"සමිඳුනි, මේ සා කෘරත්වයට ක්ෂමා කල මැනව" සුදොතුම් පියතුමා අවුස්විෂ් කඳවුරේ දී අයදියි

Holy Father prays for forgiveness for "so much cruelty" at Auschwitz


(2016 ජූලි 29)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පෝලන්ත දූත ගමනේ තෙවැනි දිනය වූ ජුලි 27 දා එරට ජන ආත්මයේ මහා ස්මාරකයක් වන අවුස්විෂ් සිර කඳවුර බැහැදකින්නට ගියේය.

අවුස්විෂ් සිර කඳවුර මිනිසාගේ අසීමිත කුරිරුකමේ දැවැන්ත සංකේතය ලෙස අදත් මානව හදවත් කම්පනය කරවමින් නැගී සිටියි. නාසි ආඥාදායක හිට්ලර් ගේ හමුදා විසින් සතුන් සේ රැගෙන එන ලද ජුදෙව්වන්ට වද  හිංසා කොට අමානුෂික ක්‍රම වලට මරා දමන ලද්දේ මෙම කුප්‍රකට සිර කඳවුරේ දිය. ඔවුන් අතින් ජුදෙව්වන් අවම වශයෙන් 15 ලක්ෂයක් පමණ මෙහිදී මියගියහ.

මෙම සිරකඳවුරු ස්මාරකයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතාවක් පැවැත්වූයේ නැත. කඳවුර පුරා පැවති සංවේදී ස්ථාන වලදී එතුමා මොහොතක් නැවතී යාච්ඥා කළේය. කතෝලිකයනට ඉතා වැදගත් ස්ථානයක් වූ ශාන්ත මැක්සිමිලියන් කෝල්බේ පියතුමාගේ අඳුරු සිර කුටියට ගිය එතුමා එහි දී දීර්ඝ වෙලාවක් යාච්ඥා කරමින් සිටියේය. ඉන් පසුව පිටතට පැමිණි එතුමා එහි තිබු සමරු පොතේ සටහනක් තැබුවේය. එය වාක්‍ය දෙකක සරල එහෙත් ගැඹුරු අරුත් ඇති සටහනකි.

"සමිඳුනි, ඔබගේ ජනතාවට කරුණා කළ මානව; ස්වාමීනි, මෙතරම් දරුණු වූ කුරිරු බවට ක්ෂමා කල මැනව," යනු එම සමරු සටහනයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රථමයෙන් ම රැගෙන යන ලද්දේ අවුස්විෂ් I  ලෙස හැඳින්වෙන මුල් කඳවුරටයි. එහි මිදුලේ සිටගෙන එතුමා යාච්ඥා කළේය. ඉන් පසුව වඩා කුප්‍රකට කඳවුර වූ අවුස්විෂ් II වෙත එතුමන් කැටුව යන ලදී. එහිදී පෝලන්ත අගමැති බියාටා සිඩ්ලෝ මහතා සහ මෙම සිරකඳවුරේ සිට දිවි ගලවාගත් පුද්ගලයන් 10 දෙනෙකු විසින් එතුමා පිළිගනු ලැබිණ.

මෙහිදී එතුමන්ට දල්වන ලද ඉටි පහනක් පිළිගැන්වින. එයින් එතුමා එහි තබා තිබු ලෝකඩ  පහනක් දැල්වුයේ ය. මෙම පහන සුදොතුම් පියතුමා වීසින් ම අවුස්විෂ් කෞතුකාගාරයට පිළිගන්වන ලද්දකි. අවුස්විෂ් කඳවුරේ කටු කම්බි වැටත් ජේසු සමිඳුන් ගේ ශ්‍රී හර්දයත් එහි කොටා තිබේ. ඉක්බිතිව එතුමා ඇතුලුවුයේ එහි දෙවන කොටසටයි. සිරකරුවන්ට දැඩි වදහිංසා පමුණුවන ලද්දේ මෙම කොටසේය. එහි ඇති සිර කුටි කිහිපයකට ගිය එතුමා ශාන්ත මැක්සිමිලියන් කොල්බේ පියතුමා සිටි අඳුරු සිර මැදිරියේ නැවතී යාච්ඥා කළේය. ( කොල්බේ පියතුමා මෙම සිර කඳවුරේ සිර ගත කොට සිටි සමයේ එක් සිරකරුවකුට මරණ දඬුවම නියම කෙරිණ. තමා මියගියහොත් තම බිරිඳත් දරුවනුත් තනිවන බව කියා මෙම සිරකරු හඬා වැටුනේය. කඳවුර භාර හමුදා නිලධාරියාට කතා කල කොල්බේ පියතුමා එම සිරකරු නිදහස් කිරීමේ කොන්දේසිය මත ඔහුට හිමි වූ මරණ දඬුවම තමා භාරගත්තේය. පියතුමා ආලෝකය මඳක් වත් නොමැති මෙම සිර කුටියේ සිර කොට කෑම බීම නොමැතිව මැරෙන්නට හරින ලදී.)



ඉන්පසු එතුමා ගියේ කඳවුරේ ගෑස් මැදිරි තිබු බර්කෙනෝ කොටසටයි. ගෑස් යොදා සිරකරුවන් ඝාතනය කිරීම හා මළ සිරුරු පුළුස්සා දමන ආදාහනාගාර තිබුනේ මෙහිය. එහි තිබු සිහිවටන ඵලක එකින් එක අසල නතර වී යාච්ඥා කරමින් ඉතා සෙමින් ඒවා පසුකරමින් එතුමා එහි පා නැගුවේය. එහි අවසානයට පැමිණෙන විට එක පුද්ගලයෙක් "ස්වාමිනි, ගැඹුරේ සිට මම ඔබට හඬ නගමි" යන ගීතාවලියේ 130  වැනි ගීතිකාව සජ්ඣායනා කළේය.

තවත් විශේෂ කණ්ඩායමක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. එනම් නාසි හමුදා විසින් ජුදෙව්වන් සමූල ඝාතනය කරන විට සිය දිවි නොතකා ජුදෙව්වන් විශාල ප්‍රමාණයක ගේ ජීවිත ගලවාගත් ජුදෙව් නොවන පුද්ගලයන් 10 දෙනෙකි. ඊශ්‍රායලය විසින් ඔවුන්ට "ජාතීන් අතර ධර්මිෂ්ටයෝ" නමැති කීර්ති නාමය ද ප්‍රදානය කර තිබේ. සුදොතුම් පියතුමා ඔවුන් සමග කතා කරමින් ටික වෙලාවක් ගත කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය