" දුප්පත් ඔබ සභාවේ වස්තුවයි. ඔබට විශේෂ ධර්ම දූත කාර්යයක් තිබෙනවා." සුදොතුම් පියතුමාගෙන් දුප්පතුනට පණිවිඩයක්

Pope Francis tells the poor: "You are the treasurer of the Church."


(2016 ජූලි 6)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ බදාදා වතිකනයේ දී දුප්පත් හා ආබාධිත පුද්ගලයන් ගේ වන්දනාකරුවන් කණ්ඩායමක් හමුවූහ. ඔවුනට සුබාරංචියක් දුන් උන්වහන්සේ ඔවුන් නියෝජනය කල ලොව පුරා දුප්පත් හා ආබාධිත ජනතාවට වැදගත් ධර්ම දූත මෙහෙවරක් පැවරූහ. "දුප්පත් ඔබ, සභාවේ වස්තුවයි" එය සුදොතුම් පියතුමා ඔවුන්ට දුන් සුබ ආරංචිය යි. ඔවුනට ඉටුකිරීමට දුන් විශේෂ මෙහෙවර? "ලොව පුරා සිටින අහංකාර, කෑදර,මසුරු, කුහක මිනිසුන් වෙනුවෙන් ඔබ සෑම දිනෙකම දෙවිඳුන් යදින්න" යන්නයි.

පාප් වහන්සේ මුණගැසෙන්නට මෙම දුප්පතුන්, රෝගීන් හා ආබාධිතයන් ගේ වන්දනා නඩය පැමිණ සිටියේ ප්‍රංශයේ ලියොන් අගරදගුරු පදවියේ සිටය. ඊට වන්දනාකරුවෝ   200 දෙනෙක් පමණ ඇතුලත් වුහ.ඔවුන් පැමිණ සිටියේ ලියෝන් පදවියේ අගරදගුරු ෆෙලිපේ බාබරෑන් කාදිනල් හිමිපාණන් ගේ නායකත්වයෙනි.

"සභාවේ වස්තුව දුප්පත් ඔබයි" ඔවුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. මෙම විශේෂ තත්වය නිසා ම ඔවුනට විශේෂ ධර්ම දූත මෙහෙවරක් පැවරී ඇති බව එතුමා කියාසිටියේ ය."එම ධර්ම දූත මෙහෙවර ඉටුකළ හැක්කේ ඔබට පමණයි; ඔබගේ දුප්පත්කම තුළ ඔබට පමණයි" යැයි එතුමා අවධාරණය කළේය.

ජේසු සමිඳුන් සිය පියාණන් ගේ පණිවිඩය නොපිළිගන්නා පුද්ගලයන්ට ඇතැම් විට ඉතා බරපතල හා තදපරුෂ ලෙස දෝෂාරෝපණය කල අන්දම සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

"ජේසු සමිඳුන් බොහෝ විට කතා කලේ  සුන්දර වචනයයි. 'දුප්පත් ඔබ භාග්‍යවන්තය; කුසගින්නෙන් සිටින ඔබ, වැලපෙන ඔබ, මා නිසා වෛරයට, වදහිංසා වලට ලක්වන ඔබ භාග්‍යවන්ත 'යැයි උන්වහන්සේ පැවසුවා. එහෙත් වරක් උන්වහන්සේ බය හිතෙන වචනයකුත් භාවිත කළා. ඒ 'ඔබට වන විපතක , ඛේදයක මහත' යන වචනයයි. උන්වහන්සේ මේ වචනය යොදා ගත්තා 'ධනවතුනට, බුද්ධිමතුනට, දැන් සිනාසෙන පුද්ගලයන්ට, තමන්ට ගෞරව කළ යුතුයැයි මානයෙන් සිටින අයට, සහ කුහක කෛරාටික' පුද්ගලයන්ට.  මේ නිසා ඔබ සතුව ඇති ධර්ම දූත මෙහෙවර නම්, එම පුද්ගලයන් වෙනුවෙන් යාච්ඥා කිරීමයි. ඔවුන් ගේ සිත් හරවන ලෙස ඉල්ලා සමිඳුන්ගෙන්අයැද සිටීමයි" යැයි 'සභාවේ වස්තුව වන' දුප්පතුන්, ආබාධිතයන් හා රෝගීන් සතු ධර්ම දූත මෙහෙවර පැහැදිලි කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"ඔබගේ දුප්පත් කමට වගකිවයුතු වරදකරුවන් ගේ සිත් හැරීම සඳහා ඔවුන් වෙනුවෙන් සමිඳුන් යදින්න. තමන් මහා භෝජන සංග්‍රහ පවත්වන විට, එම බොජුන් මේස වලින් ඉතිරි වී වැටෙන කෑම කැබලි වලින්වත් කුස පුරවාගැනීමේ ආශාවෙන්, තම ගේ දොරකඩවල ලාසරස්ලා ජීවත්වන බව නොදකින ධනවතුන් වෙනුවෙන් යාච්ඥා කරන්නැ"යි එතුමා මෙම විශේෂ  වන්දනා නඩයෙන් ඉල්ලා සිටියේ ය.

පුජාප්‍රසාදීන් වෙනුවෙනුත්......


දුප්තුන්, පීඩිතයන්, දුක් විඳින්නන් ගැන හැඟීමක් දැනීමක් නොමැති හෝ ඔවුන් මගහැර යන  කතෝලික පූජකවරුන් වෙනුවෙන්  සමිඳුන්ට කන්නලවු කිරීමද දුප්පතුන් ගේ දූත මෙහෙවරට ඇතුලත් වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.

"ජේසු සමිඳුන් වදාළ යහපත් සමරිතානවරයා ගේ උපමාවේ එන ලෙවීතයා සේ දුකෙන් වේදනාවෙන් සිටින පුද්ගලයකු දුටු කල නොදැක්කා සේ පාරේ අනිත් පැත්තට මාරු වී යන පූජක වරුන් වෙනුවෙන් ද යදින්න" යැයි එතුමා ඔවුන් දිරිමත් කලේ ය.

"ඔබ මේ ධර්ම දූත සේවාව කරන්නේ නම් සභාව තුළ මහත් ආනන්දයක් ඇති වනු නොඅනුමාන ය. එසේ ම ප්‍රංශයේ ද මහත් ප්‍රීතියක් ඇති වනු ඇත" යයි එතුමා පෙන්වා දුන්නේ ය.

මෙම දුප්පත්, ආබාධිත වන්දනාකරුවන් ඇමතීමෙන් පසුව සුදොතුම් පියතුමා එම නඩයේ  සිටි සෑම කෙනෙකුම මුණගැසී සුව දුක් විමසුවේ ය. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය