"හිට්ලර්ට පක්ෂපාති විය නොහැකියි" එඩිතරව කී ගිහි නායකයා භාග්‍යවරයට: කිතුනු හෘදය සාක්ෂියේ ආදර්ශය

Layman who refused to swear allegiance to Hitler declared a Martyr  

සුදොතුම් පියතුමා කාදිනල් පර්ෂද සාමාන්‍ය රැස්වීමේ දී භාග්‍යවරය ප්‍රකාශ කරන අවස්ථාවක්

(2016 ජූලි 10)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රාණ පරිත්යාගීන් 8 දෙනෙකු ශුද්ධවරයට තවත් සමීප කරමින් භාග්‍යවයරයට ඉකුත් සිකුරාදා ඔසවනු ලැබිණි.

අලුතින් භාග්‍යවන්තයන් වන සිය විශ්වාසය වෙනුවෙන් පණ පිදූ මෙම කතෝලිකයන් අතර ආදර්ශවත් ගිහි නායකයෙක් ද වෙයි. ඔහු නම් දෙවන ලෝක මහා යුද්ධ සමයේ නාසි ආඥාදායක හිට්ලර්ට සිය පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කල ඉතාලි ජාතික මයිර්-නුසර් ය. සාන්තුවරයන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමියන් ගේ නිර්දේශය මත දේව සේවක මයිර්-නුසර් භාග්‍යවරයට ඔසවනු ලබන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සිකුරාදා (2016 ජූලි 8 ) පැවැති කාදිනල් පර්ෂද රැස්වීමේ දී ප්‍රකාශ කලේය.

ජීවිතය පිලිබඳ බිය නොතකා, සිය හදවත තුළ පවතින දේව හඬ ශබ්දය වන හෘදය සාක්ෂියට සවන් දී, දෙවියන් වහන්සේට ප්‍රසන්න හරි දේ තෝරාගෙන ඒ වෙනුවෙන් සිය දිවි පිදූ නව භාග්‍යවර මයිර්-නුසර් තුමන් ගේ ජීවිතය, විවිධ දේශපාලන, සමාජ ආර්ථික දර්ශන හා මතවාද වලට මුහුණ දෙමින් ජීවත් වන ශ්‍රී ලංකාවේ කතෝලිකයනට යුගයට උචිත මහඟු ආදර්ශයකි. අභියෝගයකි. එබැවින් එතුමන් ගේ ජීවිත කතාව සැකෙවින් වතිකාන සුළඟට මුසු කෙරෙන්නේ දේශපාලනය, ජනමාධ්‍ය, ආර්ථික කටයුතු, සිවිල් සේවාව, සමාජ සේවය  යන ජන ජීවිතයට බලපෑම් කල හැකි ක්ෂේත්‍රවල රැකියා කරන සේ ම එදිනෙදා සාමාන්‍ය ජීවිත ගත කරන, සිය ඡන්ද බලයෙන් ආණ්ඩු මාරු කිරීමට ද බලය ඇති සියලු ජනතාවට එම ජීවිතය අභියෝගයක් වනු ඇත යන අපේක්ෂාවෙනි.

1927 දෙසැම්බර් 27 වනදා මයිර්-නුසර් දරුවා ඉපදුනේ උතුරු දිග ඉතාලියේ බොල්සානෝ නම් ගම්මානයේ ගොවි පවුලක දෙවැනි දරුවා ලෙසය. ඔහු ගේ දෙමාපියෝ යහපත් කිතුනු ජීවිත ගතකරමින් සිය දරුවන් ද කිතුනු ජීවිත පරිසරයකට යොමු කල ආදර්ශවත් කිතුනුවෝ වූහ.

නුසර් ගේ දෙමාපියෝ දුප්පත් අය වූහ. ඔහුගේ අයියා, ජේකබ්, පූජකවරය ලැබීමේ අපේක්ෂාවෙන් දෙව්සත්හලට ඇතුළු විය. මේ නිසා තවදුරටත් ඉගෙනීමට නොහැකි වූ නුසර්, මුලින් ම ගොවිපලේ වැඩ කර පසුව බොල්සානොවේ පෞද්ගලික සමාගමක ලිපිකරුවෙකු ලෙස සේවය කිරීමට බැඳුනේ ය.

ඉගෙනීමට අවස්ථාව නොලැබුනත් උපතින් බුද්ධි ප්‍රභාව ලබා සිටි නුසර් සිය විවේකී වෙලාව වෙන් කලේ පත පොත කියවීමට ය. ඔහු ආගමික පදනමක් ඇති පත පොත කියවීමට බොහෝ ප්‍රිය කළේය. ඔහු කියවූ පොත් අතර ෆ්‍රෙඩරික් ඔසානාම්, සාන්ත තෝමස් අක්වයිනස්. සාන්ත තෝමස් මුවර් යන ශුද්ධවරයන් ගේ කෘතීන් ද සාන්ත වින්සන් ද පාවුලා තුමන් ගේ ජීවිත කතාව ද විය. සිය කතෝලික හර්දය සාක්ෂිය පාවා නොදී ඒ වෙනුවෙන්  ජීවිතය පවා පුද දීමට සිදු වූ  සාන්ත තෝමස් මුවර් තුමන් ගේ ජීවිතයත් දුප්පතුනට මහත් සේ ප්‍රේම කල සාන්ත වින්සන් ද පාවුලා තුමන් ගේ ජීවිතයත් ඔහු ගේ ජීවිතයට තදින් ම බලපා තිබු බව ඔහුගේ ජීවිතයේ ඉතිරි භාගය විශ්ලේෂණය කල විට දක්නට ලැබේ.

වයස අවුරු 22 දී සාන්ත වින්සන් ද පාවුලා සමාජයට සම්බන්ධ වූ නුසර් දුප්පතුන්, කොන් වූවන් හා සමාජයේ දුර්වල ජනකොටස් වලට උපකාර කිරීමට සිය ජීවිතය කැප කලේ ය.

මයිර්-නුසර් කතෝලික ක්‍රියාකාරිත්ව ව්‍යාපාරයට  (Catholic Action) ද සම්බන්ධ වී සිටියේ ය. 1934 දී ඔහු ට්‍රෙන්ට් රදගුරු පදවියේ කතෝලික ක්‍රියාකාරීත්ව ව්‍යාපාරයේ  ප්‍රධානියා ලෙස තේරී පත්විය. 1937 දී ඔහු බොල්සානෝ පදවියේ සාන්ත වින්සෙන්ති ද පාවුලා සමාජයේ සභාපතිවරයා වුයේ ය. එම කාලයේ දී පදවිය පුරා දුප්පතුන් හා අගහිඟ කමින් පෙලෙන්නන් සොයා යාමටත් ඔවුනට සරණය වීමටත් හේ බොහෝ කාලයක් කැප කලේ ය.

එය 1939 වසරයි. දෙවන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් යුරෝපය පුරා පැතිරෙන්නට වූයේ මේ කාලයේය. මොහොතක්වත් පමා නොකළ නුසර් නාසි විරෝධී  “Andreas Hofer Bund.” නමැති පෙරමුණට බැඳුනේ ය.

මේ අතර ඉතාලියේ ආඥාදායක මුසෝලිනි 1939 දී බලයෙන් පහකරනු ලැබිණි. එයින් අනතුරුව රට පුරා සිවිල් යුද්ධයක් ආරම්භ විය. මෙම අවකාශය තුළ හිට්ලර් ගේ නාසි හමුදා ඉතාලිය ආක්‍රමණය කල අතර, උතුරු දිග ඉතාලිය යටත් කරගෙන නාසි පාලනයක් පිහිටුවන ලදී.

මෙම නාසි රෙජීමය විසින් "ආරක්ෂක බලකාය" යන අරුතැති  Schutzstaffel (SS ) නම් හමුදාවක් ගොඩනගනු ලැබිණි. මේ සඳහා ඔව්හු ඉතාලියේ තමන්ට යටත් ප්‍රදේශවලින් මෙන්ම යටත් නොමැති පෙදෙස්වලින් ද කැමැත්තෙන් එක් වන පුද්ගලයන් බඳවා ගත් අතර එසේ කැමැති නොවූ අය බලහත්කාරයෙන් බඳවා ගන්නා ලදහ.

මයිර්-නුසර් ද නාසි බලකායට බලහත්කාරයෙන් බඳවා ගැනිණි. මේ අනුව SS හමුදාවේ පුහුණුව සඳහා 1944 දී ඔහුට සිය බිරිඳත් අලුත උපන් දරුවාත් හැරදා ප්‍රසියාවට යන්නට සිදුවිය. SS හමුදාවේ පුහුණුව අතරතුර බෙහෙවින් තීරණාත්මක මොහොතක් එළැඹියේය. එනම් ඇඩොල්ෆ් හිට්ලර්ට පක්ෂපාතීත්වය ප්‍රකාශ කෙරෙන ප්‍රතිඥාව ප්‍රකාශ  කිරීමයි.  මේ අනුව යුද සේවයේ තහවුරු කිරීම සඳහා එම ප්‍රතිඥාව දෙන්නැයි නාසි හමුදා නිලධාරීහු ඔහුට නියෝග කළහ. එහෙත් එම ප්‍රතිඥාව දීම මයිර්නුසර් ප්‍රතික්ෂේප කළේය.

නාසි හමුදා යටතේ මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකට දඬුවම මරණයයි. එහෙත් තමන් එම ප්‍රතිඥාව දීම ප්‍රතික්ෂේප කරන බව නුසර් බලවත් හඬින් හමුදා ජනරාල්වරයාට ප්‍රකාශ කල බවට  ඔහු සමග සිටි සෙබල මිතුරෙක් සාක්ෂි දී  තිබේ. "හිට්ලර්ට පක්ෂපාති වන බවට දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මට පොරොන්දු දිය නොහැකියි. මට එසේ කල නොහැකි, මගේ ඇදහිල්ලත් (ක්‍රිස්තු ධර්මයත්) මගේ හර්දය සාක්ෂියත් මට ඊට ඉඩ නොදෙන නිසායි " යැයි ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කෙළ්ය. ඔහුගේ ජීවිතය ගැන බිය වූ ඔහුගේ මිතුරෝ මෙම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන පොරොන්දුව දෙන්නැයි ඔහුට යළි යළිත් ඇවිටිලි කල ද, ඒ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කලේ ය.

අවසානයේ දී නඩු විමසන තෙක් ඔහු සිරගතකරනු ලැබිණි. 1945 දී හමුදා අධිකරණයක් විසින් රාජ ද්‍රෝහී චෝදනාවට වරදකරු කරනු ලැබූ ඔහු ඩචෝ සිර කඳවුරේ දී වෙඩි තබා ඝාතනය කිරීමට තීන්දු කෙරිණ.

කෙසේ නමුත් කඳවුරට යන අතරතුර ඔහුට අතීසාර රෝගය  වැළඳී එයින් ඔහු මිය ගියේ ය. කඳවුරට ලඟා වීමට පෙර ඔහු මිය ගියේ 1945 පෙබරවාරි 24 වනදා ය. ඔහුගේ මෘත දේහය දුම්රිය තුළ තිබී සොයාගන්නා විට ශුද්ධ බයිබලයක් සහ ජපමාලයක් ඔහු ළඟ තිබෙනු දක්නා ලදී.

මයිර් - නුසර් ගේ ශුද්ධවන්ත භාවය පිලිබඳ වැඩපිළිවෙල ආරම්භ කරන ලද්දේ බොල්සානෝ පදවිය විසිනි. 2005 දී "දේව සේවක" යන නාමයෙන් පිදුම් ලැබූ ඔහු "භාග්‍යවන්ත" තත්වයට එසැවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සිකුරාදා අනුමැතිය දුන්නේ ය.

යහපත් කිතුනුවකුට සංවේදී හර්ද සාක්ෂියක් තිබිය යුතුය. එය මිනිසුන් තුළ ඇති දෙවියන් වහන්සේ ගේ හඬ බව කතෝලික ධර්මෝපදේශය උගන්වයි. තාන්න මාන්න හෝ වාසි හෝ වෙනත් කිසිදු අරමුණක් හෝ වෙනුවෙන් එම හර්දය සාක්ෂිය කිසිදු රජෙකුට හෝ වෙනත් කෙනෙකුට පාවා නොදිය යුතුය. අලෙවි නොකළ යුතු ය. විවිධ පීඩන මෙන්ම විවිධ තාන්න මාන්න හා වාසි හමුවේ කතෝලික ධර්මොපදේශයෙන් ඉගැන්වෙන දේට සාක්ෂි දරමින් තම හර්දය සාක්ෂියේ හඬට සවන් දී ඒ අනුව ජීවත් වෙන තැනැත්තේ භාග්‍යවන්ත වන්නේ ය. 

ලෝකයේ විවධ ප්‍රදේශවල තවමත් හිට්ලර් ලා බිහිවෙති. කිතුනු හර්දය සාක්ෂි උගසට ගැනීමට, සින්නකර ගැනීමට හෝ නොහැකි නම් තර්ජනයෙන් බිය ගන්වා උදුරා ගැනීමට ඔව්හු උත්සාහ කරති. 
අපි දෙවියන් වහන්සේට පක්ෂපාතී වෙමු ද? හිට්ලර් ලාට පක්ෂපාති වෙමු ද? මේ නවක සාන්තුවරයා කිතුනුවනට දෙන අභියෝගය එයයි. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය