වතිකාන මාධ්‍ය කාර්යාලයේ නව ප්‍රධානියා ලෙස ගිහියෙක් පත්කෙරේ - ලොම්බාඩි පියතුමා සමුගනියි.

Pope appoints a former journalist to lead the Holy See Press Office; a woman named the Vice-Director 

ශුද්ධාසනයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂිකාව සඳුදා (ජූලි 11)  සුදොතුම් පියතුමන් හමුවූ අවස්ථාව
(2016 ජූලි 11)
ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීණ ගිහි ප්‍රවෘත්ති කලාවේදියෙක් පත්කෙරේ

මෙම තනතුරට අලුතින් පත්කරනු ලැබ  සිටින්නේ ඇමෙරිකානු ජාතික ප්‍රවෘත්ති කලාවේදියකු වන ග්‍රෙග් බර්ක් මහතායි. ඔහු කලක් තිස්සේ වතිකානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස ද කටයුතු කරමින් සිටියේය.

ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස ස්පාඥ්ඥ ජාතික පැලෝමා ගාර්ෂියා ඔවහේරෝ මහත්මිය පත් කරනු ලැබ සිටියි. ඇය වතිකානයේ මෙතරම් ඉහල තනතුරකට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම නව පත්වීම් කරන ලද බව ශුද්ධාසනය සඳුදා (ජූලි 11) නිවේදනය කළේය.

නව පත්වීම් අගෝස්තු පළමුවැනි දා සිට ක්‍රියාත්මක වෙයි.

ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ ජේසු  නිකායික ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා සිය ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමන්ට භාර දී තිබේ. බොහෝ කලක සිට එතුමාට මෙම සේවාවෙන් සමුගැනීමට අවශ්‍යව තිබුනේය.

වතිකානයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් මහතා සහ සහකාර අධ්‍යක්ෂිකා පැලෝමා ගාර්ෂියා ඔවහේරෝ මහත්මිය සඳුදා සුදොතුම් පියතුමා හමුවූහ.

"මගේ සේවාවේ පරමාර්ථය ඉතා පැහැදිලියි: එනම් සුදොතුම් පියතුමාට සේවය කිරීමයි" යැයි මෙම පත්වීම් නිවේදනය කරනු ලැබීමෙන් පසුව බර්ක් මහතා වාර්තාකරුවනට කීවේය. "මේ පත්වීම් ගැන යාච්ඥා කල බව අප  සුදොතුම් පියතුමා හමු වූ අවස්ථාවේ එතුමා අපට කීවා." යි ඔහු සඳහන් කලේ ය. අද (ජූලි 11) ශු. බෙනඩික් මුනිදුන් ගේ මංගල්‍යය සැමරෙන දින මේ පත්වීම ලැබීම ආශිර්වාදයක් බව හේ කියා සිටියේ ය. "මේ දූත කාර්යයේ කාර්ය භාරය ගැන මට සුදොතුම් පියතුමා විශේෂ උපදේශයක් දුන්නේ නැහැ. 'ඔබට ජනසන්නිවේදනය ගැන උපදෙස් දෙන එක, හරියට මැරඩෝනාට පාපන්දු ගැන උපදෙස් දෙනව වගේ' යැයි  එතුමා අපට කීවා" යැයි ඔහු කැනඩාවේ Salt & Light රූපවාහිනියට පැවසුවේය.

මාධ්‍ය කාර්යාලයේ සේවයෙන් සමුගෙන යන ලොම්බාඩි පියතුමා ගේ සේවාව බර්ක් මහතා අගය කලේ ය. "එතුමා වසර 10ක් මෙම භාරදූර වගකීම ඉටුකලා. එතුමාගේ කැපවීම, ත්‍යාගශීලිබව, කරුණාව සහ ඉවසීම ඉතා ඉහලයි. ප්‍රශංසනීයයි. මේ එතුමාගේ දීර්ඝ ගුණධර්ම ලේඛනයේ මට ඉක්මනින් මතක් වෙන කිහිපයක් පමණයි" ඔහු කීවේය.

ඔවහේරෝ මහත්මිය කියා සිටියේ මාධ්‍ය කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වන ප්‍රථම කාන්තාව වීම "ස්වාභාවික" දෙයක් බවයි. "මම ප්‍රථම කාන්තාව; එහි ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න. කන්‍ය මරිය තුමිය සභාවේ ප්‍රථම කාන්තාව නොවේද? ස්වාමීන් වහන්සේ ගේ උත්ථානය පිලිබඳ සුබාරංචිය ප්‍රකාශ කරන්නට ප්‍රථමයෙන් ම දිව ගියේ කාන්තාවන් නොවේද? ඉතින් මට පෙනෙන්නේ මෙය ඉතා ස්වාභාවික දෙයක් කියායි. අපි විශිෂ්ට සුබාරංචි ප්‍රකාශ කරන්න කැමතියි. අපි එය කරමු" යැයි ඈ කියා සිටියා ය.

නව අධ්‍යක්ෂවරු 

ග්‍රෙග් බර්ක් 1983 දී ඇමෙරිකාවේ කොලම්බියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය කලාවට විශේෂඥතාව සහිතව තුලනාත්මක සාහිත්‍ය පිලිබඳ උපාධියක්  දිනා ගත්තේ ය. 1990 සිට ඔහු ජාත්‍යන්තර TIME සඟරාවේ ප්‍රවෘත්ති කලාවේදියකු ලෙස එක්විය. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් "වසරේ පුද්ගලයා" ලෙස TIME සඟරාව විසින් නම් කරන ලද 1994 දී බර්ක් එම සඟරාවේ රෝම වාර්තාකරු ලෙස සේවය කරමින් සිටියේ ය. 2001 සිට ඔහු ඇමෙරිකාවේ FOX NEWS ප්‍රවෘත්ති සේවාවේ රෝම වාර්තාකරු ලෙස පත්විය. 2012 දී ඔහු ශුද්ධාසන (වතිකානයේ) රාජ්‍ය ලේකම් කාර්යාලයේ ජනමාධ්‍ය උපදේශකවරයා ලෙස පත්වීම් ලැබීය. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ යටතේ ග්‍රෙග් බර්ක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු  කරමින් සිටියේ ය.යහපත් කතෝලික පවුලකට උරුමකම් කියන ඔහු "ඕපුස් දේයී" සමාජයේ සාමාජිකයෙක් ද වේ.

ශුද්ධාසන ප්‍රකාශක ලෙස ගිහියකු පත්වන ප්‍රථම අවස්තාව මෙය නොවේ. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ගේ සමයේ වතිකාන ප්‍රකාශක ලෙස කටයුතු කලේ ජෝකින් නවාරෝ-වොල්ස් මහතා ය.

නව සහකාර අධ්‍යක්ෂිකා පැලෝමා ගාර්ෂියා ඔවහේරෝ මහත්මිය ස්පාඥ්ඥයේ කොම්පියුටෙන්සේ සරසවියේ  ජනමාධ්‍ය පිලිබඳ උපාධිධාරිනියකි. 2001 දී ස්පාඥ්ඥ අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනාගත් ඇය 2001 දී නිව් යෝක් විශ්වවිද්‍යාලයෙන් පරිපාලන ක්‍රමවේද සහ සන්නිවේදනය පිලිබඳ විශේෂතා උපාධියක් ලැබුවාය. 2012 සිට ඇය ස්පාඥ්ඥයේ රාජ්‍ය ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක රෝම වාර්තාකාරිනිය ලෙස ඇය කටයුතු කරමින් සිටියා ය.

මෙම නව අධ්‍යක්ෂවරු දෙදෙනා ඉංග්‍රීසි, ස්පාඥ්ඥ, ඉතාලි, ප්‍රංශ සහ චීන යන භාෂා කතා කරති.

නව ජනමාධ්‍ය අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ශුද්ධාත්ම ආලෝකය ඉල්ලා යාච්ඥා කරන්නැයි 'වතිකාන සුළඟ" පාඨක ඔබෙගන් කාරුණිකව ඉල්ලා සිටියි.

සේවයෙන් සමුගන්නා ලෝම්බාඩි පියතුමා 2015 ජනවාරියේ ශ්‍රී ලංකාවට පැමිණි පාප්වහන්සේගේ මාධ්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. මේ නිසා එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය මිතුරන් ගේ මිතුරෙක් ද වේ. ජේසු නිකාය තුළ එතුමන් ගේ නව දූත මෙහෙවරට "වතිකාන සුළඟ" දෙව් ආසිරි පතයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය