"අවුල් කරන්න!" සුදොතුම් පියතුමා පෝලන්තයේ දී යොවුන් ජනතාවට දුන් පළමු ඔවදන

"Make Chaos!" Pope tells youth in his first night's balcony talk in Poland 


(2016 ජූලි 27)
"අවුල් කරන්න!"
පෝලන්තයේ ක්රැකෝ නුවර දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එහි රැස්ව සිටි තරුණයනට දුන් පළමු උපදේශය  එයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2016 ජුලි 25 වැනිදා පස්වරුවේ සිය පෝලන්ත අපෝස්තලික චාරිකාව ආරම්භ කරමින් එරටට ලඟා වුයේය. සුදොතුම් පියතුමාගේ පෝලන්ත  චාරිකාවේ ප්‍රධාන අරමුණ කතෝලික සභාවේ තරුණ මංගල්ලය වන ජගත් යොවුන් දිනයට සහභාගී වීමයි. ඊට අමතරව එතුමා තවත් වැදගත් අවස්ථා කිහිපයකටම එක වීමට ද නියමිතයි.

එරට ගතකරන ප්‍රථම දිනය නිම කිරීමට පෙර එදින  රාත්‍රියේ ක්රැකෝ අගරදගුරු මාලිගයේ බැල්කනියේ සිට එතුමා තරුණ තරුණියන් සමග සංවාදයක නිරත වූයේය . එතුමා තරුණයනට මෙම පණිවිඩය දුන්නේ එහිදීය.

ක්රැකෝ අගරදගුරු මැදුරේ බැල්කනියේ සිට  යෞවනයනට කතා කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කලේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේය. එතුමා සිය මව්බිමට පැමිණි සෑම අවස්ථාවකම රාත්‍රියේ මෙම බැල්කනියේ සිට තරුණයනට කතා කළේය. ඉන් පසුව සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා ද පෝලන්තයට පැමිණි අවස්ථාවේ එම චාරිත්‍රය අනුගමනය කළේය.
එම චාරිත්‍රය අනුගමනය කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  යොවුන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අතර  හා ඔවුන්ට ලියාගත් පිටපතකින් තොරව කතා කළේය.

"අවුල් කරන්න!" එතුමා එහිදී ඔවුනට කීවේය. එහෙත් මේ වුල කුමක් ද? "ඔබගේ ඇදහිල්ලේ ප්‍රීතිය පතුරුවමින් අවුලක් ඇතිකරන්න!" එතුමා පැහැදිලි කළේය.

"ඔබ ඔබගේ යුතුකම ඉටුකරමින් රාත්‍රිය පුරා අවුලක් ඇතිකළ යුතුයි. ඔබගේ කිතුනු ප්‍රීතිය ප්‍රදර්ශනය කරන්න. මේ ප්‍රීතිය කුමක් ද? එනම්  දෙවියන් වහන්සේ විසින්  ඔබ ජේසු සමිඳුන් අනුගමනය කරන ජනතා පවුලේ සාමාජිකයකු කිරීමේ  ප්‍රීතියයි. ඔබ සමාජය අවුල් කල යුත්තේ එම ප්‍රීතියෙනුයි." එතුමා සඳහන් කළේය.

මෙහිදී සුදොතුම් පියතුමා ජගත් යොවුන් දිනය නිසා බොහෝ දේ කැප කල තරුණයකු පිලිබඳ සැබෑ කතාවක් තරුණයන් සමග බෙදා ගත්තේ ය.

ග්‍රැෆික් සැලසුම්කරණය හදාරමින් සිටි තරුණයෙක් ජගත් යොවුන් දිනයේ ස්වෙච්ඡා සේවකයකු වීමට බොහෝ ආශා  කලේය. මේ නිසා අධ්‍යාපනය අතර මග නතර කල ඔහු යොවුන් දිනයට සේවය කිරීමට එක්වූයේය.

ඔහු සිය හැකියා හා ශිල්ප භාවිත කරමින් යොවුන් දිනය සඳහා බැනර නිර්මාණය කලේය. මේ වන විට ක්රැකෝවේ වීදි සරසන යොවුන් දින බැනර ඔහුගේ අතින් නිර්මාණය වූ ඒවාය. විශේෂයෙන් මෙම තරුණ දිනයේ නාම සාන්තුවරුන් වන ශු. දෙවන ජුවාම් පාවුළු තුමන් හා ශු. පෞස්තිනා තුමිය ගේ රුව රැගත් බැනර නිර්මාණය කලේ ඔහුය.

යොවුන් දිනය වෙනුවෙන් වැඩ කරමින් සිටි කාලයේ ඔහු සිය (දහම කරෙහි වූ ) ඇදහිල්ල අලුතින් අනාවරණය කර ගත්තේය. මේ නිසා ඔහු සමිඳුනට වැඩ වඩාත් සමීප වූයේය. මේ අතර ඔහු සුව කල නොහැකි පිළිකාවකින් පෙලෙන බව 2015 නොවැම්බරයේ දී වෛද්‍යවරුන්  සොයාගත් බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය. ඔහුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා වෛද්‍යවරු ඔහුගේ පාදයක් කපා දැමූහ. එහෙත් එයින් ඵලක් වුයේ නැත. පිළිකාව සිරුර පුරා යළි පැතිරෙන්නට පටන් ගත්තේය.

"මේ තරුණයාට අවශ්‍ය වුනා සුදොතුම් පියතුමා ගේ පෝලන්ත චාරිකාවේ සෑම මොහොතක් තුළම ජීවත් වෙන්න. මෙම වැඩසටහනේ ඉදිරි දිනයක මම ආබාධිත සහෝදරියන් පිරිසක් සමග ට්‍රෑම් රිය චාරිකාවක යෙදෙනවා. මේ තරුණයා ඔහුගේ තවත් රෝගී මිතුරකු ද සමග මේ ට්‍රෑම් චාරිකාවේ ආසනයකුත් වෙන්කර ගත්තා. " සුදොතුම් පියතුමා කීවේය.

"එහෙත් ඔහුට මේ රැළියට එන්නට ලැබුනේ නැහැ. ජූලි මාසේ 2 වැනිදා ඔහු මියගියා" එතුමා හැඟුම් බරව කීවේය. "ඔහු සෑම කෙනෙකු වෙනුවෙන් ම හොඳ  දෙයක්, යහපත් දෙයක් කළා."

මෙසේ කියු එතුමා සියල්ලන් සමග සුළු මොහොතක් නිහඬව එම වීර තරුණයා ගැන යාච්ඥා කළේය.

"අපි හොඳ දේවලුත් නරක දේවලුත් කරන්න පුරුදු වෙන්නට ඕනෑ. ජීවිතය එහෙමයි. දයාබර තරුණ තරුණියනි, මෙතැන අපට එක් දෙයක් සැකයකින් තොරව  ප්‍රකාශ කල හැකියි.  එනම් මේ තරුණයාගේ, අපගේ දයාබර මිතුරාගේ, අපේ යොවුන් දිනයට විශාල වැඩ කොටසක් කල අපේ මිතුරාගේ,  ඇදහිල්ලයි."

එම තරුණයාගේ ආදර්ශය වෙනුවෙන් දැවැන්ත අත්පොලසන් නාදයක් දෙන්නැයි සුදොතුම් පියතුමා එහි රැස්ව සිටි තරුණ තරුණියන් ගෙන් ඉල්ලා සිටියේය. "මේ තරුණයා අප  ධෛර්යේ ආදර්ශයක් ලෙස දෙන  කරන නිසා අද අපි දෙවි පියාණන් වහන්සේට ස්තුති කරමු. අපගේ ජීවිතයේ ද එඩිතරව දිරිමත්ව ඉදිරියට ගමන් කිරීමට යොවුන් ආදර්ශයක් දෙන නිසා උන්වහන්සේට ස්තුති කරමු" එතුමා කීවේය.

"බිය නොවන්න. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨය. දෙවියන් වහන්සේ උතුම් ය. උන්වහන්සේ යහපත් ය. ඒ වගේම අප සෑම කෙනකු තුළම කුමක් හෝ යහපත් දෙයක් තිබේ. මේ නිසා අද රාත්‍රියේ ඔබ තුළ ඇති කිතුනු ප්‍රීතිය ප්‍රදර්ශනය කිරීම සඳහා අවුලක් ඇති කරන්න. ඔබට සුබ රාත්‍රියක් වේවා!"

එතුමා සිය ප්‍රථම රාත්‍රියේ තරුණ තරුණියන්ගෙන් සමු ගත්තේ එසේය.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය