"සමාජයේ දුර්වලම ජන කොටස් ඉවත දැමීමේ සංස්කෘතියේ ගොදුරු බවට පත්වීම අතිශයින් ම කුරිරුයි" සුදොතුම් පියතුමා ළමා රෝහලේ දී කියයි.

"Those engaged in works of mercy have no fear of death": Holy Father's message at the Children's Hospital 



(2016 ජූලි 30)
"රෝගී සියලු දරුවන්ට ලංවී, ඔවුන් ගේ රෝගී ඇඳන් අසල සිට ඔවුන් උණුසුමින් වැළඳගන්නට මම බොහෝ ආශා කරමි. මේ රෝහලේ සිටින සෑම කෙනෙකුටම සවන් දෙන්නට මම කැමතියි; එක මොහොතකට වුනත්. පිළිතුරු නැති ඔවුන් ගේ ප්‍රශ්න ඉදිරියේ නිශ්චලව සිටින්නට කැමතියි. මේ බාලයන් ළඟ සිට ඔවුන් සමග ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට මම කැමතියි."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෝලන්තයේ ගතකල තුන්වන දිනයේ ළමා රෝහලක් බැහැදකින්නට ගිය අවස්ථාවේ දී ය. 2016 ජූලි 29 වැනිදා එතුමා ක්රැකෝවේ ප්‍රොකෝසිම් විශ්ව විද්‍යාල ළමා රෝහලට ගිය අවස්ථාවේ දිය. එම රෝහලේ දී එතුමා එහි ප්‍රතිකාර ලබන රෝගී ළමයින් 50 දෙනෙකු, ඔවුන් ගේ දෙමාපියන්, වෛද්‍ය සහ සහකාර සේවා කාර්ය මණ්ඩලය සමග කතා බස් කළේය. රෝහල සමග තමන් හදවතින් ඉතා සමීප වන බව කියා සිටි එතුමා "සමාජයේ ඉතා දුබල හා අවශ්‍යතාවෙන් පෙලෙන අය" වෙනුවෙන් කැපවීම ගැන ඔවුන්ට ප්‍රශංසා කළේය. "ඔබගේ මේ ආදරයේ ප්‍රකාශනය ගැන, ආදරයේ සලකුණ ගැන ඔබට මෙගේ කෘතඥතාව ප්‍රකාශ කරනවා" එතුමා කීවේය.

"අපගේ උපකාරය අවශ්‍ය පුද්ගලයනට ප්‍රේමයෙන්, කරුණාවෙන් සහ මෘදු බවින් සේවය කිරීම මගින් අප මනුෂ්‍යත්වයෙන් වර්ධනය වෙනවා. ඊට අතිරේකව ඒ මගින් අප ඉදිරියේ සදාතනික ජීවිතය විවෘත වෙනවා.දයා කරුණාවේ ක්‍රියාවල නිරත වන්නන්ට මරණය ගැන බියක් නැහැ," යි එතුමා අවධාරණය කළේය.

සමාජයේ වරප්‍රසාද නොලත් සහ කොන් වූ ජනයා කෙරෙහි අවධානය යොමු වන අයුරින් දේශපාලන හා සමාජයීය න්‍යාය පත්‍ර සකස් විය යුතු බවද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"ශිෂ්ටත්වයේ සැබෑ සංකේතය මෙයයි: එනම්, අතිශයෙන් ම වරප්‍රසාද නොලත්, කොන් වූ ජන කොටස් දේශපාලන හා සමාජයීය න්‍යාය පත්‍රයේ කේන්ද්‍රය බවට පත්කර ගැනීමයි. මෙය මානව සේම කිතුනු ශිෂ්ටත්වයේ හා කරුණාවේ සංකේතයයි. එහෙත් කනගාටුදායක ලෙස අපගේ සමාජය ඉවත දැමීමේ සංස්කෘතියෙන් දුෂ්‍ය වී තිබේ. එය පිළිගැනීමේ සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ දෙයයි. ඉවත දැමීමේ සංස්කෘතියේ ගොදුරු බවට පත්වන්නේ සමාජයේ දුර්වලම බෙලහීනම කොටසයි. මෙය ඇත්ත වශයෙන් ම අතිශයින් ම කුරිරු දෙයකි" යි එතුමා අවධාරණය කළේය.

පියෙත්‍රෝ කැස්ටිනි නමැති චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද සිතුවමක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ළමා රෝහලට තිළිණ කළේය. ජේසු සමිඳුන්, පේදුරු තුමා සහ ශ්‍රාවකයන් කපර්නාවුමේ දී රෝගීන්ට මුහුණ ලා සිටිනු මෙම චිත්‍රයෙන් නිරූපනය කර තිබේ.

කතෝලිකයන් ජේසු සමිඳුන් ගේ ආදර්ශය අනුව යමින් නිහඬව, උනුසුම් ආදරයෙන් සහ යාච්ඥාවෙන් රෝගීන්ට සමීප විය යුතු යයි එතුමා අවධාරණය කළේය. රෝගී වූ සිය ලබැඳියනට උපකාර සාත්තු සප්පායම් කිරීමේ දී පවුල් වල සාමාජිකයන් ඇතැම් විට තනිකමක්, වෙදනාවක් අත්දකියි. එහෙත් අප සෑම විටම පිළිගැනීමේ සන්ස්කෘතිය ප්‍රවර්ධනය කරමු. කිතුනු  ප්‍රේමයෙන්, කුරුසි ගත වූ ජේසු සමිඳුනට ප්‍රේමයෙන් පිළිගැනීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරමු." යි එතුමා ඉල්ලා සිටියේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය