"වෛරයෙන් අන්ධ වී ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කරන්නන්ගේ සිත් හරවන ලෙස ස්වාමීන් වහන්සේට කන්නලවු කරමු": සුදොතුම් පියතුමා ලොව පුරා ජනතාවගෙන් ඉල්ලයි

Saddened by the Dhaka-Baghdad attacks Holy Father asks crowds to “ask the Lord to convert the hearts of the violent, blinded by hate.”



(2016 ජූලි 3)
පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ඝාතනය  කරමින් බංග්ලාදේශයේ සහ ඉරාකයේ දී ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාර ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශෝක වෙති. "වෛරයෙන් අන්ධ වී" මෙවැනි ප්‍රහාර එල්ල කරන ප්‍රචන්ඩකාරීන් ගේ සිත් හැරෙන ලෙස තමන් සමග  යාච්ඥා කරන්නැයි උන්වහන්සේ ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එතුමා මෙම ඉල්ලීම කලේ ඉරිදා (2016 ජූලි 3 වන දා) එතුමන් සමග දහවල් තුන්කාල ආරාධනාවට සහභාගී වීම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශයට එක්රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිස අමතමනි.

"ඊයේ ධකා නුවරදිත්, ඒ වගේම බැග්ඩෑඩ් නුවරදීත් එල්ල වූ ප්‍රහාර වලින් මිය ගිය, එසේම තුවාල ලැබූ සියල්ලන් ගේ පවුලේ ඥාතීන් සමග මම යාච්ඥාවෙන් සහ හදවතින් සමීප වෙනවා" යැයි තුන්කාල ආරාධනා යැදුම අවසානයේ වන්දනා කරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"අපි සියලු දෙනා ම එක්ව මෙම සිද්ධිවලින් මිය ගිය අය වෙනුවෙනුත් ඔවුන් ගේ පවුල්වල අය වෙනුවෙනුත් යාච්ඥා කරමු. එසේම මෙම ප්‍රහාර එල්ල කරන පිරිස් වෙනුවෙනුත් අපි යාච්ඥා කරමු. වෛරයෙන් අන්ධ වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නන් ගේ හදවත් තුළ පරිවර්තනයක් කරන්නැයි කියා අපි ස්වාමීන් වහන්සේට කන්නලවු කරමු" යයි එතුමා කියා සිටියේ ය.

මෙම ඉල්ලීම දේව මාතා වහන්සේ මගින් ඔප්පු කළ සුදොතුම් පියතුමා සියල්ලන් සමග "නමෝ මරිය" යාච්ඥාව කීවේ ය.

බංගලා දේශයේ ධකා අගනුවර  සහ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදු වූ මෙම සිදුවීම් දැනගත් වහාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙනුවෙන් වතිකාන රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්රෝ පැරෝලිණි කාදිනල් හිමි එම දෙරටට ම විදුලි පණිවිඩ දෙකක් යොමු කලේ ය. එම පණිවිඩයේ කාදිනල් හිමිපාණන් කියා සිටියේ මෙම සිද්ධි ගැන ඇසීමෙන් සුදොතුම් පියතුමා දැඩි සංවේගයට පත්ව සිටින අතර ඒවා එතුමා දැඩි ලෙස හෙලා දකින බවයි. " මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා මානව සංහතියට සේ ම දෙවියන් වහන්සේට ද එරෙහි ප්‍රහාර"  බව සුදොතුම් පියතුමා එම පණිවිඩයේ සඳහන් කලේ ය.

බැග්ඩෑඩ් නුවර දී සෙනසුරාද සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් 80 කට අධික පිරිසක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. එම නගරයේ දෙවැනි බෝම්බ පිපිරවීම සිදුවුයේ ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත්වන ප්‍රදේශයකයි. බංගලාදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි සංචාරකයන් පිරිසක්, ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමේ සිද්ධියක් අවසන් වුයේ පුද්ගලයන් 28 දෙනෙකු ඝාතනය කරමිනි. ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමට පැමිණි බංගලාදේශ ආරක්ෂක හමුදාවල ප්‍රහාරයෙන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට සම්බන්ධ වූ  ත්‍රස්තවාදීහු හය දෙනෙක් ද ඝාතනය කරන ලදහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය