"සිරියානු ජනතාවට උදව් කරන්නට අවශ්‍ය නම්, යුද්ධයට මුදල් යෙදවීම නතර කරන්න" සුදොතුම් පියතුමා ලෝක නායකයිනට කියයි.

"If you want to help Syrians, stop funding the war" Pope tells world leaders

සුදොතුම් පියතුමා ගිය වසරේ යුරෝපා පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාව 

(2016 ජූලි 5)
ලෝක නායකයන් සිරියාවේ යුද්ධය නිමා කිරීම ගැන කතා කරන අතරම යුද අවි වෙළෙඳාම සඳහා මුදල් යොදවන්නේ කෙසේදැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රශ්න කරති. සිරියානු ජනතාවට උපකාර  කිරීමට ලෝක නායකයනට අවශ්‍ය නම් ඔවුන් මුලින් ම කල යුත්තේ යුද්ධයට මුදල් යෙදවීම නැවත්වීම බව උන්වහන්සේ අවධාරණය කරති.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සිරියාවට සාමය පතා ජාත්‍යන්තර කරිටාස් ආයතනය ආරම්භ කල අලුත්ම වැඩසටහන වෙනුවෙන් විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමිනි.

"යුද්ධය නිසා ජනතාව දුක් විඳින අතර, සටන් කරන්නන්ට ආයුධ සැපයීම සඳහා විශ්වාස කල නොහැකි තරම් විශාල මුදලක් වැය කරනු ලැබේ. මෙලෙස යුද්ධයට ආයුධ සපයන රටවල් සමහරක් ම සාමය පිළිබඳව ද කතා කරන ආකාරය දක්නට ලැබේ. දකුණු අතින් අප වැළඳගෙන වම් අතින් අපට පහර දෙන කෙනෙකුව අප විශ්වාස කරන්නේ කෙසේදැ"යි සුදොතුම් පියතුමා මෙම වීඩියෝ පණිවිඩයේ ප්‍රශ්න කරයි.

දයා කරුණාවේ ශුද්ධ වසරින් ලැබෙන පිටිවහල ප්‍රයෝජනයට ගෙන උදාසීනත්වය දුරලා එක් පොදු මතයක් වෙනුවෙන් යාච්ඥා කිරීමටත් ක්‍රියා කිරීමටත් පෙරට එන්නැයි එතුමා ලොව පුරා සියලු ජනතාවට ඇරැයුම් කරයි: "උදාසීනත්වය පරදා අපි මෙසේ ප්‍රකාශ කරමු. 'සිරියාවේ සාමය ඇති කල හැකියි! සිරියාවේ සාමය ඇති කල හැකියි!!'"

සුදොතුම් පියතුමා මෙම වීඩියෝ පණිවිඩය නිකුත් කලේ සභාවේ ප්‍රමුඛතම දයා සේවා ආයතනය වන ජාත්‍යාන්තර කරිටස් ආයතනය සිරියාවේ සාමය පතා දියත් කල නව වැඩසටහන හඳුන්වා දෙමිනි. එම වැඩසටහනේ තේමා පාඨය "සිරියාව: සාමය ඇති කල හැකිය" යන්නයි.

සිරියාවේ යුද්ධයට මේ වන විට වසර පහක් ගත වී තිබේ. එම යුද්ධයෙන් විපතට පත්වන්නන්ට උපකාර කිරීම, කරිටාස් ආයතනය සිය ඉතිහාසයේ මෙතෙක් නිරත වූ දැවැන්ත ම මානුෂවාදී ප්‍රයත්නය බව එම ආයතනය කියයි. මේ වන විට යුද්ධයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 270,000කට ආසන්නය. යුද්ධයෙන් ආරක්ෂාවීම සඳහා පලා ගිය සිරියානුවෝ 46 ලක්ෂයක් වෙනත් රටවල සරණාගතයන් ලෙස ජීවත් වෙති. තවත් 80 ලක්ෂයක් පමණ රට තුළම අභ්‍යන්තරව අවතැන් වී සිටිති.

කරිටාස් ආයතනය සිරියාවේ සපයන දයා සේවා අතර, ආහාර, සුව සේවා, අත්‍යවශ්‍ය භාණ්ඩ, අධ්‍යාපනය හා නිවාස ද වේ. යුද්ධයෙන් කම්පනයට පත්වූවනට හා සරණාගතයනට මනෝවෛද්‍ය හා චිකිත්සක සේවා ද ඒ මගින් ලබා දෙනු ලැබේ. සිරියාව තුළ ක්‍රියාත්මක කරිටාස් ශාඛා විසින් 2015 දී පමණක් උපකාර කරන ලද ජනතාව ගේ සංඛ්‍යාව 13 ලක්ෂය ඉක්මවයි.

කරිටාස් ජාත්‍යන්තරය සිරියාව සඳහා වන සිය නව සාම ව්‍යාපාරය දියත් කර ඇත්තේ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය පාදක කර ගනිමිනි. හෑෂ්ටෑග්: “#peacepossible4syria,” ඔස්සේ මෙම ව්‍යාපාරය ක්‍රියාත්මකයි. සිරියාවට සාමකාමී විසඳුමක් ගෙන ඒමට සිය රටවල ආණ්ඩුවලට බලපෑම් කරන්නැයි මෙම සමාජ මාධ්‍ය පණිවිඩ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සිරියාවේ තත්වය වචනයෙන් විස්තර නොකළ හැකි තරම් කටුක වේදනාබර එකක් බව මෙම ව්‍යාපාරයට සිය සහාය පල කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය වීඩියෝ පණිවිඩයේ කියයි. එය සිය හදවතට දැඩි වේදනා ගෙන දෙන්නක් බව එතුමා සඳහන් කරයි.

රුදුරු බෝම්බ වලට මුහුණ දෙමින් ජීවිතය ගලවාගෙන ජීවත් වීමට හෝ ජීවිත ගලවා ගැනීම සඳහා තමන් සන්තක සියල්ල හැර දාමා තැනින් තැන පලා යාමට හෝ වෙනත් රටකට පලා යාමට සිරියානු ජනතාවට සිදුවී තිබෙන බව එතුමා පෙන්වා දෙයි. එසේ ම සිරියාවේ ජීවත් වන කිතුනු ජනතාව  වෙනස් කොට සැලකීම් වලට හා සිය ඇදහිල්ල නිසා එල්ල වන වැඩ හිංසා වලට මුහුණ දෙමින් සිටින බව ද එතුමා මහත් සංවේගයෙන් සිහිපත් කරයි.

"සිරියාවේ සාමය වෙනුවෙන් දෙවිඳුන් යදින්නැයි  ලෝක නායකයන්ගෙනුත් සියලු ජනතාවගෙනුත් ඉල්ලා සිටිමි. මීට අමතරව, ඔබගේ මීසම් වලත්, ජන පවුල් වලත්, යැදුම් මෙහෙයන්වලදීත් සාමයේ පණිවිඩය, බලාපොරොත්තුව හා සමගිය පැතිරේවා යි යාච්ඥා කරන්න. "

"යාච්ඥාවට පසුව එම අදහස් ක්‍රියාත්මක කල යුතුය. ගිවිසුම් හා සාම සාකච්චා බැරෑරුම්ව සලකන ලෙස සාකච්ඡාවලට සම්බන්ධ සියල්ලන්ට ආයාචනා කරමි. එසේම මානුෂවාදී ආධාර අවශ්‍ය අයට  ඒවා ගලා යාමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ද ඉල්ලා සිටිමි"

"සිරියාවේ අර්බුදයට යුදමය විසඳුමක් නොමැති බව සියල්ලන් පිළිගත යුතු ය. ඒ සඳහා ඇත්තේ දේශපාලන විසඳුමක් පමණි. එබැවින් ජාතික සමගි ආණ්ඩුවක් ගොඩනැගීමේ ඉලක්කය වෙත යොමුවන සාම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහාය දැකිවිය යුතුයැ"යි  සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය