"යාච්ඥාව: සංවෘතභාවයෙන් විවෘත භාවයට හද දොරටු විවර කරන දේව කැමැත්තේ නිහතමානී උපකරණය"

"Prayer: The way out of a close heart and mind": Pope's Homily to new Archbishops 


(2016  ජූලි 01)
තමන් තුළ සංවෘත නොවී දෙවියන්වහන්සේ ගේ විශ්මයන්ට විවෘතව සිටීම සඳහා යාච්ඥාව තුළ ශක්තිමත් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව අගරදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි.

ජුනි 29 වන බදාදා සැමැරුණු ශුද්ධවූ පේදුරු - පාවුළු මහා අපෝස්තුළුවරුන් ගේ මංගල්‍ය දින දිව්‍ය යාගයේ දී නව අගරදගුරු හිමිවරුන් වෙත පැල්ලියම්  ප්‍රදානය කරමින් සුදොතුම් පියතුමා මේ බව ප්‍රකාශ කළේය. නව අගරදගුරු හිමිවරු 25 නමක් එදින සුදුතුම් පියතුමාගෙන් සිය පැල්ලියම ලබා ගත්හ.

"සංවෘත භාවයේ (වැසී සිටීමේ) සිට විවෘතභාවය වෙත මං පෙතක් පෑදීමේ වරප්‍රසාදය දානය කිරීමෙහි ලා යාච්ඥාව උපකාරී වෙයි. බිය වීමේ සිට දිරිමත් වීම දක්වාත්, ශෝකයේ සිට ප්‍රීතිය දක්වාත්, භේද වීමේ සිට එක්සත් බව දක්වාත් මාර්ග විවර කිරීමට යාච්ඥාව උපකාරී වෙයි," යැයි සුදොතුම් පියතුමා කීවේය.

සුදොතුම් පියතුමා මෙම පණිවිඩය ලබා දුන්නේ මෙම මංගල්‍ය දින පළමු දේව ප්‍රකාශනය සඳහා තෝරාගෙන තිබූ අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ පාඨය ගැන මෙනෙහි කරමිනි. මෙම කියවීමේ "වැසීම් සහ විවෘත කිරීම්" තුනක් මුණ ගැසෙන බව එතුමා පැහැදිලි කලේය.

පළමුවන අවස්තාව වන්නේ පේදුරු තුමා සිර මැදිරියක් තුළ සිරගත කොට සිටි අවස්ථාවයි. එවිට, (එම කාලයේ කිතුනුවනට මුහුණ දීමට  සිදු වී තිබු බියකරු තත්වය නිසා බියෙන්)  'දොරවල් වසාගෙන' ගෙවල් තුළ සැඟවී සිටි  කිතුනු ජන ප්‍රජාව පේදුරු තුමන් වෙනුවෙන් යාච්ඥා කරති. අවසානයේ පේදුරු තුමා නිදහස ලබයි. "මේ සෑම මොහොතකම විසඳුම් මාර්ගය ලෙස පෙනෙන්නට ඇත්තේ යාච්ඥාවයි. විශේෂයෙන් ම වදහිංසා සහ බිය හේතුවෙන් තමන් තුල වැසී සිටින කිතුනු ජන ප්‍රජාවට  'තමන් වෙතින් පිටතට යාමේ මං පෙත' ලෙස  පෙනෙන්නේ එයයි" යි සුදොතුම් පියතුමා කීවේය.

"සිය සමිඳුන් විසින් ලබා දුන් මෙහෙවර ආරම්භයේම හෙරෝද් රජ විසින් සිරගත කරනු ලැබ මරණයට පත් කිරීමේ අනතුරට ලක්ව සිටි පේදුරු තුමාට ඉන්  පිටතට පැමිණීමේ මංපෙත වූයේ යාච්ඥාවයි. එතුමන් සිරගතකොට සිටි කාලයේ කිතුනු ජන ප්‍රජාව එතුමන් වෙනුවෙන් යාච්ඥා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ එතුමන් නිදහස් කිරීම සඳහා දේවදූතයෙක් එවනවා. මේ අනුව තනි තනිවත්, ප්‍රජාවක් හැටියටත්, අප 'අප තුළම වැසී සිටීමෙන් ඉවත් වී පිටතට පැමිණීම' සඳහා, දෙවියන් වහන්සේ ගේ අතේ සහ උන්වහන්සේ ගේ කැමැත්ත තුළ ක්‍රියාකරන ඉතා නිහතමානි  උපකරණයක් ලෙස යාච්ඥාවඅපට දකින්නට පුළුවන්. "

මෙදින දේව ප්‍රකාශනයේ "විවෘත වීම" ගැන කියවෙන දෙවැනි අවස්ථාව, ශු. පාවුළු තුමා තමන් මුහුණ දීමට නියමිතව සිටින මරණ දඬුවම අබියස දකින "විමුක්තියට විවෘත වීමේ මංපෙත" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේය: "ධර්මදානය සඳහා තමන් ශක්තිමත් කිරීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාට අමතරව ශු. පාවුළු තුමා පවසන්නේ දැන් තමන්ට සදාතනික ජීවිතය සඳහා 'වඩා පුළුල් ප්‍රවේශයක් විවර වී " ඇති බවයි. සිය මිහිමත 'තරග දිවීම'  අවසානයේ එය තමන් වෙනුවෙන් සුදානම්ව තබෙන බව එතුමා කියනවා. මේ පරිච්ඡේදය ගැන මෙනෙහි කරන විට අපට පැහැදිලි වන්නේ මේ මහා අපොස්තුලුවරයාගේ ජීවිතය තුළ සුබ අස්න දේශනා කිරීම සඳහා එතුමන් 'තමන් වෙතින් පිටතට යාමේ" ප්‍රතිඵලය යි" යයි සුදොතුම් පියතුමා පැහැදිලි කලේය.

පේදුරු තුමාගේ ජීවිතය ද දෙවියන් වහන්සේ ගේ විශ්මයන්ට විවෘත වූ ජීවිතයක් බව එතුමා පෙන්වා දුන්නේ ය. මෙදින සුබ අස්න සඳහා තොරාගෙන් තිබුනේ පේදුරු තුමා ගේ මහා ප්‍රකාශනයයි. "පේදුරු තුමා ගේ ජීවිතය - එනම්, අප සෑම කෙනෙකු ගේ ම ජීවිත  බඳු,  ගලීලයේ සිමියොන් නමැති ධීවරයා ගේ ජීවිතය - දෙවිපියාණන් ගෙන් ලැබෙන විශ්වාසය නමැති  වරප්‍රසාදය ලැබූ විට විවෘත වන ආකාරය, පූර්ණ වශයෙන් විවෘත වන ආකාරය, ජේසු සමිඳුන් අපට පෙන්වා දෙනවා. ජේසු සමිඳුන් ගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම මගින් පේදුරු තුමා දීර්ඝ, දුෂ්කර ගමනක් ආරම්භ කරනවා. මෙම ගමන ඔහුව යොමු කරන්නේ සිය මානව ශක්තීන් සියල්ල ඉවත ලමින්, විශේෂයෙන් ම සිය අහංකාරය ඉවත ලමින්, තමන් වෙතින් ඉවත්ව 'පිටතට ගමන් කිරීමටයි.'" පේදුරු තුමන් ගේ ඇදහිල්ල හීන නොවන ලෙස යාච්ඥා කරන ජේසු සමිඳුන් පේදුරු තුමන් විසින් තමන් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු එතුමන් වෙත හෙළු දයාබර බැල්ම ගැනද සුදොතුම් පියතුමා සිහිපත් කළේය:

"ඒ මොහොතේ පේදුරු තුමා ගේ සිත ආත්මාර්ථකාමී අහංකාරයේ  සහ බියයේ සිරමැදිරියෙන් නිදහස ලැබුවා . ඒ ලැබූ නිදහසත් සමග,  කුරුසියේ මාර්ගයේ තමා අනුගමනය කරන ලෙස ජේසු සමිඳුන් කරන කැඳවීමට සිය සිත වසා ගැනීම සඳහා ඇති දුර්පරීක්ෂාව පරාජය කිරීමට එතුමාට එතුමාට හැකිවුනා."

පේදුරු අපෝස්තුලු තුමා සිය සිතෙන් ලැබූ මෙම නිදහස එතුමා හෙරෝදි ගේ සිරමැදිරියෙන් නිදහස ලැබූ අවස්ථාව සමග සුදොතුම් පියතුමා යළිත් සම්බන්ධ කලේ ය.

දෙවියන් වහන්සේ ගේ හස්තයේ  අනුග්‍රයෙන්  නිදහස ලබා පැමිණි එතුමා, මාර්කු නම් ලත් ජුවාම් ගේ මව වූ මරියා නැමැත්තිය ගේ නිවසේ දොරට තට්ටු කරයි. මේ අවස්ථාවේ දී  නිවසේ මෙහෙකාරිය වන රෝධා පේදුරු තුමා ගේ කටහඬ හඳුනා ගෙන ප්‍රීතියට පැමිණෙන නමුත් 'දොර විවෘත කර එතුමන්ට  ඇතුළට එන්නට ඉඩ දෙනවා' වෙනුවට මේ පුවත පවසන්නට සිය ස්වාමිදුව සොයා ගේ තුලට දුවගෙන යයි.

"තරමක හාස්‍යජනක ජවනිකාවක් සේ පෙනෙන්නට ඇති  මෙම විස්තරය අපට අවබෝධ කර දෙන්නේ, ඒ යුගයේ දී  කිතුනු ජන පවුල දොරගුළු ලාගත් ගෙවල් වලට කොටු කල භීතියේ පරිසරයයි. එපමණක් නොවේ. මේ වසාගත් ගෙවල් වලට කොටුවූ කිතුනු ජන පවුල, දෙවියන් වහන්සේ ගේ 'විශ්මයන්ටත් දොරගුළු ලාගෙන' සිටි බව මෙයින් පසක් වෙනවා.  අනතුරු අබියස තමන් තුළ  දොරගුළු ලා ගැනීමට සභාව පොළඹවන දුර්පරීක්ෂාව ගැන මෙම පණිවිඩය අපට කතාකරනවා. දෙවියන් වහන්සේට ක්‍රියා කල හැකි කුඩා අවකාශයන් ද අපට පෙනෙන්නට තිබෙනවා. නිවස තුළ එකතු වී යාච්ඥා කරමින් සිටි කිතුනුවන් ගෙන්  මේ බව පසක් වෙනවා." යැයි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය