සුදොතුම් පියතුමාගෙන් යොවුන් පරපුරට මේ වසරේ පිදෙන තිළිණය: සමාජ දර්ශනය පිලිබඳ "ඇප්" එකක්

Holy Father's gift to world's youth at WYD: An 'App' on the Social Doctrine 



(2016 ජූලි 12)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "තාක්ෂණ-ලෝලී" පාප්වහන්සේ නමක් ලෙස මේ වන විටත් ජනාදරයට පාත්‍රව සිටියි. ඉන්ස්ටග්රෑමයට පිවිසුණු මුල්ම පාප්තුමා වූ එතුමා දැන් Google Hangouts වල ද සැරිසරයි.

තරුණයන්ට තරුණ බසින් ඇමතීමට ද රුසියකු වන එතුමා දැන් මේ ලක්ෂණ දෙක ඒකාබද්ධ කොට ජගත් යොවුන් දිනය සඳහා පෝලන්තයේ ක්රැකෝ නුවරට එන යෞවනයන්ට "ටෙක් තිළිණයක්" දීමට සැරසෙයි. එම තිළිණය නම් කතෝලික සමාජ දර්ශනය ඇතුළත් "ඇප්" එකකි.

මෙම යෙදවුම ("App" එක) නිෂ්පාදනය කර ඇත්තේ 2011 දී "යූකැට්" (“YouCat”) නමැති යොවුන් ධර්මෝපදේශ යෙදවුම නිපැදවූ ආයතනයම වේ. නව යෙදවුම නම් කර ඇත්තේ "ඩූකැට්" (DoCat) යනුවෙනි. සභාවේ සමාජ ධර්මය තරුණයනට වඩා ආකර්ශනය වන අන්දමින් හා අවබෝධ වන අයුරින් මෙම යෙදවුමට එක් කර ඇතැයි එහි නිෂ්පාදක YouCat පදනමේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිස්ටියන් ලර්මර් පවසයි. ක්රැකෝ නුවර පැවැත්වෙන ජගත් යොවුන් දින උත්සවයේ දී එළිදක්වනු ලබන එය සුදොතුම් පියතුමන් විසින් තරුණයනට පිදීමට නියමිතයි. කතෝලික සමාජ දර්ශනය එතරම් රසවත් කියවීමක් නොවේ. මේ නිසා මෙම යෙදවුමේ ඇති විශේෂත්වය නම් තරුණයනට වඩාත් ආකර්ශනීයව එය තේරුම් ගැනීමටත් ක්‍රියාවට නැංවීමටත් පහසු වන අන්දමින් එම ඉගැන්වීම ඉදිරිපත් කර තිබීමයි.

මෙම ඉලෙක්ට්‍රොනික කෘතියේ පෙරවදන ලියා ඇත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාම විසිනි. කතෝලික සභාවේ අන්තර්ජාතික යොවුන් රැළිය වන ජගත් යොවුන් දිනය මෙවර පැවැත්වෙන්නේ, එම රැළියේ නිර්මාතෘ ශු. දෙවන ජුවාම්  පාවුළු පාප්වහන්සේ ගේ උපන් ගම වන පෝලන්තයේ ක්රැකෝ නුවර දී, ජූලි 26 සිට 31 දක්වායි. ඊට දින තුනකට පෙර, එනම්,ජූලි 23 වනදා ක්රැකෝ නුවර දී යෙදවුම දොරට වඩියි.

එහෙත් මෙම ඊ-පොත එළිදැක්වීම සඳහා සාම්ප්‍රදායික  ප්‍රවෘත්ති සාකච්ඡාවක්  වෙනුවට,  තරුණ තරුණියන් ක්‍රියාශීලීව සහභාගී  කරගත හැකි "අන්තර් ක්‍රියාකාරිත්ව" අංගයක් "යූකැට්" පදනම විසින් සැලැසුම් කර තිබේ. මේ අනුව තරුණ තරුණියක් 200 දෙනකු විසින් "DoCat" කෘතිය අධ්‍යනයන කර කතෝලික සමාජ දර්ශනය පිලිබඳ සාකච්ඡා මෙහෙයවීමට නියමිතයි. ඉන් අනතුරුව යොවුන් දිනයට එක්වන රදගුරු හිමිවරුන්  හා වෙනත් දේශකයන් විසින් "සමාජ දර්ශනය සුබ අස්නේ ඵලයක් ලෙස පෙන්වා දෙමින් යෞවනයන් ගේ සිත් ගිණි දල්වනු" ඇතැයි පදනමේ සභාපති බර්න්හාර්ඩ් මර්සර් මහතා කීවේය. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ වියානාවේ අගරදගුරු ක්‍රිස්‌ටෝෆ් ස්කොන්බෝන් කාදිනල් හිමිපාණන් විසිනි.

2013 ජගත් යොවුන් දිනය සඳහා බ්‍රසීලයේ කොපකබානා වෙරළට රොක්වූ ලෝකයේ තාරුණ්‍යය 


DoCat යෙදවුම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ පෙරවදන ඉතා ප්‍රබල පණිවිඩයක් ගෙන එන බව ද සභාපතිවරයා CNA ප්‍රවෘත්ති සේවාව සමග පැවැති සම්ම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එයින් ප්‍රදර්ශනය වන්නේ "නව පරපුර සම්බන්ධයෙන් එතුමාගේ සිහිනය" යැයි ඔහු සඳහන් කලේ ය.  "සභාවේ සමාජ දර්ශනය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන තරුණ තරුණියන් පරපුරක් සිටින සමයක සුදොතුම් පියතුමාගේ සිහිනය වන්නේ යුක්තිය සහ සාමය ගැනත්, සුබ අස්න සහ දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ගැනත්, දේව දය කරුණාව ගැනත් හොඳින් දන්නා තරුණ පිරිසක් සිටීම" යැයි ඔහු පෙන්වා දුන්නේ ය.

යෙදවුම එක්වරම භාෂා රැසකින් බාගත හැකිය. ඉංග්‍රීසි, ක්‍රොඒසියානු, ස්පාඥ්ඥ, ඉතාලි, පෘතුගීසි, ප්‍රංශ, පෝලන්ත, ස්ලොවැක්, චෙක් සහ ජර්මන් ඒ අතර වේ.

එම යෙදැවුම බාගෙන, කතෝලික සමාජ ඉගැන්වීම ගැන කියවා දැනුම්වත් වී එය එදිනෙදා ජීවිතයේ ක්‍රියාවට නංවන්නැයි සුදොතුම් පියතුමා ලොවපුරා තරුණ පරපුරට ආරාධනා කරයි.

දයාවේ වසර තුළ පැවැත්වෙන මෙවර ජගත් යොවුන් දිනය "දයාවේ යොවුන් ජුබිලිය" යන විරුදය ද ලබා තිබේ. කතෝලික සමාජ දර්ශනයෙන් ඉගැන්වෙන්නේ ක්‍රිස්තියානි දයාව ප්‍රායෝගිකව ජීවත්වන ආකාරයයි. එබැවින් මෙම යෙදැවුම "දයාවේ යොවුන් ජුබිලියේ දී" එළිදැක්වීම ද මහත් වැදගත්කමක් ගනියි. දයාව, සමාජ දර්ශනය හා බැඳී ආකාරය අවධාරණය  වීම මගින් මේ වන විට "සභාව සඟවාගෙන සිටින නිධානය" ලෙස හඳුන්වන  මෙම අනගි ඉගැන්වීම ලොව පුරා නිර්භයව ක්‍රියාත්මක කිරීමට යොවුන් පරපුරට ශක්තියත්, ධෛර්යයත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"DoCat යෙදවුම සමාජ දර්ශනය ගැන ඉගෙන ගැනීමට උත්ප්‍රේරකයක් හා දිරිගැන්වීමක් වනු ඇතැයි" මර්සර් මහතා බලාපොරොත්තු පල කලේ ය. "අපි දැන් ජීවත් වන්නේ ශ්‍රේෂ්ඨ දර්ශන දෙකක නෂ්ටාවශේෂ මැදයි. එනම් ධනවාදය හා කොමියුනිස්ට් වාදයයි. මේ දෙකම ලෝකය විනාශ කළා. දැන් අප ලෝකය වෙනස් කල යුතුයි" ඔහු පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය