දෙවියන් වහන්සේ හා අප සම්බන්ධ කරන ජේසු සමිඳුන් දුන් යතුර: "තාත්තේ" යන වචනය

Word "Father" is the secret in Jesus' prayer: Pope Francis explains 


(2016 ජූලි 24)
ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට ඉගැන්වූ යැදුම මානව අපගේ මූලික අවශ්‍යතා පාදක කරගත් යාච්ඥාවක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. අපගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සේ ම ප්‍රධාන ලෞකික අවශ්‍යතා ද එයින් ආවරණය වන ආකාරය එතුමා පහදා දෙයි.

සිරිත් පරිදි ඉරිදා සිදුකරන තුන්කාල ආරාධනා මරිය යැදුමට ජූලි  24 වන ඉරිදා දහවල් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රොක්වූ වන්දනාකරුවන් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය. තුන්කාල ආරාධනා යැදුමට පෙර සුදොතුම් පියතුමා  ඉරිදා සුබ අස්නට පාදක වූ ශු. ලූක්‌ තුමා ගේ සුබ අස්නේ එන ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට යාච්ඥා කිරීමට ඉගැන්වූ ආකාරය භාවනා කළේය.

ලොව පුරා කිතුනුවන්  "ස්වාමීන් ගේ යැදුම" ලෙස හඳුන්වන "පරමණ්ඩල" යාච්ඥාවේ එන සුවිශේෂ ම හා වැදගත් ම වචනය "පියාණනි" යන්න බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"යාච්ඥා කරන්නට උගන්වන්නැයි අපොස්තුළුවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුනට ඉගැන්වූ ජේසු සමිඳුන්, 'ඔබ යාච්ඥා කරන විට 'තාත්තේ' යැයි කියන ලෙස ඔවුනට උපදෙස් දුන්නා. ජේසු සමිඳුන් ගේ යාච්ඥාවේ 'රහස' මේ 'තාත්තේ' (පියාණනි) යන  වචනයයි. දෙවි පියාණන් වහන්සේ සමග පෞද්ගලික සහ විස්වසනීය සම්බන්ධතාවකින් යුතුව කතා බහ කිරීමට අපටත්  අවකාශ සැලසීම පිණිස ජේසු සමිඳුන් ම අපට ලබා දුන් යතුර, 'තාත්තේ' යන වචනයයි."

ඊළඟට සුදොතුම් පියතුමා පරමණ්ඩල යැදුමේ පළමු කොටසේ එන 'ඉල්ලීම්' පැහැදිලි කර දුන්නේ ය. මෙම කොටසින් අප කරන්නේ දෙවි පියාණන්ට අපගේ ජීවිතයේ පාලනය භාර දීම බව එතුමා පෙන්වා දුන්නේය.

"ප්‍රථම ඉල්ලීම් දෙක වන 'ඔබගේ ශ්‍රී නාමය ආරාධිත වේවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා!' යන්න 'පියාණනි' යන වචනය හා සම්බන්ධ වී තිබෙනවා. ජේසු සමිඳුන් අපට ඉගැන්වූ මේ යාච්ඥාව ක්‍රිස්තියානි අපගේ යාච්ඥාවයි. එබැවින් කිතුනු යැදුම මූලික වශයෙන් සමන්විත වන ප්‍රධාන කරුණ වන්නේ දෙවි පියාණන්ට අප තුළ ඉඩ ලබාදීමයි; අපගේ ජීවිත තුළ ක්‍රියා කිරීමට උන්වහන්සේට  ඉඩ දීමයි. උන්වහන්සේ ගේ සුපරිශුද්ධත්වය අප තුළින් විද්‍යමාන කරන ලෙස අප උන්වහන්සේගෙන් ඉල්ලනවා. එසේ ම ස්වකීය රාජකීයත්වය පතුරුවමින්, සිය දයාබර ස්වාමීත්වයේ පාලනය අපගේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටීම මගින් අප උන්වහන්සේට මෙම ඉඩ ලබා දෙනවා. "

ශු. ලූක් සුබ අස්නේ එන පරමණ්ඩල යාච්ඥාවේ තවත් ඉල්ලීම් තුනක් දක්නට තිබේ. එම ඉල්ලීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙලෙස විස්තර කළේය:

"ජේසු සමිඳුන් ඉගැන්වූ යාච්ඥාව මූලික මානව අවශ්‍යතා තුනක් ගැන කතා කරයි. එනම් ආහාර, සමාව සහ දුර්පරීක්ෂාවලදී සහයයි. මේ අවශ්‍යතා තුන නොමැතිව මනුෂ්‍යයාට ජීවත්විය නොහැකියි. අප මුලින් ම ඉල්ලන්නේ ආහාරයි. (අපගේ එදිනෙදා භෝජනය.) එය අපට අත්‍යවශ්‍යයි. කවදාවත් වැඩි වන්නේ නැහැ. ඊළඟට අප අපගේ වැරැදි වලට සමාව ඉල්ලා සිටිනවා. අප එසේ සමාව ඉල්ලන්නේ, අපගේ ජීවිතය තුළ අපගේ සහෝදරයා හා සමගි සන්ධානය වීමට ක්‍රියා කිරීමේ වරප්‍රසාදය ද අපට ලබා ගැනීම සඳහායි. එසේම අප ඉල්ලා සිටිනවා, දුර්පරීක්ෂා වලින් අප ගලවා ගන්නා ලෙස. මන්ද අප දුර්වල බවත් නපුරේ උගුල්වලට නිරන්තරයෙන් ගොදුරු වීමට අප නිරාවරණය වී ඇති බවත් අප දන්නා නිසයි."

යාච්ඥාව සම්බන්ධයෙන් ජේසු සමිදුන් උගන්වා වදාළ උපමා දෙක ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය: "මේ උපමා දෙකෙන් ජේසු සමිඳුන් අපට උපදෙස් දෙන්නේ පියාණන් වන දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබන ලෙසයි. අපගේ අවශ්‍යතාව කුමක්දැයි හඳුනා ගැනීමට හෝ එය අපට ලබාදීම සුදුසු බව අවබෝධ කරගැනීමට දෙවියන් වහන්සේට අපගේ යාච්ඥා අවශ්‍ය නොවේ. ඊට වඩා අප යාච්ඥා කරන්නේ අපගේ විශ්වාසයත් අපගේ ඉවසිල්ලත් ශක්තිමත් කරන ලෙස අයැද සිටීමටයි; එසේම අපට ඉතා අත්‍යවශ්‍ය හා වැදගත් දේ සඳහා දෙවියන්වහන්සේ හා එක්ව සටන් කිරීමටයි"

එහෙත් අපට අතිශයින් අත්‍යවශ්‍ය දේ අප අවබෝධ කරගෙන නොමැති බව ජේසු සමිඳුන් ගේ වචන ගෙනහැර දක්වමින් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය:

"අපට අත්‍යවශ්‍යම  අතිශයින්  වැදගත්ම දේ ඉල්ලා  අප බොහෝ විට යාච්ඥා කරන්නේ ම නැහැ. එනම්, ශුද්ධාත්මයානන් වහන්සේ යි. යහපත් ලෙස ජීවත්වීමට, ප්‍රඥාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත් වීමට සහ දේව කැමැත්ත ඉටු කිරීමට ශුද්ධාත්ම දීමනා අපට අවශ්‍යයි. එසේ නම්, අදින් පටන් ගන්නා සතියේ පුරා අප සියලු දෙනාම එකතු වී දෙවි පියාණන් ගෙන් මෙම ඉල්ලීම කරන්නේ නම් එය කෙතරම් සොඳුරු යාච්ඥාවක් වේවිද? අපි හැමෝම මෙහෙම ඉල්ලමු: 'පියාණනි, අපට ශුද්ධාත්මයාණන් දානය කල මැනව.'"

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය