"දිව්‍ය පූජාව පවත්වන විට පූජකවරුන් මුහුණ ලා සිටින දිශාවේ වෙනසක් සිදු වන්නේ නැහැ": වතිකාන ප්‍රකාශක පැහැදිලි කරයි.

"No change in Direction Priests face during Mass": Vatican spokesman explains 

කාදිනල් සේරා හිමි ලන්ඩනයේ සම්මන්ත්‍රණයේදී "ad orientem" පිළිවෙතට දිව්‍ය පූජාව පවත්වයි (සේයා CNA ප්‍රවෘත්ති සේවයෙන්)
(2016 ජූලි 14)
දිව්‍ය පූජාව පැවැත්වීමේදී පූජකවරුන් මුහුණ ලා සිටිය යුතු දිශාව සම්බන්ධයෙන් රෝම ක්‍යුරියාවේ ප්‍රමුඛතම කාදිනල් හිමි නමක් ඉකුත් සතියේ කල ප්‍රකාශයක් නිසා ලොව පුරා කතෝලික ජනවන්දනා හා දේව ධර්ම විශාරදයන් අතර නව විවාදයක් ආරම්භ  වූයේය . මේ නිසා නව උණුසුමක් ද හටගත් අතර, දෙවන වතිකාන කතිකාවෙන් පසුව ක්‍රියාත්මක වන  නූතන දිව්‍ය පූජා ක්‍රමයට හුරු වී සිටින ගිහියන් තුළ ද තරමක විමතියක් හා අවුලක් හටගෙන තිබිණ. මේ තත්වය සමනය කරමින් වතිකාන ප්‍රකාශකයා මේ සතියේ සඳුදා (ජූලි 11) කියා සිටියේ "දිව්‍ය පූජාව දැනට පවත්වන ආකාරයේ  වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලිව ප්‍රකාශ කර ඇති" බවයි.

මෙම නව කතිකාව ආරම්භ වූයේ දිව්‍ය වන්දනාව පිලිබඳ වතිකාන පර්ෂදයේ නායක අති උතුම් රොබට් සේරා කාදිනල් හිමිපාණන් ඉකුත් සතියේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති සම්මන්ත්‍රණයක දී කළ ප්‍රකාශයක් හේතුවෙනි.

දිව්‍ය පූජාව පවත්වද්දී සැදැහැ ජනතාව මුහුණ ලා සිටින දිශාවටම මුහුණ ලා ( “ad orientem,” "Facing East") දිව්‍ය පූජා යාගය ඔප්පු කරන ලෙස තමා ලොව පුරා සියලුම පුජාප්‍රසාදීන් ගෙන් ඉල්ලා සිටින බව ලන්ඩනයේ පැවැති ජනවන්දනාව පිලිබඳ සම්මන්ත්‍රණයක දී කාදිනල් සේරා හිමි කියා සිටියේ ය. (එනම්, දැනට දෙව්මැදුරු පවතින ආකාරයට, දිව්‍ය සත්ප්‍රසාද මංජුසාවට මුහුණ ලා - ජනතාවට පිටු පා- සිටින ආකාරයෙන්.) "හැකි සෑම අවස්තාවක ම බුද්ධිමත්ව සහ අවශ්‍ය ධර්මෝපදේශ පැහැදිලි කිරීම් කරමින් මෙය සිදු කරන්න. එසේ ම මෙය කළ යුත්තේ, දිව්‍ය පූජාව ජනතාව මුහුණ ලා සිටින දිශාවටම හැරී පැවැත්වීම සභාවටත් ජනතාවටත් යහපත් දෙයක් ය යන එඬේරික විශ්වාසයෙන් යුතුවය. ......අවම වශයෙන් මේ වසරේ ආගමන කාලයේ සිට මෙම චාරිත්‍රය කරන ලෙස ද මම පුජකවරුන් දිරිමත් කරමි" යයි සිය දීර්ඝ දේශනයේ දී රොබට් සේරා කාදිනල් හිමි කියා සිටියේ ය.

එතුමන් ගේ මෙම ප්‍රකාශය නිමේෂයකින් පුළුල් කතිකාවක් ආරම්භ කිරීමට හේතු විය. “ad orientem,” යන යෙදුමෙන්  හඳුන්වන පූජකවරුන් ජනතාව මුහුණ ලා සිටින දිශාවටම මුහුණලා පූජාව සිදුකිරීම, මෙතෙක් පවතින ජනවන්දනා රීතිවලට විරුද්ධ නොවේ. එහෙත් විවිධ සාධාරණ හේතු මත රටවල් කිහිපයක රදගුරු හිමිවරු වහාම ඊට විරෝධය ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කළහ.

ඒ අතරින් කාදිනල් සේරා හිමිපාණන් ගේ ප්‍රකාශය අධෛර්යවත් කරමින් මුලින්ම අදහස් ප්‍රකාශ කල නායකයකු වුයේ ලන්ඩන් නුවර ඇතුළත් වන එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් හි අගරදගුරු අති උතුම් වින්සන්ට් නිකලස් කාදිනල් හිමිපාණෝය. තම පදවියේ පූජකවරුන් ජනතාවට පිටුපා දිව්‍ය පූජාව පැවැත්වීම අධෛර්යවත් කරමින් එතුමා සිය පූජකවරුනට ලිපියක් යැව්වේ ය. "මෙම චාරිත්‍රය ආරම්භ කරන්නැයි වතිකානයේ දිව්‍ය වන්දනාව පිලිබඳ පර්ශදය උපදෙස් දුන්නත්, එය පෞද්ගලික වරණයක් ලෙස යොදා ගැනීම නීත්‍යානුකුල නොවන ක්‍රියාවකි" යයි එතුමා සිය ලියුමේ පෙන්වා දුන්නේ ය. "දිව්‍ය පූජාව යනු පූජකවරුනට සිය පෞද්ගලික තෝරාගැනීම් ක්‍රියාත්මක කිරීමට හෝ රස බැලීමට අවස්ථාවක් නොවේ" යයි  වින්සන්ට් නිකලස් කාදිනල් හිමි සිය ලියුමේ අවධාරණය කළේය.

මේ අතර ජූලි 11 වන දා නිවේදනයක් නිකුත් කළ වතිකාන ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා කියා සිටියේ දිව්‍ය පූජාව පැවැත්වෙන ක්‍රමයේ කිසිදු වෙනසක් ආගමන කාලයෙන් ආරම්භ නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රොබට් සේරා කාදිනල් හිමියන්ට ප්‍රකාශ බවයි. කාදිනල් තුමා ජූලි 9 වැනිදා සුදොතුම් පියතුමන් මුණගැසුණු අවස්ථාවේ එතුමා මේ බව දැනුම් දුන් බව ලොම්බාඩි පියතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

"දිව්‍ය පූජා යාගයේ ගෞරවය සම්බන්ධයෙන් සේරා කාදිනල් හිමිපාණෝ නිසි ලෙස සැලකිල්ල යොමු කරති. පූජාව පවත්වන ආකාරය මගින් දිව්‍ය සත්ප්‍රසාදයීය අබිරහසට නිසි ගෞරවයත් වන්දනාවත් ප්‍රකාශ විය යුතුය යන අදහසින් පලකෙරෙන මෙම සැලකිල්ල නිවැරදි ය; සාධාරණයැ"යි  එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ නමුත් ලොව විවිධ ප්‍රදේශවලින් ලැබෙන ප්‍රතිචාර මගින් පෙනී යන්නේ සේරා කාදිනල් තුමන් ගේ අදහස සාවද්‍ය ලෙස අර්ථකථනය වී ඇති බව යැයි ලොම්බාඩි පියතුමා කියයි. "පාප් වහන්සේ ලාගේ ප්‍රකාශ ද උපුටා දක්වමින් දැනට භාවිත කෙරෙන ජනවන්දනා සම්මතයන්ට වෙනස් වූ නව ක්‍රමවේදයක් ගැන එතුමන් විසින් යෝජනා කර ඇතිවා සේ හැඟී යන පරිදි එතුමා ගේ ප්‍රකාශය දුර්වල ලෙස අර්ථ දක්වා තිබේ."

දැනට භාවිත වන ජනවන්දනා සම්මතයන් වතිකාන මාධ්‍ය ප්‍රකාශක පියතුමා ඊළඟට විස්තර කරයි.

"හැකි සෑම අවස්ථාවකම දිව්‍ය පූජාව ජනතාව දෙසට මුහුණ ලා ඔප්පු කළ හැකි පරිදි පූජාසනය බිත්තියෙන් ඈත් කොට තැනිය යුතු අතර, අභිමත ආකාරය වන්නේ එයයි" යනුවෙන් සඳහන් වන, දිව්‍ය පුජාව සඳහා භාවිත කෙරෙන රෝමානු මිසල් පොතේ එන "පොදු උපදෙස්" තවමත් බලපැවැත්වෙන බව වතිකාන ප්‍රකාශක පියතුමා පෙන්වා දෙයි.

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් දා වතිකානයේ දිව්‍ය වන්දනාව පිලිබඳ පර්ෂදයේ කාර්යාලය බැහැදකින්නට ගියේය. එහිදී උන්වහන්සේ කියා සිටියේ 'සයවැනි පාවුළු පාප්වහන්සේ විසින් පනවා ප්‍රසිද්ධ කරන ලද දිව්‍ය පූජාවේ සාමාන්‍ය පිළිවෙත' වෙනසකින් තොරව බලපැවැත්වෙන බවයි. සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ විසින් අවසර දෙන ලද දිව්‍ය පුජාවේ 'අතිවිශේෂ' පිළිවෙත කිසිවිටෙකත් සාමාන්‍ය පිළිවෙතට වඩා ඉහළ තත්වයක් නොගන්නා බව ද උන්වහන්සේ එහි දී අවධාරණය කල" බව ලොම්බාඩි පියතුමා සිහිපත් කරයි.

එතුමා පෙන්වා දෙන්නේ දෙවන වතිකාන කතිකාවෙන් පසුව ක්‍රියාත්මක කරන ලද දිව්‍ය පූජා පිළිවෙතේ  වත්මන් ප්‍රතිමානයන් නොවෙනස්ව ක්‍රියාත්මක වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය