"සහෝදරයා ගේ ලේ සලන්නට කිසිවකු හෝ දරන උත්සාහයන් යහපතාණන් දෙවියන් වහන්සේ වලක්වන සේක්වා!": ප්‍රංශයේ නීස් ප්‍රහාරය වෙනුවෙන් සුදොතුම් පියතුමා යාච්ඥා කරයි

"May every plan for terror and death be dispersed to prevent spilling of  bothers' blood": Pope prays on Bastille Day Attack

නීස් ප්‍රහාරයෙන් මිය ගිය කෙනෙකුගේ සිරුර අසල නිසලව සිටින බෝනික්කෙක්

(2016 ජූලි 17)
ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයට පැමිණෙන වන්දනාකරුවන් සමග යාච්ඥා කරති. එයින් විපතට පත්වූවන් පමණක් නොව මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරමින් "සිය සොහොයුරන් ගේ ලේ සොලවන්නට සැලසුම් කරන සියල්ලන්" උදෙසාත් උන්වහන්සේ යාච්ඥා කරති.

ජූලි 17 ඉරිදා දහවල් සිරිත් පරිදි  වතිකාන චතුරශ්‍රයේ  පැවැති තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව, සුදොතුම් පියතුමා ප්‍රංශයේ නීස් නුවරදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සිහිපත් කළේය. (ජුලි 14 වන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ නීස් නුවරට රැස්වී සිය රටේ නිදහස් දිනය සමරමින්  ප්‍රීති වෙමින් සිටි ජනතාව වෙත ට්‍රක් රථයකින් කඩා වැදුණු ත්‍රස්තවාදියෙක් එහි සිටි ජනතාව ට්‍රක් රථයට යටකරමින් ඉදිරියට ගියේය. මේ සිද්ධියෙන් අවම වශයෙන් 84 දෙනෙකු මියගොස් ඇති අතර 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව අලුත්ම වාර්තා කියයි. මිය ගිය අය අතර මල් කැකුළු බඳු ළමයි 10 දෙනෙක් ද වෙති.)

"මෙම කෘර ඝාතනයේ වේදනාව අප හදවත් වල ජීවමානව පවතිනවා" යි තුන්කාල ආරාධනා යැදුම අවසානයේ වන්දනාකරුවනට කතා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "මෙම ප්‍රහාරයේ දී (වාහනයක රෝද වලට ) යටකරන ලද අහිංසක ජීවිත ගැන, අහිංසක ළමයින් ද ඇතුළු ජීවිත ගැන අපි මහත් ශෝකයට පත්ව සිටිමු. මෙම සිද්ධියෙන් සංවේගයට පත්ව සිටින සියලු  පවුල් වෙතටත් සමස්ත ප්‍රංශ ජාතිය වෙතටත් මම හදවතින් බොහෝ සමීපව සිටින බව දන්වන්නට කැමතියි" යි එතුමා කියා සිටියේ ය.

"යහපත් පියාණන් වන දෙවියන් වහන්සේ මෙම සිද්ධියෙන් මෙලොවින් සමුගත් සියලුදෙනා ස්වකීය සදාතනික සාමයට ආදරයෙන් පිළිගන්නා සේක්වා! සිද්ධියෙන් තුවාල ලද සියලු දෙනාට උන්වහන්සේ සිය රැකවරණයත් දරා ගැනීමේ ශක්තියත් දානය කරන සේක්වා! විපතට පත් සියල්ලන් ගේ පවුල් උන්වහන්සේ සනසාලන සේක්වා!" යි සුදොතුම් පියතුමා යාච්ඥාශීලිව ප්‍රාර්ථනා කළේය.

මෙතෙක් මෙවැනි සිද්ධිවලදී අවධානය යොමු නොවූ දිශාවකට යොමුවෙමින් ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් වෙනුවෙන් ද  එතුමා මෙහිදී යාච්ඥා කළේය.

"සිය සහෝදරයා ගේ ලේ සලන්නට කිසිවකු හෝ දරන උත්සාහයන්, යහපතාණන් දෙවියන් වහන්සේ වලක්වන සේක්වා! එවැනි ලේ වැගිරීම් වැලැක්වීම සඳහා, ත්‍රස්තවාදය සහ මරණය පැතිරවීමට කරන සියලු සැලසුම් උන්වහන්සේ විසුරුවා හරින සේකවා!" යි එතුමා යාච්ඥා කළේය.

සිය පිටපතින් ඉවත්ව අදහස් දැක්වූ සුදොතුම් පියතුමා "මේ සිද්ධියෙන් වැලපෙන නීස් නගරවාසීන්වත් සියලු ප්‍රංශ ජනතාවත් දයාබර තාත්තා කෙනෙකු හා සහෝදරයකුගේ ප්‍රේමයෙන් මා වැළඳගන්නා බව මා දන්වන්නට කැමතියි" යි කීවේය.

ඉන්පසු සිද්ධියෙන් විපතට පත්වූවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සුළු මොහොතක් නිශ්ශබ්දව යදින්නැයි වන්දනාකරුවන් හා සංචාරකයන්ට ආරාධනා කළ සුදොතුම් පියතුමා, සියල්ලන් සමග "නමෝ මරිය" යැදුම කියමින් මේ සියලු යාච්ඥා දෙවියන් වහන්සේට ඔප්පු කළේය.

ජූලි 14 වනදා ප්‍රංශ ජනතාව  සමරන "ජාතික දිනය" ඉංග්‍රීසි කතාකරන රටවල හැඳින්වෙන්නේ  "බැස්ටීල දිනය" ( "Bastille Day") ලෙසයි. ප්‍රංශ ජාතිකයන් මෙදින උත්සවාකාරයෙන් සමරන්නේ ප්‍රංශ විප්ලවයට ජවය දෙමින් 1789 දී සිදුවූ බැස්ටීලයට පහර දීමේ සිද්ධියයි. බැස්ටීලය ප්‍රංශ නිදහසේ සහ ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සංකේතයකි.

ගිනිකෙළි සංදර්න ඇතුළු උත්සවාංග රැසකින් සමන්විත මෙම සමරු උත්සවය නැරඹීම සඳහා ප්‍රංශ ජාතිකයන් සේ ම සංචාරකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් මුහුදු තීරය ඔස්සේ  දිවෙන සුන්දර නීස් නගරයට ඉකුත් ජූලි 14වනදා රැස්ව සිටියහ. මොහමඩ් ලහුයේ - භුලෙල් නැමැත්තා විශාල ට්‍රක් රථයක් පදවාගෙන පැමිණ, ජනතාව යටකරමින් ඔවුන් මතින් තම  ට්‍රක් රථය පදවාගෙන ගියේ ජනතාව උත්සවයට සහභාගී වෙමින් සිටියදීය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය