"රිනාත්මක ඉතිහාසය පසෙක ලා ධනාත්මක ඉතිහාසයෙන් පෝෂණය වන්න": පෝලන්ත ජනනායකයනට දුන් අවවාදය

"Nurture good memory while leaving the bad behind': Holy Father tells Poland's political and civil leaders 


(2016 ජූලි 28)
ඉතිහාසය නිරීක්ෂණය කොට අධ්‍යයනය කළ යුත්තේ එහි ඇති යහපත් දේ වැළඳගෙන අයහපත් දේ පසෙකට ලා ඉදිරියට යන්නට එය අනුප්‍රාණයක් කර ගැනීම සඳහා බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති.

සිය පෝලන්ත දූත ගමන ආරම්භ කරමින් ක්‍රැකෝ නුවරට පා තබා සුළු වෙලාවකින් එරට ජන නායකයන් අමතමින් එතුමා මේ බව කියා සිටියේය. ජූලි 27 සිට 31 දක්වා දිගහැරෙන පෝලන්ත චාරිකාවට මුල පුරමින් 27 වනදා සවස ක්‍රැකෝවේ දෙවැනි ජුවාම් පාවුළු ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එතුමා පෝලන්තයට ලඟා විය. ජනාධිපති අන්ද්‍රියේ ඩූඩා සහ එම මහත්මිය විසින් පිළිගනු ලැබූ එතුමා දර්ශනීය රිය පෙරහරකින් නගර මධ්‍යය කරා ගෙන යනු ලැබීය.

ප්‍රථමයෙන් ම එතුමා කැටුව යනු ලැබුවේ ක්‍රැකෝවේ ඓතිහාසික  වැවෙල් මන්දිරයටය. එහිදී සිවිල් පරිපාලන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් එතුමා  පිළිගනු ලැබූ ලැබීය. පෝලන්ත ජනාධිපති විසින් නිල පිළිගැනීමේ කතාව පවත්වන ලද්දේ ද එහිදීය.

ඊට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කළ දේශනය ශ්‍රී ලංකාවේ නූතන සන්දර්භයට ද ගැලපෙන්නේ ය. පෝලන්ත ජාතිකයෝ සිය ඉතිහාසහි දැඩි ලෙස එල්බගෙන සිටින ජාතියකි. සිය කතෝලික අනන්‍යතාව ශක්තියක් කොට සලකන ඔවුහු එය ආඩම්බරයක් කොට සලකති. මෙම ජාතික-ආගමික  අනන්‍යතාවට තුවාල කරතැයි හෝ හානි කරනු ඇතැයි ඔවුන්ට සිතෙන නූතන ලෝක අභියෝග භාරගැනීම ඔව්හු ප්‍රතික්ෂේප කරති.  නැතහොත් ඊට ප්‍රතිරෝධයක් දක්වති. ඊයේ පැවති ජන නායක, සිවිල් නිලධාරි, සිවිල් සමාජ හමුවේදී ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා අභියෝග කලේ පෝලන්ත ජනතාවගේ එම "අනන්‍යතා මාන්නය"ටය. නැවුම් ජාතික ගමනක් යන්නට සපථ කොට බලයට පැමිණ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පිළිගැනීමෙන් ම සිය ආණ්ඩු කාලය ආරම්භ කල වර්තමාන ශ්‍රී ලංකා ජන නායකයනට ද, කතෝලික ජනතාව ඔස්සේ එම නායකයනට බලපෑම් කිරීම සඳහා ප්‍රඥාවන්ත අවවාද අනුශාසනා සම්පාදනය කල යුතු ශ්‍රී ලංකාවේ කතෝලික සභා නායකයන්ට ද, සමස්ත කතෝලිකයන්ට ද අවශ්‍ය  පැනසර ගුරු උපදෙස් වලින් මෙම කතාව පිරිපුන් ය.

"ස්මරණ ශක්තිය (මතක ශක්තිය) පෝලන්ත ජනතාව ගේ මුද්‍රාවයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දේශනයේ දී පැවසීය. "පෝලන්තයේ කීර්තිමත් හා දයාබර පුත්‍රයා වන දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේ තුළ ඉතිහාසය පිළිබඳව තිබු විචිත්‍රවත් දැනීම ගැන මා විශ්මයට පත්ව සිටිනවා.  ඕනෑම ජනතාවක් ගැන කතා කිරීමට අවශ්‍ය වූ විට උන්වහන්සේ පටන් ගත්තේ එම ජනතාව ගේ ඉතිහාසයෙන්. උන්වහන්සේ මෙසේ කලේ එම ජනතාව තුළ වන මානුෂික හා ආධ්‍යාත්මික වත්පොහොසත්කම් ඉස්මතු කර පෙන්වන්නට ය."

"ජාතියක මානුෂික, සමාජයීය, දේශපාලන, ආර්ථික සහ ආගමික උරුමයේ පදනම මත එම ජාතියේ ජන පවුල පිහිටුවීම සඳහා, තමන් වෙනත් ජන කොටසකට වඩා උසස් ය යන ව්‍යාජයෙන් තොර වූ ජාතික අනන්‍යතාව පිලිබඳ දැනුවත් බවක් අත්‍යවශ්‍ය වන්නේය. සමාජ ජීවිතයටත් සංස්කෘතික ජීවිතයටත් අනුප්‍රාණය දෙන්නේ මෙයයි. එසේම ප්‍රතිසංස්කරණයට හා  නවොදාවටත් අනාගතයටත් ජාතියක් විවෘතව තබන්නේ එයයි."

මෙම අනන්‍යතාව ගොඩනැගෙන්නේ ඉතිහාසය පිලිබඳ මතකය නිසා බව සුදොතුම් පියතුමා කීවේය.

" මතක වර්ග දෙකක් තිබේ: යහපත් මතකය හා අයහපත් මතකයයි; හොඳ මතකය හා නරක මතකයයි; ධනාත්මක මතකය හා රිනාත්මක මතකයයි. යහපත් මතකය යනු ශුද්ධවූ බයිබලයේ මග්නිෆිකාත් හෙවත් "දෙව් මව් පසස ගීතයේ" දෙව්මවුන් කරන ආකාරයට දෙවියන් වහන්සේ ගේ ගැලවීමේ ක්‍රියා වෙනුවෙන් උන්වහන්සේට ප්‍රශංසා කිරීම වැනි මතකයයි. රිනාත්මක මතකය යනු සිත සහ හදවත නපුරු අදහස් තුළ ගිල්වා තබා ගැනීමයි; විශේෂයෙන් ම වෙනත් අය කළ වැරදි ගැන සිතේ තබා ගැනීමයි. "

පෝලන්තයේ මෑත ඉතිහාසයේ ජාතියේ යහපත වෙනුවෙන් ඉතිහාසය හා මතකය යොදාගත් ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. ඒ පිළිබඳව එතුමා ප්‍රශංසාව පල කලේය.

"මෑත අතීතයේ ඔබගේ යහපත් මතකය ප්‍රයෝජනයට ගත අන්දම ගැන මම දෙවි සමිඳාණන්ට ස්තුති ප්‍රශංසා කරමි. නිදසුනක් ලෙස මෑතක දී ඔබ ක්ෂමා දානයේ  50 වැනි සංවත්සරය සමරුවේය. එම ජයන්තියේ දී ඔබ සිහිපත් කලේ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇති වූ තුවාල සුවපත් කර ගැනීම සඳහා පෝලන්තයේ සහ ජර්මනියේ රදගුරු සමුළු විසින් අන්‍යොන්‍ය වශයෙන් සමාව දානය  කිරීමේ අවස්ථාවට පනස් වසරක් පිරීම ස්මරණය කිරීමයි. එම ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ දෙරටේ සභා අතර  වූවත්,  දෙරට ජනතාවගේ සම්බන්ධතා පිලිබඳ ඉතිහාසය වෙනස් කරන  සමාජ, දේශපාලන, සංස්කෘතික හා ආගමික ක්‍රියා මාර්ගයකට මුල පිරීමට එය සමත් වූයේය. තවත් උදාහරණයක් වන්නේ පෝලන්තයේ  කතෝලික සභාවත් මොස්කව් ඕතඩොක්ස් සභාවත් අතර අත්සන් තැබුණු ඒකාබද්ධ ප්‍රකාශනයයි. මෙම ක්‍රියාව නිසා මිත්‍රත්වය යළි ඇතිවීම හා සහෝදරත්වය ගොඩනැගුනේ හුදෙක් සභා දෙක තර පමණක් නොව දෙරටේම ජනතාව අතර ද එයම සිදුවූයේය. අයහපත්, රිනාත්මක මතකය පසෙකට ලා යහපත් සුබවාදී මතකය පෝෂණය කරන්නේ කෙසේදැයි ආර්ය පෝලන්ත ජනතාව මේ අයුරින් අපට ප්‍රදර්ශනය කර තිබේ" යැයි අයහපත් මතකය යහපත් ක්‍රියාවලින් ජයගැනීමේ නිදසුන් කිහිපයක් විස්තර කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

සුදොතුම් පියතුමාගේ හමුව පැවැත්වූ වැවල් මාලිගය 


පෝලන්තය දිනාගත් මෙවැනි ජයග්‍රහණ නූතන ජාතික මෙන්ම අන්තර්ජාතික අභියෝග වලට මුහුණ දීමේදී ද ශක්තියක් හා ආදර්ශයක් කරගත යුතු යයි කියා සිටියේ ය. තමා නැගෙනහිර යුරෝපයේ රටක් ලෙස ප්‍රථමයෙන් ම පැමිනියේ තරුණ මංගල්‍යයේ ආරම්භකයා සහ ප්‍රවර්ධකයා වූ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේගේ රටට බවත් එය තමාට බොහෝ සතුටට  කරුණක් බවත් එතුමා පැවසීය. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා "පෙනහළු දෙකෙන්ම හුස්ම ගන්නා යුරෝපයක්" ගැනත් "නව යුරෝපීය මානුෂවාදයක්" ගැනත් කතා කල බව එතුමා පෙන්වා දුන්නේය.

තවත් අතෙකින් පෝලන්ත ජාතිකයන් ඉතිහාසයේ විවිධ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ජනතාවක් බව එතුමා සිහිපත් කළේය. එහෙත්  බැබිලෝනියාවේ සිට ආපසු සිය රටට පැමිණි ඊශ්‍රායෙල් ජනතාව සේ දෙවියන් වහ්ස්න්සේට ප්‍රශංසා කිරීමට ඔවුනට දැන් හැකියාව ලැබී තිබේ. මේ වාසනාවන්ත කාලයේ ඔවුන් නූතන ලෝකයේ අභියෝග වලට ද මුහුණ දිය යුතු බව එතුමා කියා සිටියේය. "මෙහිදී ඔබ ගන්නා තීරණ මානව සම්බන්ධතා සහ මානව ගරුත්වය ආරක්ෂා කරන ඒවා විය යුතුය. ආර්ථිකය, පරිසර සංරක්ෂණය සහ සංක්‍රමණික ගැටළු යන සියලු කාරනා ඊට ඇතුලත් කර ගටහ යුතුය" යි එතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය