්තවාදී යයි කීම වැරැදියි", සුදොතුම් පියතුමා කියයි; "ත්‍රස්තවාදයේ මුල මුදල දේවත්වයට පත් කිරීමයි"

"It is not right to equate Islam with violence", says Pope Francis 



(2016 අගෝස්තු 1)
ඉස්ලාම්  ධර්මය ප්‍රචණ්ඩකාරීත්වය සමග අනන්‍ය කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. ISIS සංවිධානය ('ඉස්ලාම් රාජ්‍ය' හෙවත් 'අයිසිස්' ) කරන ක්‍රියා ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ කල නොහැකි බව එතුමා කියයි. එතුමා කියා සිටින්නේ අයිසිස් සංවිධානය එම ආගමේ මුලධර්මවාදී කොටසක් බවයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෝලන්තයේ ක්රැකෝ නුවර සිට රෝමය බලා ආපසු එන අතර ගුවනේ පැවැති මාධ්‍ය හමුවක දිය.

"ඉස්ලාම් ධර්මය ප්‍රචණ්ඩක්‍රියාවලට සමාන කිරීම නිවැරදිය කියා මා හිතන්නේ නැහැ. එසේ කිරීම නිවැරදි නැහැ. එය සත්‍ය නොවේ" යි එතුමා කීවේය. "ඉස්ලාම්  ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරන්නට මම කැමති නැහැ. මන්ද සෑම දිනකම පුවත් පත් කියවන විට මා දකිනවා බෞතීස්මය ලබා ඇති කතෝලිකයන් විසින් පවා සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන. ප්‍රචණ්ඩකාරී කතෝලිකයනුත් සිටිනවා. මේ නිසා මම ඉස්ලාමීය ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා නම්, කතෝලික ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් මම කතා කළ යුතුයි" යයි එතුමා සඳහන් කළේය.

කතෝලික ආගම ඇතුළුව සෑම ආගමක ම මූලධර්මවාදී කොටස් සිටින බව සුදොතුම් පියතුමා කියා සිටියේය.එවැනි මූලධර්ම වාදයක් පවතින විට ඊට "දිවෙන් ද ඝාතනය කළ හැකි" යැයි ශු. ජේම්ස් තුමා උපුටා දක්වමින් එතුමා සඳහන් කළේය.

රෝමය බලා එන සිය ගුවන් යානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ප්‍රවෘත්තිකලාවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පෝලන්තයේ පැවැත්වුණු ජගත් යොවුන් දිනට ආසන්නයේ ප්‍රංශයේ දේවස්ථානයකට කඩා වැදුණු ත්‍රස්තවාදීන් දෙදෙනකු විසින් එම අවස්ථාවේ දිව්‍ය පූජාව පවත්වමින් සිටි පියතුමකු ඝාතනය කිරීම ගැන එක් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ගරු යාක් හමෙල් නමැති 89 හැවිරිදි මෙම පියතුමන් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දේ උගුරු දණ්ඩ කැපීමෙනි. අයිසිස් සංවිධානය විසින් එම ඝාතනයේ වගකීම භාරගෙන තිබිණි. එය සිදුකල 19 හැවිරිදි තරුණයන් දෙදෙනා ප්‍රංශ විමර්ශන අංශ වලද විමර්ශනයට ලක් වී සිටි දෙදෙනෙකි. සුදොතුම් පියතුමා  එම ත්‍රස්තවාදී ක්‍රියාව දැඩි ලෙස හෙලා දැක්කේ ය. එහෙත්  "ඉස්ලාමීය සටන්කාමීන් විසින් සිදුකෙරන මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා ගැන කතා කරන විට සුදොතුම් පියතුමා එය 'ඉස්ලාමීය ත්‍රස්තවාදය ' ලෙස හඳුන්වන්නේ නැත්තේ මන්ද?" යන්න එම ප්‍රවෘත්ති කලාවේදියා එතුමාගෙන් විමසූ ප්‍රශ්නයයි. සුදොතුම් පියතුමා මෙසේ පිළිතුරු දුන්නේ එම ප්‍රශ්නයටයි.

ඉස්ලාම් දහමේ ප්‍රධාන ඉගැන්වීම් කේන්ද්‍රයක් වන ඊජිප්තුවේ අල්-අෂර් විශ්ව විද්‍යාලයේ අග්‍ර ඉමාම් තුමා සමග තමන් දීර්ඝ සංවාදයක යෙදුනු බව සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය. මේ නිසා ඉස්ලාම් දහම සහ එම බැතිමතුන් ගැන තමාට හොඳ අවබෝධයක් ඇතැයි එතුමා සඳහන් කළේය. "ඔවුනට අවශ්‍ය වන්නේ සාමය යි; මුණගැසීමයි" එතුමා පෙන්වා දුන්නේය. ඉකුත් නොවැම්බර මාසයේ තමන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කල අපෝස්තලික සංචාරයේ දී එරට මුසොල්මානයන් තමාට සමීප වූ අන්දම එතුමා සිහිපත් කළේය. එම නගරයේ  ඉමාම් තුමා වරක් තමා සමග "පෝප්මොබයිල්" රථයේ එකට ගමන් කළ අන්දම ද එතුමා සිහිපත් කළේය. එක්තරා අප්‍රිකානු රටක මෙම ජුබිලි වසර සඳහා විවෘත වූ ශුද්ධ දොරටුවෙන් ඇතුළුවීමට එරට මුස්ලිම් ජනතාව ද බොහෝ උනන්දුවක් දක්වන බව එරට සිටින වතිකාන තානාපතිවරයා තමාට ප්‍රකාශ කල බව ද එතුමා සඳහන් කළේය. (එම රට කුමක්දැයි එතුමා සඳහන් කලේ නැත.)

මුලධර්මවාදී කණ්ඩායම් පවතින බව පිළිගත යුතු සත්‍යයක් යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. ඒවා වර්ධනය වීම හේතු පවතින බව එතුමා කීවේය.

"පරමාදර්ශ නොමැති වීම සහ රැකියා නොමැති වීම නිසා මත්පැන් සහ මත්ද්‍රවය වලට හුරු වන තරුණයන් යුරෝපය ද ඇතුළු බොහෝ රටවල සිටිනවා. ඔවුන් ඇතැම් විට මේ ගමන අවසන් කරන්නේ මූලධර්මවාදී සංවිධාන වලට බැඳීමෙන්. කෙනෙකුට ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ගැන කතා කරන්න පුළුවන්. එහෙත් ඔවුන් තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව ප්‍රදර්ශනය කරන කණ්ඩායමක්  පමණයි.ඔවුන් ගේ 'හැඳුනුම් පත' මිනිසුන් ගේ ගෙල කපා ඝාතනය කිරීමයි. කෙසේවෙතත් 'අයිසිස්' යනු කුඩා මූලධර්මවාදී කණ්ඩායමක්. එහෙත් ඉස්ලාම් ධර්මය ත්‍රස්තවාදියි කියා කීම නිවැරැදි හෝ සත්‍ය යැයි මා විශ්වාස කරන්නේ නැහැ."

මේ අතර නූතන ලෝකයේ විවිධ ත්‍රස්තවාදයන් පවතින බව ද එතුමා පෙන්වා දුන්නේය:

"ත්‍රස්තවාදය සෑම තැනකම තිබෙනවා: ඇතැම් අප්‍රිකානු රටවල ගෝත්‍රික ත්‍රස්තවාදය දැකිය හැකියි. ත්‍රස්තවාදය වර්ධනය වන්නේ තෝරාගැනීමට වෙනත් මාර්ගයක් නොමැති වූ විටයි. ඒ වගේ ම ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රය මානව පුද්ගලයා නොව 'සල්ලි නමැති දේවතාවා' වූ විට ත්‍රස්තවාදය ඇති වෙනවා. මැවිල්ලේ ආශ්චර්යය - එනම් මිනිසා සහ ගැහැණිය - ලෝකය විසින් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට මුදල දෙවියන් කර තිබෙනවා. මෙයයි ත්‍රස්තවාදය" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය